15. මග්ගාමග්ගඤාණදස්සන විසුද්ධිය.

කංඛාවිතරණ විසුද්ධි ලත් යෝගී විසින් මග්ගාමග්ග ඤාණ දස්සන විසුද්ධියට පැමිණිය යුතු. එයට පැමිණියහු විසින් කංඛා විතරණ විසුද්ධියෙහි දී පිරිසිඳැ ගන්නා ලද අතීතාදි භේද භින්න ත්‍රෛභූමික සංස්කාරයන්හි ස්කන්‍ධාදී ක්‍රමයෙන් කලාප වශයෙන් හකුළා ක්‍ෂයාර්ථයෙන් අනිත්‍යය, භයාර්ථයෙන් දුඃඛය, අසාරාර්ථයෙන් අනාත්මය යි අද්ධාන වශයෙන් සන්තති වශයෙන් ක්‍ෂණ වශයෙන් ත්‍රිලක්‍ෂණ සම්මර්ශනය කළ යුතු. එ් ත්‍රෛභූමික සංස්කාරයන්හි ම ප්‍රත්‍යය වශයෙන් ක්‍ෂණ වශයෙන් උදයව්‍යය බැලිය යුතු. එසේ සම්මර්ශනය කරත් එසේ බලත්. ඒ විදර්ශකයා හට ඔභාසාදි දශ විදර්ශනානොපක්ලෙශ පහළ වන්නේ ය. ඒ විදර්ශනානොපක්ලෙශ මාර්ග නො වෙයි. මාර්ගයට පරිපත්‍ථය යි ඔහු විසින් මාර්ගාමාර්ග ව්‍යවස්ථා කළ යුතු ය. එසේ මාර්ගාමාර්ග ව්‍යවස්ථා කරන ඥානය මග්ගාමග්ග ඤාණදස්සන විසුද්ධිය යි.

විස්තර මෙසේ ය:

අතීතාදි භෙද භින්න ත්‍රෛභූමික සංස්කාරයන්හි අතීතාදි භෙද භින්න නම් “යංකිඤ්චි රූපං අතීතානාගත පච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා ඔලාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන්තිකෙවා යා කාචි වෙදනා” යනාදීන් වදාළ අතීත අනාගත වර්තමාන වූ ආධ්‍යාත්මික වූ බාහිර වූ හෝ ඖදාරික වූ හෝ සූක්‍ෂම වූ හෝ හීන වූ හෝ ප්‍රණීත වූ දුර වූ හෝ සන්තික වූ හෝ එකොළොස් ආකාර රූපය වේදනාදිය ද එසේ ය. ත්‍රෛභූමික සංස්කාර නම් කාමාවචර රූපාවචර අරූපාවචර ධර්ම යි. ලෝකෝත්තර වනාහි විදර්ශනාවට අරමුණු නො වේ. විදර්ශනාවට අරමුණු වන්නේ සානුසය ධර්ම යි. විදර්ශනාව අනුශය ප්‍රහාණය පිණිස බැවිනි.

ස්කන්‍ධාදි වශයෙන් කලාප වශයෙන් හකුළා- ත්‍රෛභූමික ධර්ම පඤ්චස්කන්‍ධාදි ක්‍රමයෙන් කලාප වශයෙන් පිඬු කළ යුතු ය. මෙහි ආදි ශබ්දයෙන් ෂඩ්ද්වාර, ෂඩාලම්බන, ෂඩ්විඥාන, ෂඩ් ස්පර්ශ, ෂඩ්වේදනා, ෂඩ්සංඥා, ෂඩ්චෙතනා, ෂඩ්තෘෂ්ණා, ෂඩ්විතර්ක, ෂඩ්විචාර, ෂඩ්ධාතු, දසකසිණ, දෙතිස් කොට්ඨාස, ද්වාදස ආයතන, අටළොස් ධාතු, දෙවිසි ඉන්‍ද්‍රිය, ත්‍රිධාතු, නවභව, චතුර් ධ්‍යාන, චතුර්විධ අප්පමඤ්ඤා, සතර සමාපත්ති, දොළොස් පටිච්ච සමුප්පාද ගන්නේ ය. මේ ක්‍රමයෙන් රූපස්කන්‍ධ වශයෙන් කලාප සම්මර්ශනය මෙසේ ය. “යංකිඤ්චි රූපං අතීතානාගත පච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා ඔලාරිකං වා සුඛුමං වා හීනං වා යං පණීතං වා දූරෙ සන්තිකෙ වා සබ්බං රූපං අනිච්චං ඛයට්ඨෙන, දුක්ඛං භයට්ඨෙන, අනත්තා අසාරකට්ඨෙන” වේදනාදිය පිළිබඳ ද කලාප සම්මර්ශනය මෙසේ ය.

