18. ඤාණදස්සන විසුද්ධිය.

එකුන්විසි ප්‍රත්‍යවෙක්‍ෂාඥාන හා පුද්ගල භේද

මාර්ග වීථියෙහි අනුලෝමය දක්වා යට සඳහන් කරන ලදි. අනුලෝමයට අනතුරු වැ උපදින්නේ ගොත්‍රභූ ඥානය යි. එය මාර්ගයට ආවර්ජන ස්ථානික වැ උපදින බැවින් පටිපදාඤාණ දස්සන විසුද්ධියට ඇතුළත් නො වේ. මාර්ග නො වන බැවින් ඤාණදස්සන විසුද්ධියට ද ඇතුළත් නොවේ. ගොත්‍රභූඥානයට අරමුණු ව්නනේ නිර්වාණය යි. ගොත්‍රභූඥානය නිවන් අරමුණු කොටැ උපදින නමුදු ක්ලේශ ක්‍ෂය නො කෙරේ. එබැවිනි එය මාර්ග සංඛ්‍යාත ඤාණ දස්සන විසුද්ධියට ඇතුළත් නො වන්නේ. ඤාණදස්සන විසුද්ධි වන්නේ සෝතාපත්තිමග්ග ඤාණය යි. සෝතාපත්තිමග්ග ඤාණය සේ ම සකෘදාගාමි, අනාගාමි, අරහත්ත මග්ග ඤාණ ද ඤාණදස්සනවිසුද්ධි යි. එ බැවින් මාර්ගඥාන සතර ඤාණදස්සන විසුද්ධිය යි දත යුතු. තදනුකූල ප්‍රවෘත්ති වශයෙන් ඵලඥාන ද මෙහි ගැනේ.

එහි පිළිවෙලින් සතර මාර්ගඥාන ද ප්‍රත්‍යවෙක්‍ෂා ඥාන ද උපදින ක්‍රමය මෙසේ දතයුතු.

සෝතාපත්ති මාර්ග ඥානය

යට දැක්වුණු සේ පිළිවෙලින් අනුලෝම ඥානය ලැබූ යෝගී හට නිර්වාණය අරමුණු වෙමින් ශ්‍රොත්‍රභූඥානය උපදින්නේ ය. පෘථග්ජන ගොත්‍රය මැඩැ පියන බැවින් ද ආර්යගොත්‍රයට පමුණුවන බැවින් ද එයට ගොත්‍රභූය යි කියනු ලැබේ. එයට අනුතරු වැ මැ මාර්ගය දුඃඛ සත්‍යය දන්මින් සමුදය සංඛ්‍යාත තෘෂ්ණාව දුරු කරමින් නිරෝධ සංඛ්‍යාත නිර්වාණය ප්‍රත්‍යක්‍ෂ කරමින් මාර්ග සංඛ්‍යාත ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩීම් වශයෙන් අර්පණා ප්‍රාප්ත වන්නේ ය. ආර්ය අෂ්ටාංගික මාර්ග සංඛ්‍යාත සෝතයට පළමු පැමිණීම හෙයින් මෙයට සෝතාපත්තිය යි ද එම නිර්වාණය මාර්ගනය කරන (දකින) බැවින් හෝ කෙලෙස් මරමින් යන බැවින් හෝ මාර්ගය යි ද කියනු ලැබේ. මාර්ගයට අනතුරුවැ ම ඒ නිර්වාණය ම අරමුණු කරමින් දෙතුන් ඵල සිත් කෙනෙක් ඉපිද භවාඞ්ග වන්නාහ. ඉක්බිති භවාඞ්ගය චලනය වැ උපච්ඡේද වැ මාර්ග, ඵල, නිර්වාණ, ප්‍රහීණ කෙලෙස්. ශේෂ කෙලෙස්, අරමුණු කොටැ මනොද්වාරාර්ජනයට අනතුරු වැ ප්‍රත්‍යවෙක්‍ෂා ජවන් පවත්නේ ය.

“මග්ගං ඵලං ච නිබ්බාණං පච්චවෙක්ඛති පණ්ඩිතො

හීනෙ කිලෙසෙ සෙසෙ ච පච්චවෙක්ඛති වා න වා”

ප්‍රාඥ වූ ආර්ය ශ්‍රාවක අධිගත මාර්ගය ප්‍රත්‍යවෙක්‍ෂා කරයි. ලත් ඵලය ප්‍රත්‍යවෙක්‍ෂා කරයි. අරමුණු වූ නිර්වාණය ප්‍රත්‍යවෙක්‍ෂා කරයි. ප්‍රහීණ වූ කෙලෙස් ප්‍රත්‍යවෙක්‍ෂා කරයි. ශේෂ වූ කෙලෙස් ප්‍රත්‍යවෙක්‍ෂා කරයි. මෙයින් මුල් තුන ඒකාන්ත වශයෙන් ද දෙවෙනි දෙක අනියම වශයෙන් ද ප්‍රත්‍යවෙක්‍ෂා කරන බව දත යුතු. සෝවාන් වූ මහානාමයන් තමාගේ කවර කෙලෙස් අප්‍රහීණ වී දැ යි බුදුන් විචාළේ එහෙයිනි. මේ පසින් එකක් හෝ ප්‍රත්‍යවෙක්‍ෂා කරන බව ඇතැම් තැන දක්වයි.

