16. මග්ගාමග්ගඤාණදස්සන විසුද්ධිය. උදයව්‍යය විදර්ශනාව හා විදර්ශනොපක්ලෙශ.

යට දැක්වුණු පරිදි ත්‍රෛභූමික සංස්කාරයන්ගේ ත්‍රිලක්‍ෂණ සම්මර්ශනය කොටැ ඉක්බිති ඔවුන්ගේ ම ප්‍රත්‍යය වශයෙන් ක්‍ෂණ වශයෙන් උදයව්‍යය බැලිය යුතු. පඤ්චස්කන්‍ධ වශයෙන් එය විස්තර කරත් සම පණස් ආකාර වේ.

උදය නම් නාම රූපයන්ගේ නිබ්බත්ති ලක්‍ෂණ උපැත්මය. වය නම් විපරිනාම ලක්‍ෂණ භඞ්ගය, වීණාව වාදනය කරන කල්හි එහි නාදය යම් තැනෙක තිබී එන්නේ නොවේ. නැති වන කල්හි ගොස් යම් තැනෙක රැස්වන්නේ ද නොවේ. වීනා උපවීණා පුරුෂවීර්ය යන මේ තුන නිසා ඇතිවැ නැති වන්නේ ය. එමෙන් මේ නාම රූපය ද යම් තැනෙක රැස් වැ තිබී එයින් උපදින්නේ නො වේ. නැති වන කල්හි ද යම් තැනෙක ගොස් ගොඩ ගැසෙන්නේ නො වේ ඇති වැ නැති වන්නේ ය. ඇතිවීම උදය යි. නැති වීම වය යි. ප්‍රත්‍යය නම් කර්මාදිය යි. ක්‍ෂණ නම් නිබ්බත්ති ක්‍ෂණය හා වය ක්‍ෂණය යි.

රූපස්කන්‍ධයාගේ ප්‍රත්‍යය වශයෙන් හා ක්‍ෂණ වශයෙන් උදය ව්‍යය බලන ආකාරය මෙසේ ය.

අවිද්‍යාසමුදයෙන් රූපසමුදය වන්නේ ය. තෘෂ්ණා සමුදයයෙන් රූප සමුදය වන්නේ ය. කර්මසමුදයයෙන් රූප සමුදය වන්නේ ය. (මේ ප්‍රත්‍යය වශයෙන් බලන සැටි යි.) රූපස්කන්‍ධයාගේ නිබ්බත්ති ලක්‍ෂණය ද බලන්නේ ය (මේ ක්‍ෂණ වශයෙන් බලන සැටි යි.)

අවිද්‍යානිරෝධයෙන් රූපනිරෝධය වන්නේ ය. තෘෂ්ණා නිරෝධයෙන් රූපනිරෝධය වන්නේ ය. කර්මනිරෝධයෙන් රූප නිරෝධය වන්නේ ය. ආහාරනිරෝධයෙන් රූප නිරෝධය වන්නේ ය. (මේ ප්‍රත්‍යය වශයෙන් බලන සැටි ය.) රූපස්කන්‍ධයාගේ විපරිනාම ලක්‍ෂණය ද බලන්නේ ය. (මේ ක්‍ෂණ වශයෙන් බලන සැටි යි.) සෙස්සෙහි ද විස්තරය මෙසේ දතයුතු.

වේදනාස්කන්‍ධයාගේ ප්‍රත්‍යය වශයෙන් හා ක්‍ෂණ වශයෙන් උදය ව්‍යය බලන ආකාරය මෙසේ ය.

අවිද්‍යාසමුදයයෙන්, තෘෂ්ණා සමුදයයෙන්, කර්මසමුදයයෙන්, ස්පර්ශ සමුදයයෙන් වේදනා සමුදය වන්නේ ය. වේදනාවගේ නිබ්බත්ති ලක්‍ෂණය ද බලන්නේ ය. අවිද්‍යා නිරෝධයෙන්, තෘෂ්ණානිරෝධයෙන්, කර්මනිරෝධයෙන්, ස්පර්ශ නිරෝධයෙන් වේදනා නිරෝධය වන්නේ ය. වේදනාවගේ විපරිනාම ලක්‍ෂණය ද බලන්නේ ය.

සංඥාස්කන්‍ධයාගේ උදය ව්‍යය බලන සැටි මෙසේය:

අවිද්‍යා, තෘෂ්ණා, කර්ම, ස්පර්ශ සමුදයයෙන් සංඥාසමුදය වන්නේ ය. සංඥාවගේ නිබ්බත්ති ලක්‍ෂණය ද බලන්නේ ය. සංඥාවගේ විපරිනාම ලක්‍ෂණ ද බලන්නේ ය.

