19. ලක්‍ෂණ, අනුපස්සනා, විමොක්‍ෂ, විමොක්‍ෂමුඛ.

අනිත්‍ය ලක්‍ෂණ, දුඃඛ ලක්‍ෂණ, අනාත්ම ලක්‍ෂණය යි ලක්‍ෂණ තුනෙකි. නිත්‍ය නො වන්නේ අනිත්‍ය ය. අනිත්‍යම ලක්‍ෂණ වන්නේ අනිත්‍ය ලක්‍ෂණ ය. සුඛ නො වන්නේ දුඃඛ ය. දුඃඛ ම ලක්‍ෂණ වන්නේ දුඃඛ ලක්‍ෂණ ය. ආත්ම නො වන්නේ අනාත්ම ය. අනාත්ම ම ලක්‍ෂණ වන්නේ අනාත්ම ලක්‍ෂණ ය.

අනිච්චානුපස්සනා, දුක්ඛානුපස්සනා, අනත්තානුපස්සනා යි. අනුපස්සනා තුනෙකි. සංස්කාර අනිත්‍ය වශයෙන් බැලීම-සිතීම-මෙනෙහි කිරීම අනිච්චානු පස්සනාය. දුඃඛ වශයෙන් බැලීම-සිතීම මෙනෙහි කිරීම දුක්ඛානුපස්සනා ය. අනාත්ම වශයෙන් බැලීම-සිතීම-මෙනෙහි කිරීම අනත්තානුපස්සනා යි.

සුඤ්ඤත විමොක්‍ෂ, අනිමිත්ත විමොක්‍ෂ, අප්පණිහිත විමොක්‍ෂය යි විමොක්‍ෂ තුනෙකි. සුඤ්ඤත විමොක්‍ෂමුඛ, අනිමත්ත විමොක්‍ෂමුඛ, අප්පණිහිත විමොක්‍ෂමුඛය යි විමොක්‍ෂමුඛ ද තුනෙකි. විමොක්‍ෂ නම් කෙලෙසුන් කෙරෙන් මිදීම ය. එනම් මාර්ග යි. මාර්ගා ගමන වශයෙන් ඵල ද මෙහි ඇතුළත් වේ. කෙලෙසුන් කෙරෙන් මිදීමට ද්වාර වන්නේ උපකාර වන්නේ විමොක්‍ෂමුඛ ය. එ නම් අනුපස්සනා යි. ත්‍රෛභූමක සංස්කාර අනාත්ම ය යි බැලීමෙන් ආත්මාභිනිවෙශය හෙවත් ආත්මය යන දෘඪග්‍රහණය දුරු කරන්නේ ය. එබැවින් අනත්තානුපස්සනාව සුඤ්ඤත විමොක්‍ෂමුඛය යි එසේ ම ත්‍රෛභූමක සංස්කාර අනිත්‍ය ය යි බැලීමෙන් සංඥා චිත්ත දෘෂ්ටි විපර්යාස සංඛයාත විපල්ලාස නිමිති දුරු කරන්නේ ය. එබැවින් අනිච්චානුපස්සනාව අනිමිත්තවිමොක්‍ෂමුඛ යි. ත්‍රෛභූමක සංස්කාර දුඃඛය යි බැලීමෙන් තෘෂ්ණා ප්‍රාර්ථනා දුරු කරන්නේ ය. එබැවින් දුක්ඛානුපස්සනාව අප්පණිහිත විමොක්‍ෂ මුඛය යි.

මෙසේ හෙයින් යට දැක්වුණු ව්‍යුත්‍ථානගාමි සංඛ්‍යාත සානුලොම විදර්ශනාව සංස්කාර ධර්මයන් අනාත්ම වශයෙන් විදර්ශනා කෙරේ ද? එසේ විදර්ශනා කිරීමෙන් ලබන මාර්ගය සුඤ්ඤත විමොක්‍ෂ නම් වන්නේ ය. අනිත්‍ය වශයෙන් විදර්ශනා කෙරේ ද, එසේ විදර්ශනා කිරීමෙන් ලැබෙන මාර්ගය අනිමිත්ත විමොක්‍ෂ නම් වන්නේ ය. දුඃඛ වශයෙන් විදර්ශනා කෙරේ ද, එසේ විදර්ශනා කිරීමෙන් ලැබෙන මාර්ගය අප්පණිහිත විමොක්‍ෂ නම් වන්නේ ය.

ඒ ඒ මාර්ගයට අනතුරු වැ ලැබෙන ඵලය ද මාර්ගාගමන වශයෙන් සුඤ්ඤත විමොක්‍ෂ, අනිමිත්ත විමොක්‍ෂ, අප්පණිහිත විමොක්‍ෂ නම් වන්නේ ය. ඵල සමාපත්ති වීථියෙහි දී ලැබෙන ඵල සිත් විදර්ශනා ගමන වශයෙන් සුඤ්ඤත විමොක්‍සාදි නම් වන්නේ ය. ඵල සමාපත්ති වීථියෙහි මාර්ග ලාභයෙක් නැත. එබැවින් එහි මාර්ග ගමන වශයෙන් නම් නො ලැබේ. විදර්ශනා වශයෙන් ම නම් ලැබේ.