“ක්‍ෂයාර්ථයෙන් අනිත්‍යය, භයාර්ථයෙන් දුඃඛය, අසාරාර්ථයෙන් අනාත්මය යි” රූපාදිය ක්‍ෂයයට පැමිණෙන්නේ ය. එබැවින් අනිත්‍ය යි. යමෙක් ක්‍ෂයයට පැමිණේ නම් එය භය ජනක ය. රූපාදිය භයජනක හෙයින් දුඃඛ ය, ආත්මාදි වශයෙන් ගත යුතු සාර නැති හෙයින් අනාත්ම ය.

“අද්ධාන වශයෙන්” එක් එක් භවයෙන් පරිච්ඡින්න කාල වශයෙන් එක් භවයෙක පහළ වූ රූපාදිය අනෙක් භවයකට නො යයි. ඒ ඒ භවයෙහිදී ම නිරුද්ධ වෙයි. එක් භවයෙහි දු තුන් වයස්හි, දස දසකයෙහි, අවුරුදු සෘතු මාස පක්‍ෂ සති දවස් රූ දවල් යාමාදියෙහි පහළ වූ රූපඅ නෙක් වයස් ආදියට නො ගොස් එහි ම නිරුද්ධ වෙයි.

“සන්තති වශයෙන්” - රූපසන්තති වශයෙන් හා අරූප සන්තති වශයෙන් ශාරිපුත්‍ර ස්වාමීහු සන්තති වශයෙන් කලාප සම්මර්ශනය මෙසේ විස්තර කරති.

“මෙහි රූපසන්තති අරූපසන්තති වශයෙන් කලාප සම්මර්ශනය නම්:

“ආදානනික්ඛෙපනතො වයොවුද්ධත්‍ථගාමිතො

ආහාරතො ච උතුතො කම්මතො චාපි චිත්තතො

ධම්මතා රූපතො සත්ත විත්‍ථාරෙන විපස්සති” යි.

කියනු ලබන මේ සත්පරිද්දෙන් කරන විදර්ශනා යි.

මෙහි ආදාන නික්ඛෙප හෙයින් විදර්ශනා නම් ප්‍රතිසන්‍ධි ච්‍යුති වශයෙන් පරිච්ඡින්න එකෙකි. භවයෙහි රූපයෝ අන්‍ය භවයට නො ගොස් ඒ ඒ භවයෙහි ම නිරුද්ධ වෙති. ඉති බැවින් අනිත්‍ය ය. අනිත්‍ය හෙයින් මැ දුඃඛ ය. දුඃඛ හෙයින් මැ අනාත්ම යැ යි ද විදර්ශනා කිරීම. (ආදාන නම් ප්‍රතිසන්‍ධි, නික්ඛෙප නම් චුති.)