සංස්කාරස්කන්‍ධයාගේ උදය ව්‍යය බලන සැටි මෙසේ ය:

අවිද්‍යා, තෘෂ්ණා, කර්ම, ස්පර්ශ සමුදයයෙන් සංස්කාර සමුදය වන්නේ ය. සංස්කාරයන්ගේ නිබ්බත්ති ලක්‍ෂණය ද බලන්නේ ය. අවිද්‍යා, තෘෂ්ණා, කර්ම, ස්පර්ශ නිරෝධයෙන් සංස්කාරයන්ගේ විපරිනාම ලක්‍ෂණය ද බලන්නේ ය.

විඥානස්කන්‍ධයාගේ උදය ව්‍යය බලන සැටි මෙසේ ය:

අවිද්‍යා, තෘෂ්ණා, කර්ම, නාමරූප සමුදයයෙන් විඥාන සමුදය වන්නේ ය. විඥානයාගේ නිබ්බත්ති ලක්‍ෂණය ද බලන්නේ ය. අවිද්‍යා, තෘෂ්ණා, කර්ම, නාමරූප නිරෝධයෙන් විඥාන නිරෝධය වන්නේ ය. විඥානයාගේ විපරිනාම ලක්‍ෂණය ද බලන්නේ ය.

මෙසේ සම පණස් ආකාරයෙන් උදය ව්‍යය බලත් ඔහුගේ ඥානය විශදතර වේ. ඒ ඥානය තරුණ විදර්ශනා ඥානය යි කියනු ලැබේ. මෙසේ බලන්නා ආරද්ධවිදර්ශකයා යි කියනු ලැබේ.

දශ විදර්ශනොපක්ලේශ.

මෙසේ තරුණ විදර්ශනාඥානයෙන් යුත් ආරද්ධවිදර්ශකයාට ඔභාස, ඤාණ, පීති, පස්සද්ධි, සුඛ, අධිමොක්ඛ, පග්ගහ, උපට්ඨාන, උපෙක්ඛා, නිකන්ති යන දශ විදර්ශනොපක්ලේශ පහළ වන්නේ ය.

“ඔභාසො පීති පස්සද්ධි අධිමොක්ඛො ච පග්ගහො

සුඛං ඤාණමුපට්ඨාන උපෙක්ඛා ච නීකන්ති ච.”

ඔභාස නම් විදර්ශනා චිත්තයෙන් උපදනා ශරීරාලෝකය යි. මෙය ඇතැම් කෙනෙකුන්ට තමා උන් පළඟ පමණ වැ ද ඇතැම් කෙනෙකුන්ට ඔවරකය පමණ වැ ද ඇතැම් කෙනෙකුන්ට විහාරය පමණ වැ ද ඇතැම් කෙනෙකුන්ට ගව් දෙගව් අඩ යොදුන් යොදුන් දෙයොදුන් ආදි පමණ වැ ද උපදියි. බුදුරජාණන් වහන්සේට දස දහසක් ලෝකධාතුව පුරා උපන්නේ ය. මේ උපන් කල්හි ඇතැම්හු මාර්ගය ලද්දෙමි. ඵලයට පැමිණියෙමි යි සිතා මතු උත්සාහය හැර පියති. එ බැවින් මේ විදර්ශනෝපක්ලේශ යි.

ඤාණ නම් විදර්ශනා ප්‍රඥා ය. නාම රූප ධර්ම පිරිසිදුත් ඒ යෝගීහට ඉන්‍ද්‍රවජ්‍ර සේ තීක්‍ෂණ වූ අතිවිශ ද නුවණෙක් පහළ වන්නේ ය.

පීති නම් විදර්ශනා ප්‍රීති ය. එ විට ඔහුගේ මුළු සිරුර පස්වනක් ප්‍රීතියෙන් පිනා යන්නේ ය.

පස්සද්ධි නම් කායපස්සද්ධි හා චිත්තපස්සද්ධි ය. කාය චිත්තයන්ගේ දරථ දුරු කෙරෙමින් සැහැල්ලු බවෙක් වන්නේ ය. එයින් ඔහුට අමානුස රතියෙක් ඇති වේ.

සුඛ නම් විදර්ශනා සුඛය. ඔහුගේ මුළු සිරුර තෙමමින් අති ප්‍රණීත සුවයෙක් වන්නේ ය.

