20. සමාපත්ති භෙදය.

සමාපත්ති වනාහි ඵල සමාපත්ති, නිරෝධ සමාපත්තිය යි ද්විවිධ වේ. ඵල සමාපත්ති ඒ ඒ ඵල ලාභීන්ට සාධාරණ ය. සොතාපත්ති ඵල ලාභීන්ට සොතාපත්තිඵල සමාපත්තියට සම වැදිය හැකි ය. සකෘදාගාමි අනාගාමි අර්හත් ඵල ලාභීන්ට ඒ ඒ ඵල සමාපත්තින්ට සම වැදිය හැකි ය. එසේ සම වැදුණේ ඉදින් කැමැති නම් ආහොරාත්‍රයක් නිවන් සුව වළඳන්නේ ය. ඵල සිතට අරමුණු වන්නේ නිර්වාණය ම බැවිනි.

නිරෝධ සමාපත්තියට සම වැදිය හැක්කේ අෂ්ටසමාපත්තිලාභී අනාගාමීන්ට හා රහතන් වහන්සේට පහණකි. අනාගාමි හෝ රහත් හෝ වුව ද අෂ්ට සමාපත්ති නො ලද්දාහුට චිත්ත නිරෝධය කළ නො හැකි ය. අෂ්ට සමාපත්ති ලද ද සෝවාන් සකෘදාගාමි චිත්ත නිරෝධය කළ නො හැකිය. කාමරාග ප්‍රහීණ නො කළ බැවිනි. කාමරාගය ප්‍රහීණ කළ ධ්‍යානලාභී ආර්යයෝ ම නිරෝධයට සම වදිති. නිරෝධ සමාපත්ති නම් චිත්ත සන්තති ප්‍රවෘත්තිය වැළැක්ම ය. චිත්තය නැති බැවින් අරමුණෙක් කැල ම නැත. මෘත කලේබරයෙහි ද චිත්ත ප්‍රවෘත්ති නැත. එහෙත් එහි ඇස් ආදි සියල්ල දුර්වල වේ. ප්‍රතිභාවයට පැමිණේ. නිරෝධයට සම වන්නහුගේ ශරීරය විකෘති නො වේ. චිත්තය නො පවතින තව තැනෙක් නම් අසංඥතලය යි.

නිරෝධ සමාපත්තියට සම වදිනු කැමැති අනාගාමි හෝ අර්හත් බත් කිසෙන් පසු අත් පා මොනවට සෝදා ගෙනැ විවේකස්ථානයෙක හිඳ පළඟ බැඳ ගෙනැ පළමු කොටැ ප්‍රථමධ්‍යානයට සම වැද එයින් නැඟී එහි සංස්කාර අනිත්‍යාදී වශයෙන් විදර්ශනා කරන්නේ ය. ඉක්බිති ද්විතීය ධ්‍යානාදියට ද පිළිවෙලින් සමවැද එසේ ම විදර්ශනා කොටැ ආකිඤ්චඤ්ඤායතනයට සම වදින්නේ ය. එයින් නැඟී විදර්ශනා කොටැ ඉක්බිති චතුර්විධ අධිෂ්ඨාන කරන්නේ ය. චතුර්විධ අධිෂ්ඨානය නම් නානාබද්ධ අවිකොපන, සංඝපතිමානන, සත්‍ථුපක්කොසන, අද්ධාන පරිච්ඡෙද යන මේ ය. සත් දවස තුළ තමා හා එකාබද්ධ නොවූ පා සිවුරු ඇඳ පුටු ගේ ආදි පිරිකර ගිනි දිය සොර සතුරු ආදීන්ගෙන් විනාශ නොවන සේ අධිෂ්ඨාන කිරීම නානාබද්ධ අවිකොපන ය. සත් දවස තුළ සඞ්ඝයාගේ වචනයෙන් අවුත් කැඳවීමට පළමු ම නැඟෙමි යි අධිෂ්ඨාන කිරීම සංඝපතිමානන ය. බුදුන්ගේ වචනයෙන් අවුත් කැඳවීමට පළමු ම නැඟෙමි යි අධිෂ්ඨාන කිරීම සත්‍ථුපක්කොසන ය. සත්දවස තුළ ආයුඃ සංස්කාරය පවතී දැයි බැලීම් අද්ධාන පරිච්ඡේදය යි. මේ විශේෂයෙන් බැලිය යුතු ය. නො බලා සම වැදුණ ද මරණය වැළකිය හැකි නො වේ. නිරෝධ සමාපත්තිය තුළ මරණය ද සිදු නො වේ. එබැවින් ඉන් මොබ නිරෝධයෙන් නැගීම වෙයි.

මෙසේ අධිෂ්ඨාන කොටැ ඉක්බිති නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තියට සම වදින්නේ ය. එහි අර්පණා ජවන් එකින් දෙකින් පසු අචිතනක වේ. නිරෝධයට සම වැදුණේ වේ. එයින් නැඟෙන කල්හි අනාගාමීන්ට අනාගාමි ඵල සිත ද, රහතන්ට අර්හත් ඵල සිත ද, එක් වරක් ම ඉපිද භවාඞ්ග වන්නේ ය. භවාඞ්ගයෙන් නැගී නේවසඤ්ඤානාසඤ්ඤායතන චිත්තයෙහි චිත්ත චෛතසික ධර්මයන් ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ ය. ඵල ප්‍රත්‍යවෙක්‍ෂා කරන්නේ ය යි. ඇතැම්හු කියත්.

ප්‍රශ්න.

  1. සමාපත්ති කී වැදෑරුම් ද?
  2. ඵලසමාපත්ති පැහැදිලි කරනු.
  3. නිරෝධ සමාපත්තිය යනු කිමෙක් ද? එය කවුරුන් විසින් ලැබිය හැකි ද? හේතු කිම?
  4. චතුර්විධ අධිෂ්ඨාන විස්තර කරනු.
  5. නිරෝධයෙන් නැඟෙත් ම උපදින සිත කිමෙක් ද? ඉක්බිති කිමෙක් වේ ද?

විදර්ශනා කර්මස්ථානය යි.

“භාවෙතබ්බං පනිච්චෙවං භාවනාද්වය මුත්තමං

පටිපත්තිරසස්සාදං පත්‍ථයන්තෙන සාසනෙ.”

බුද්ධශාසනයෙහි ප්‍රතිපත්ති රසාස්වාදනය පතන යෝගී විසින් මේ සමථ විදර්ශනාභාවනාද්වය යට දැක්වුණු පරිද්දෙන් වැඩිය යුතු යි.

නව වන කර්මස්ථාන පාදය නිමි.

මාතර වල්පොළ සිරි මංගල පිරිවෙනෙහි ආචාර්ය පණ්ඩිත මාතර ශ්‍රී ධර්මවංශ ස්ථවිර ස්වාමීන් කළ අභිධර්මචන්ද්‍රිකා පොත යි.