වයොවුද්ධත්‍ථගාමි හෙයින් විදර්ශනා කෙසේ ද යත් හවුරුදු සියක් දවස් ප්‍රථම මධ්‍යම පශ්චිම අවස්ථා හෙයින් තුන් කොටසක් කොටැ තෙතිස් හව්රුද්දකින් පරිච්ඡින්න වූ පළමු වැනි අවස්ථායෙහි පැවැති රූපයන් ද්විතීයාවස්ථාවට නො පැමිණැ එහි මැ නිරුද්ධ වන බැවින් ද සතිස් හව්රුද්දකින් පරිච්ඡින්න වූ ද්විතීය අවස්ථායෙහි පැවැති රූපයන් තෘතීය අවස්ථාවට නො පැමිණැ එහි ම නිරුද්ධ වන බැවිනු දු තෙතිස් හව්රුද්දකින් පරිච්ඡින්න වූ පශ්චිමාවස්ථායෙහි පැවැති රූපයන් මරණින් මත්තට නො ගොස් එහි ම නිරුද්ධ වන බැවිනුදු අනිත්‍යය දුඃඛය අනාත්මයැ යි වයොවුද්ධත්‍ථගාමී හෙයින් විදර්ශනා කෙරෙයි. නැවත එ මැ වර්ෂ ශතය.

“මන්දා ඛිඩ්ඩා ච වණ්ණා ච බලාපඤ්ඤා ච හායනා

පබ්භාරා ච පවංකා ච මොමූහා සයනා දස” යි.

කියන ලද දශකවශයෙන් දශ කොටසක් කොටැ නැවත පස් හව්රුදු හෙයින් විසි කොටසක් කොටැ නැවැත සතර හව්රුදු හෙයින් පස්විසි කොටසක් කොටැ තුන් හවුරුදු බැවින් තෙතිස් කොටසක් කොටැ දෙ හව්රුදු බැවින් පනස් කොටසක් කොටැ එකෙකි හව්රුදු බැවින් සියක් කොටසක් කොටැ එකෙකි හව්රුද්දෙහි හිමත්, ගිමන්, වසත් යන සෘතු හෙයින් තුන්කොටසක් කොටැ නැවත හිම ශිශිර වසන්ත ග්‍රීෂ්ම වර්ෂා ශරත් යන සෘතු හෙයින් සකොටසක් කොටැ නැවත එකෙකි. මස් හෙයින් දොළොස් කොටසක් කොටැ නැවැත එකෙකි මස කෘෂ්ණපක්‍ෂ ශුක්ලපක්‍ෂ හෙයින් දො කොටසක් කොටැ නැවැත එක් අඩ මසක් දවස් හෙයින් පසළොස් කොටසක් කොටැ නැවත එක් දවසක් රාත්‍රින්‍දිව හෙයින් දෙකොටසක් කොටැ නැවැත යම් හෙයින් සකොටසක් කොටැ යට කී පරිද්දෙන් විදර්ශනා කෙරෙයි. නැවත අභික්කම පටික්කම ආලොකිත විලොකිත සම්මිඤ්ජිත පසාරිත හෙයින් පිරිසිඳැ අභික්‍රමණයෙහි පැවැති රූපයෝ ප්‍රතික්‍රමණයට නො පැමිණැ එහි ම නිරුද්ධ වෙති යි යනාදීන් වෙන් වෙන් කොටැ කී සෙයින් මැ මෙනෙහි කෙරෙයි. නැවත එක් පදවාරයක් උද්ධරණ අතිහරණ වීතිහරණ වොස්සජ්ජන සන්තික්ඛෙපන සන්නිරුම්භන වශයෙන් සකොටසක් කොටැ උද්ධරණයෙහි පැවැති රූපයෝ අතිහරණයට නොගොස් එහි මැ නිරුද්ධ වෙති යනාදීන් වෙන් වෙන් කොටැ කී සෙයින් මැ විදර්ශනා කෙරෙයි. මෙ කී තාක් පරිද්දෙන් විදර්ශනා කරන්නේ වයොවුද්ධත්‍ථගාමී සෙයින් සම්මර්ශනය කරන්නා නම් වේ.