සෝවාන් මාර්ගඥානය ලබන්නා ම ඔහු පිළිබඳ සියලු ක්ලේශයන්ගේ අපායගාමී ශක්තිය සිඳෙන්නේ ය. සක්කායදිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බතපරාමාස යන සංයොජනත්‍රය මූලොච්ඡින්න වන්නේ ය. හේ ඉන්පසු මාතෘඝාතක, පීතෘඝාතක, අර්හත්ඝාතක, ලොහිතොතපාදක, භික්‍ෂුණීදූෂක, සංඝභේදක යන බලවත් අකුසල් කිරීමෙහි විශේෂයෙන් අභව්‍යයෙක් වන්නේ ය.

ඒ සෝවාන් පුද්ගලයා එකබීජි, කොලංකොල, සත්තක්ඛත්තු පරමය යි ත්‍රිවිධ වේ. එක් වරක් මතු උපදින්නේ එක බීජි ය. සත්වන වර දක්වා උපදින්නේ සත්තක්ඛත්තුපරමය. මේ දෑ තුරේ උපදින්නේ කොලංකොල ය. මේ උපැද්ම ද කාමභවය ගෙනැ කියනු ලැබේ.

මන්‍දප්‍රාඥයාගේ වශයෙන් පරිකර්ම උපචාර අනුලෝම ගොත්‍රභූන්ට අනතුරු වැ මාර්ගය ලබා ඵල සිත් දෙකක් උපදී. තීක්‍ෂණ ප්‍රාඥයාගේ වශයෙන් උපචාර අනුලෝම ගොත්‍රභූන්ට අනතුරු වැ මාර්ගය ලබා ඵල සිත් තුනෙක උපදී. ගිනි ඉවත් කළ තැන දිය වත්කොට නිවීම මෙනි. මාර්ගයට අනතුරු ඵල. ඇසින් දුටු දේ වුව ද නැවැත සිහි කිරීම මෙනි ප්‍රත්‍යවෙක්‍ෂා.

සකෘදාගාමි මාර්ගඥානය.

සෝවාන් වූ ආර්යශ්‍රාවක ඒ ආසනයෙහි මැ හිඳැ හෝ පසු කලෙකැ හෝ තමා සතන්හි පවත්නා කාමරාග ව්‍යාපාද තුනී කැරැ ගැන්ම සඳහා දෙවන ලෝකෝත්තර ඥානය ලබා ගැන්ම සඳහා යළි උත්සාහ කරයි. හේ පෙර කී සේ ම විදර්ශනා වඩන්නේ පරිකර්ම උපචාර අනුලෝම ගොත්‍රභූන්ට අනතුරු වැ දුඃඛ සත්‍යය දන්මින් සමුදය සංඛ්‍යාත තෘෂ්ණාව දුරුකරමින් නිරෝධ සංඛ්‍යාත නිර්වාණය සාක්‍ෂාත් කරමින් මාර්ග සංඛ්‍යාත ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩීම් වශයෙන් සකෘදාගාමි මාර්ගය ලබන්නේ ය. මෙහි චතුස්සත්‍ය කෘත්‍ය පෙරට වඩා විශද බව දත යුතු යි. මෙහි ගොත්‍රභූ වොදානය යි කියනු ලැබේ. එයට ඉක්බිති ඵල සිත් දෙකක් හෝ තුනක් හෝ ඉපිද භවාඞ්ග වැ ප්‍රත්‍යවෙක්‍ෂා ජවන් වන්නේ ය. විස්තර යට කී පරිදි යි.

සකෘදාගාමි මාර්ගයෙන් එක ක්ලේශයෙකුදු මූලොච්ඡින්න නො වේ. එහෙත් කාමරාග ව්‍යාපාද තුනී වෙයි. මෝහය ද තුනී වෙයි. “රාග දෝස මොහානං තනුකරත්තා” යනු එහෙයින් කියන ලදි. සකෘදාගාමි යන්නෙහි අර්ථය වරක් එන්නේ යනුයි. පස්වැන්නාගේ වශයෙන් නම් ලැබිණ. විස්තර යට කියන ලදි. මෙහි දු මාර්ග, ඵල, නිර්වාණ, ප්‍රහීණ ක්ලේශ, ශේෂ ක්ලේශ, ප්‍රත්‍යවෙක්‍ෂා කිරීම් වශයෙන් ප්‍රත්‍යවෙක්‍ෂා ඥාන පසෙකි.

අනාගාමි ඥානය.