සප්ත ආර්ය පුද්ගල විභාගය ද මෙහි දී වන්නේ ය යි යට කියන ලදි. සුඤ්ඤත විමොක්‍ෂයෙන් විමුක්ත වූ ආර්ය ශ්‍රාවක ශ්‍රොතආපත්ති මාර්ගක්‍ෂණයෙහි ධම්මානුසාරි නම් වේ. සොතාපත්තිඵල සකෘදාගාමි මාර්ග ඵල අනාගාමි මාර්ග ඵල අර්හත් මාර්ග යන මේ මධ්‍ය මාර්ග ඵල සයෙහි දිට්ඨිප්පත්ත නමි. අර්හත් ඵල ක්‍ෂණයෙහි පඤ්ඤාවිමුත්ත නම් වේ. අනිමිත්ත විමොක්‍ෂයෙන් විමුක්ත වූ ආර්ය ශ්‍රාවක සොතාපත්ති මාර්ග ක්‍ෂණයෙහි සද්ධානුසාරි නම් වේ. මතු සත් තන්හි ම සද්ධාවිමුත්ත නම් වේ. අප්පණිහිත විමොක්‍ෂයෙන් විමුක්ත වූ ආර්ය ශ්‍රාවක අට තන්හි ම කායසක්ඛි නම් වේ. හේ ම අරූපධ්‍යාන පාදක කොටැ විමුත්ත වූයේ අර්හත් ඵලයෙහි උභතොභාග විමුත්ත නම් වේ.

තව ද කිය යුත්තෙක් ඇත. සුඤ්ඤත, අනිමිත්ත, අප්පණිහිත යන නම් නිර්වාණයට ද කියනු ලැබේ. නිර්වාණය සියලු සංස්කාරයන් කෙරෙන් ශූන්‍යහෙයින් සුඤ්ඤත ය. සියලු සංස්කාර නිමිත්ත රහිත හෙයින් අනිමිත්ත ය. තෘෂ්ණා ප්‍රණිධි රහිත හෙයින් අප්පණිහිත ය. පඨවිකසිණය අරමුණු කොටැ ලත් ධ්‍යානය පඨවි කසිණය යි කියන්නා සේ සුඤ්ඤතාදී නම් ඇති නිර්වාණය අරමුණු කොටැ ලත් මාර්ග ඵල සුඤ්ඤතවිමොක්‍ෂාදිය යි කිය හැකි ය. එවිට ඒ නම් සියලු මාර්ග ඵලයන්ට සාධාරණ ය. විදර්ශනා වශයෙන් ලැබුණු පරිදි විශේෂ නම් නො ලැබේය යි සේ යි.

තවද මාර්ගයන්ගේ කෘත්‍ය වශයෙන් බලත් හොත් එවිට ද මේ සුඤ්ඤත විමොක්‍ෂාදි නම් සියලු මාර්ග ඵලයන්ට සාධාරණය. ආත්ම ග්‍රහණය ගලවන බැවින් සියලු මාර්ග ඵල සුඤ්ඤත විමොක්‍ෂ ය. නිත්‍ය නිමිත්ත ගලවන බැවින් සියලු මාර්ග ඵල අනිමිත්ත ය. සුඛ ග්‍රහණය ගලවන බැවින් සියලු මාර්ග ඵල අප්පණිහිත යි.

මුල කී ක්‍රමය ආලම්බන වශයෙන් සුඤ්ඤත විමොක්‍ෂාදි නම් සියලු මාර්ග ඵලයන්ට සම වැ ලැබුණු සැටි ය. දෙවනු කී ක්‍රමය සරස වශයෙන් සම වැ ලැබුණු සැටි යි.

ප්‍රශ්න.

  1. ලක්‍ෂණ තුන ද අනුපස්සනා තුන ද දක්වනු.
  2. විමොක්‍ෂ තුන ද විමොක්‍ෂ මුඛ තුන ද දක්වනු.
  3. සුඤ්ඤත විමොක්‍ෂාදි නම් මාර්ග ඵලයන්ට වෙන වෙන ම ලැබෙන සැටි ද සාධාරණ වැ ලැබෙන සැටි ද දක්වනු.
  4. සප්ත ආර්ය පුද්ගල විභාගය කරනු.
  5. සුඤ්ඤත විමොක්‍ෂාදී නම් ද ආර්ය පුද්ගල විභාගය ද වන්නේ කොතැන්හි ද?