අධිමොක්‍ෂ නම් ශ්‍රද්ධාධිමොක්‍ෂය ඔහුට අතිශය ප්‍රසාද ජනක බලවත් ශ්‍රද්ධාවෙක් වන්නේ ය.

පග්ගහ නම් වීර්යය. සිථිල ද නො වූ අත්‍යාරබ්ධ ද නො වූ ප්‍රගෘහීත වීර්යයෙක් වන්නේ ය.

උපට්ඨාන නම් ස්මෘතිය. විදර්ශනා සම්ප්‍රයුක්ත වූ පර්වත රාජයක් සේ අචල සිහියෙක් වන්නේ ය.

උපෙක්ඛා නම් විදර්ශනා උපෙක්‍ෂාව හා ආවර්ජන උපෙක්‍ෂාවයි ද එ ද ඔහුට තියුණු වැ උපදින්නේ ය.

නිකන්ති නම් සිහින් තෘෂ්ණා යි. ඔභාසාදි සහිත විදර්ශනා වට ආලය කෙරෙමින් සිහින් වූ තෘෂ්ණාවෙක් වන්නේ ය. මේ නිකාන්තිය ම විදර්ශනොපක්ලේශ ය යි කිය යුතු ය. ඔභාසාදිය එයට වස්තු බැවින් උපක්ලේශ වි ය.

මේ ඔභාසාදිය උපන් කල “මට මෙයින් පෙර මෙබඳු ආලොකයෙක්, ඥානයෙක්, ප්‍රීතියෙක්, පස්සද්ධියෙක්, සුඛයෙක්, අධිමොක්‍ෂයෙක්, වීර්යයෙක්, ස්මෘතියෙක්, උපෙක්‍ෂාවෙක්, නූපන්නේ ය දැන් ඒ උපන්නේ ය. ඒකාන්තයෙන් මම මාර්ගය ලද්දෙමි. ඵලයට පැමිණියෙමි” යි ඔහුට අමාර්ගයෙහි මාර්ගසංඥාවෙක් අඵලයෙහි ඵලසංඥාවෙක් වන්නේ ය. ඉදින් යෝගී අව්‍යක්තයෙක් නම් මෙයින් අධිමාන වැ වැටෙයි. ව්‍යක්තයෙක් නම් එ විට ම සිහි උපදවා “හා මට ඒ ඔභාසාදියෙහි ම ය මගේ ම මාගේ ආත්මය යි නිකාමනාකාරයෙක් වෙයි. මේ ලෝකොත්තර ධර්මයෙක් නම් එ බන්දෙක් නො වන්නේ ය. එකාන්තයෙන් මේ උපන්නේ සංක්ලේශ ධර්මයෙකි. එය වැටුණොත් මට නිවන් මග ඇවිරෙයි. සසර මග හෙළිවෙයි. එහෙයින් එහි ලා තිලකුණු වඩා නිකාන්තිය දුරු කොටැ ගෙනැ විදර්ශනා වීථිය සලසා ගන්නෙමි”යි සිතා ඒ ඔභාසාදිය ම අනිත්‍ය දුඃඛ අනාත්ම වශයෙන් සලකන්නේ ය. එසේ සලකා ගන්නා ඤාණය මග්ගාමග්ගඤාණ දස්සන විසුද්ධිය යි දත යුතු. අමාර්ග වූ ඔභාසාදියෙහි මාර්ගසංඥා මලයෙන් ද යථෝක්ත නිකන්ති මලයෙන් ද පිරිසිදු වන බැවින් මේ මග්ගාමග්ගඤාණදස්සන විසුද්ධි නම් වේ.

දැන් මේ යෝගී දිට්ඨිවිසුද්ධියෙන් දුඃඛසත්‍යය ද, කංඛාවිතරණ විසුද්ධියෙන් සමුදය සත්‍යය ද, මග්ගාමග්ගඤාණ දස්සනවිසුද්ධියෙන් මාර්ග සත්‍යය ද ව්‍යවස්ථා කැරැ ගන්නා ලදැයි දත යුතු.

ප්‍රශ්න.

  1. උදය ව්‍යය යනු කිම?
  2. ප්‍රත්‍යය වශයෙන් ද ක්‍ෂණ වශයෙන් ද උදයව්‍යය බලන සැටි දක්වනු.
  3. සමපණස් උදයව්‍යය දක්වනු.
  4. දශ විදර්ශනොපක්ලේශ විස්තර කරනු.
  5. මග්ගාමග්ගඤාණදස්සන විසුද්ධිය තෝරනු.