සකෘදාගාමි ආර්ය ශ්‍රාවක ඒ ආසනයෙහි ම හිඳැ හෝ පසු කලෙක හෝ තමා සතන්හි තුනී වැ පවත්නා කාමරාග ව්‍යාපාද මූලොච්ඡින්න කරනු සඳහා-තෘතීය ලෝකෝත්තර ඥානය ලබා ගැනීම සඳහා උත්සාහ දරන්නේ පෙර සේ ම විදර්ශනා කොටැ පරිකර්ම උපචාර අනුලෝම ගොත්‍රභූ (වොදානය)න්ට අනතුරු වැ චතුස්සත්‍ය කෘත්‍ය සාදමින් අනාගාමී මාර්ගඥානය ලබන්නේ ය. එයට අනතුරු වැ අනාගාමි ඵල සිත් දෙකක් හෝ තුනක් හෝ ඉපිද භවාඞ්ග වැ පෙර සේ ම ප්‍රත්‍යවෙක්‍ෂා ජවන් දිවෙන්නේ ය. මෙහි චතුස්සත්‍ය කෘත්‍යය පෙරට ද වඩා විශදය. ප්‍රත්‍යවෙක්‍ෂා ඥාන ද පසෙකි.

අනාගාමි මාර්ගයෙන් පෙර තුනී වැ පැවැති කාමරාග ව්‍යාපාද මූලොච්ඡින්න වේ. හේ මෙහිදී රහත් වැ නො පිරිනිවියේ නම් පංචසුද්ධාවාසයෙහි ඉපිදැ එහි දී රහත් වැ පිරිනිවෙයි. ප්‍රතිසන්ධි වශයෙන් නැවත මෙහි නො එයි. අනාගාමි යන්නෙහි අර්ථ ද ඒ ය.

අර්හත්මාර්ගඥානය.

අනාගාමි ආර්ය ශ්‍රාවක ඒ ආසනයෙහි ම හිඳ හෝ පසු කලෙක හෝ ස්වකීය සකලක්ලේශ මුලසුන් කරනු සඳහා චතුර්ථ මාර්ගඥානය ලබනු සඳහා උත්සාහ දරන්නේ පෙර සේ ම විදර්ශනා වඩා පරිකර්ම උපචාර අනුලෝම ගොත්‍රභූ (වොදානය)න්ට අනතුරු වැ සම්පූර්ණ චතුස්සත්‍ය කෘත්‍ය සාදමින් අර්හත් මාර්ගඥානය ලබන්නේ ය. එයට අනතුරු වැ අර්හත් ඵල සිත් දෙකක් හෝ තුනක් හෝ ඉපිද නිරුද්ධ වූ පසු ප්‍රත්‍යවෙක්‍ෂා ජවන් දිවෙන්නේ ය. මෙහි ප්‍රත්‍යවෙක්‍ෂා ඥාන සතරෙකි. මාර්ගය ප්‍රත්‍යවෙක්‍ෂා කරයි. ඵලය ප්‍රත්‍යවෙක්‍ෂා කරයි. නිර්වාණය ප්‍රත්‍යවෙක්‍ෂා කරයි. ප්‍රහීණ කෙලෙස් ප්‍රත්‍යවෙක්‍ෂා කරයි. ශේෂ කෙලෙස් නැති බැවින් ඒ ප්‍රත්‍යවෙක්‍ෂාවක් නැත. මහරහතන් වහන්සේ යනු මුන්වහන්සේ ය. මුන්වහන්සේ අන්තිම දෙහධාරී සේක. ඔහිතභාර සේක. අනුප්‍රාප්ත ස්වර්ථ ඇති සේක. ක්‍ෂය කළ භවසංයෝජන ඇති සේක. කෘතකෘත්‍ය සේක. සකල ලෝකයා හට අග්‍රදක්‍ෂිණාර්හ වන සේක.

මෙහි පුද්ගල වශයෙන් සෝවාන් මාර්ගස්ථ ඵලස්ථාදි වශයෙන් අටදෙනෙකි. ප්‍රත්‍යවෙක්‍ෂාඥාන එකුන් විස්සෙකි.

“ජබ්බිසුද්ධික්කමෙනෙවං භාවෙතබ්බො චතුබ්බිධො

ඤාණදස්සන විසුද්ධි නාම මයග්ගා පවුච්චති.”

මෙසේ ෂට්විසුද්ධි යි ක්‍රමයෙන් ඉපදවිය යුතු චතුර්විධ මාර්ග ඥාන දර්ශන විශුද්ධිය යි කියනු ලැබේ. පුද්ගල භේදය ද මෙහි ම ඇතුළත් විය.

ප්‍රශ්න.

  1. ඤාණදස්සන විසුද්ධි යනු කිම? එයින් කිමෙක් ගනු ලැබේද?
  2. සතර මාර්ගඥාන ලැබෙන ක්‍රම දක්වා එකින් එකින්න ප්‍රහීණ වන කෙලෙස් ද දක්වනු.
  3. ගොත්‍රභූඥානය කිසි විශුද්ධියකට ඇතුළත් නුවූයේ මන්ද? එයට අරමුණ කිම?
  4. එකුන්විසි ප්‍රත්‍යවෙක්‍ෂාඥාන දක්වනු.
  5. ආර්ය පුද්ගලයන් අටදෙන දක්වනු.