සුහිතකාලයෙහි පැවැති රූපයෝ ක්‍ෂුධාදුඃඛයෙන් පීඩිත අවස්ථාවට නො පැමිණැ ඒ ඒ තැනැ ම නිරුද්ධ වෙති. ක්‍ෂුධා දුඃඛයෙන් පීඩිතාවස්ථායෙහි පැවැති රූපයෝ සුහිත කාලයට නො පැමිණැ ඒ ඒ තැනැ මැ නිරුද්ධ වෙති. ඉති බැවින් අනිත්‍යය දුඃඛය අනාත්මය යි ආහාරජරූප වශයෙන් මෙනෙහි කරන්නේ ආහාර හෙයින් මෙනෙහි කරන්නා නම් වේ.

ශීතකාලයෙහි පැවැති රූපයෝ උෂ්ණ කාලයට නො පැමිණැ, හුණු කල පැවැති රූපයෝ සිහිල් කලට නො පැමිණැ එකල්හි මැ නිරුද්ධ වෙති යි සෘතු සමුත්‍ථාන වශයෙන් මෙනෙහි කරන්නේ සෘතු හෙයින් මෙනෙහි කරන්නා නම් වේ.

චක්‍ෂුර්ද්වාරයෙහි පැවැති කර්මජරූපයෝ අනෙක් තැනකට නො ගොස් එ තැනැ මැ නිරුද්ධ වෙති. ශ්‍රොත්‍ර ඝාණ ජිහ්වා කාය ද්වාර හෘදයවස්තුයෙහි පැවැති කර්මජ රූපයෝ ඔබ්බට නොගොස් ඒ ඒ තැනැ මැ නිරුද්ධ වෙති. ඉති බැවින් අනිත්‍යය යනාදීන් කර්ම හෙයින් මෙනෙහි කරන්නා නම් වේ.

සොම්නස් කල්හි පැවැති රූප දොම්නස් කලට නො පැමිණ දොම්නස් කලැ පැවැති රූ සොම්නස් කලට නො පැමිණැ එ තැන ම නිරුද්ධ වෙයි. චිත්තජරූප වශයෙන් මෙනෙහි කරන්නේ චිත්ත හෙයින් මෙනෙහි කරන්නා නම් වේ.

ආම්‍රවෘක්‍ෂාදියෙහි අඞ්කුරාදි වූ නොයෙක් අවස්ථායෙන් වැටෙන අනින්‍ද්‍රිය බද්ධසන්තානයෙහි වැටෙන රූපයන් අතුරෙන් ඒ ඒ අවස්ථායෙහි පැවැති රූපයෝ අන්‍ය අන්‍ය අවස්ථාවට නො පැමිණැ ඒ ඒ තන්හි ම නිරුද්ධ වෙති. මෙසේ ධර්මතා රූප වශයෙන් මෙනෙහි කරන්නේ ධර්මතා රූප වශයෙන් සම්මර්ශනය කරන්නා නම් වේ. මෙසෙයින් රූපසප්තක වශයෙන් විදර්ශනා කෙරෙයි.

අරූපසප්තක වශයෙන් කෙසෙයින් විදර්ශනා කෙරෙයි යත්

“කලාපතො යමකතො ඛණතො පටිපාටිතො

දිට්ඨි උග්ඝාටනා මාන සමූග්ඝාත්නතො පි ච

නිකන්තීපරියාදානා සත්තාරූප විපස්සනා” යි.

කියන ලද මේ සප්ත ප්‍රකාරයෙන් විදර්ශනා කෙරෙයි. මෙහි යට රූප සප්තකයෙහි ආදාන නික්ඛෙපාදි වශයෙන් සත් සත් තන්හි පැවැති විදර්ශනා සිත් එක් කොටැ අනිත්‍යය දුඃඛය අනාත්මය යි මෙනෙහි කරන්නේ කලාප වශයෙන් විදර්ශනා කරන්නා නම් වේ.

ආදානනික්ඛෙප වශයෙන් රූපයන් අනිත්‍යාදි හෙයින් විදර්ශනා කොටැ ඒ රූපයන් විදර්ශනා කළ සිතු දු අනිත්‍යාදි හෙයින් විදර්ශනා කොටැ එයින් වයොවෘද්ධත්‍ථගාමී ආදි එකෙකි. රූපයන් විදර්ශනා කොට ඒ රූපයන් විදර්ශනා කළ සිතු දු විදර්ශනා කිරීම් වශයෙන් මෙසේ මෙසේ රූපාරූප විදර්ශනාවන් යුගල කොටැ පවත්නේ යුග්ම හෙයින් විදර්ශනා නම් වේ.

ආදානනික්ඛෙප හෙයින් රූප විදර්ශනා කොටැ එයින් දෙවන සිත් තුන්වන සිත් සතරවන සිත් පස්වන සිත් විදර්ශනා කොටැ මෙසෙයින් මැ වයොවුද්ධත්‍ථගාමි ආදි එකෙකි රූප විදර්ශනා කොටැ ඒ ඒ විදර්ශනා කළ සිත් විදර්ශනා කෙරෙමින් සතරවන සිත් දක්වා විදර්ශනා කරන්නේ ක්‍ෂණ හෙයින් විදර්ශනා කරන්නා නම් වේ.

මෙකී පරිද්දෙන් ආදානනික්ඛෙපාදි විදර්ශනා කොටැ පිළිවෙලින් දසවන සිත් දක්වා විදර්ශනා කරන්නේ පටිපාටි හෙයින් විදර්ශනා කරන්නා නම් වේ.

අනත්තානුපස්සනා විසින් ආත්මය යි නො දක්නා බැවින් ආත්මදෘෂ්ටි උගුළුවන විදර්ශනා කරන්නේ දෘෂ්ටි උද්ඝාට හෙයින් විදර්ශනා කරන්නා නම් වේ.

අනිච්චානුපස්සනා විසින් මානයට වස්තු වූ මැනවක් නො දන්නා බැවින් මාන නසන විසින් විදර්ශනා කරන්නේ මාන සමුග්ඝාත හෙයින් විදර්ශනා කරන්නා නම් වේ.

දුක්ඛානුපස්සනා විසින් පැතිය යුතුවක් නො දක්නා බැවින් නිකාන්ති ක්‍ෂය කරන විසින් විදර්ශනා කරන්නේ නිකාන්ති පර්යාදාන හෙයින් විදර්ශනා කරන්නා නම් වේ.

“ක්‍ෂණ වශයෙන්” රූපාරූප ධර්මයන්ගේ ආයුඃ ප්‍රමාණ සංඛ්‍යාත ක්‍ෂණ වශයෙන්, ක්‍ෂණ වශයෙන් සම්මර්ශනය බුදුවරයන්ට විනා සෙස්සන්ට නො ලැබෙතියි කියත්. එය සෙස්සන්ට නොදැක්ක හැකි බැවිනි.

“ත්‍රිලක්‍ෂණ සම්මර්ශනය කළයුතු” යට කී පරිදි තිලකුණු මෙනෙහි කළ යුතුයි. (මේ සම්මර්ශනයෙහි ලා තවද නොයෙක් ක්‍රම ඇත්තේ ය. විශුද්ධිමාර්ගය බලනු.)

මෙතෙකින් ත්‍රිලක්‍ෂණ සම්මර්ශන ක්‍රමයද දක්වන ලදි. ඉක්බිති කී උදය ව්‍යය බලන සැටි ද දශ විදර්ශනොපක්ලෙශ ද මතු පාඩමින් දක්වනු ලැබේ.

ප්‍රශ්න.

  1. මග්ගාමග්ග ඤාණදස්සන විසුද්ධිය සැකෙවින් දක්වනු.
  2. කලාප සම්මර්ශනයෙහි ලා ආකාර කීයෙක් ද? ඒ දක්වනු.
  3. ත්‍රි ලක්‍ෂණය යනු කිම? පැහැදිලි කරනු.
  4. අද්ධාන වශයෙන් සන්තති වශයෙන් ක්‍ෂණ වශයෙන් සම්මර්ශනය කරන්නේ කෙසේ ද?
  5. රූපසන්තති සත හා අරූපසන්තති සත දක්වනු.