අප්පමඤ්ඤා සතර නම්: 1 මෙත්තා, 2 කරුණා, 3 මුදිතා, 4 උපෙක්ඛා යන මේ ය.
අප්‍රමාණ සත්ත්‍වයන් කෙරෙහි පැතිරවිය යුතු බැවින් මේ අප්පමඤ්ඤාය යි කියනු ලැබේ. මෙතෙක් සත්ත්‍වයන් කෙරෙහි පැතිරවිය යුතු ය. ඉන් ඔබ්බෙහි නො පැතිරවිය යුතුය යි මෙහි නියමයෙක් නැත. සියලු සත්ත්‍වයන් කෙරෙහිම පැතිරවිය යුතු ය. එසේ වුව ද මෛත්‍රි වඩන ආදිකම්මිකයා විසින් පළමු කොටැ තමා කෙරෙහි ද ඉක්බිති ආසන්නාදීන් කෙරෙහි ද ඔධි වශයෙන් පතුරුවා පසු වැ අනොධි වශයෙන් පැතිරවිය යුතු යි. ඔධි නම් සීමා ය. මෙය බ්‍රහ්මවිහාරය යි ද කියනු ලැබේ. බ්‍රහ්මයාගේ මෙන් මෘදු විහරණයක් බැවින් ද ශ්‍රේෂ්ඨ විහරණයක් බැවින් ද එසේ කියනු ලැබේ. බ්‍රහ්ම යි ශ්‍රේෂ්ඨ ද කියවේ.
1. මෙත්තා නම් මෛත්‍රිය යි-මිත්‍රභාවය යි-සියලු සත්ත්‍වයන් කෙරෙහි හිතු ඵරණය යි. මෙත්තා භාවනායෙහි යෙදෙන යෝගී ද්වේෂයෙහි ආදිනව ද ක්‍ෂාන්තියෙහි ආනිසංස ද සැලකිය යුතු. පළමු කොටැ අප්‍රියයන් කෙරෙහි ද, අතිප්‍රියයන් කෙරෙහි ද, මධ්‍යස්ථයන් කෙරෙහි ද, වෛරීන් කෙරෙහි ද, මෛත්‍රී නො වැඩිය යුතු. එසේ ම සීමා සහිත කොට ලිංග විසභාගයන් කෙරෙහි ද, මළවුන් කෙරෙහි ද නො වැඩිය යුතු. තමා කෙරෙහි මෛත්‍රී වඩා ඉක්බිති පිළිවෙලින් සියලු සත්ත්‍වයන් කෙරෙහි වැඩිය යුතු යි.
2. කරුණා නම් දුඃඛිත සත්ත්‍වයන් දුටු විට ඔවුන් කෙරෙහි පහළවන හෘදය කම්පනය යි. කරුණා භාවනානුයොග යොගී මෛත්‍රියට කී සේ ම ද්වේෂයෙහි ආදීනව ද කරුණායෙහි ආනිසංස ද සලකා පළමු කොටැ අප්‍රියාදීන් කෙරෙහි නො වඩා දුඃඛිත සත්ත්‍වයකු දැක ඔහු කෙරෙහි කරුණා වැඩිය යුතු මෙසේ එ බඳු සියලු සත්ත්‍වයන් කෙරෙහි වැඩිය යුතු යි.
3. මුදිතා නම් සුඛිත සත්ත්‍වයන් දුටු ඔවුන් කෙරෙහි පහළ වන ප්‍රමෝදය යි. එය අතිප්‍රිය පුද්ගලයකුගෙන් පටන් ගෙනැ එ බඳු සියලු සතුන් කෙරෙහි වැඩිය යුතු යි.
4. උපෙක්‍ෂා නම් සත්ත්‍වයන් කෙරෙහි මෛත්‍රී වඩන්න හෝ කරුණා කරන්නට හෝ මුදිත වන්නට හෝ නො ගොස් ඔවුනොවුන්ගේ කර්ම ස්වකතා සලකා මධ්‍යස්ථතා වැඩීම යි.
මේය චතු අප්පමඤ්ඤා.
ආහාර පටික්කූල සංඥාව. කබලීකාරාහාර, ඵස්සාහාර, මනොසඤ්චෙතනාහාර විඤ්ඤාණාහාරය යි ආහාර චතුර්විධ ය. එයින් මෙහි කබලීකාරාහාරය ම ගත යුතු. එහි පිළිකුල් බව සැලකීම ආහාර පටික්කූලසඤ්ඤා යි. ඒ වනාහි ගමන, පර්යේෂණ, පරිභෝග, ආසය, නිධාන, අපරිපක්ව, පරිපක්ව, ඵල, නිස්සන්‍ද, සම්මක්ඛණ යන දස ආකාරයෙන් සැලකිය යුතුයි. ආහාර සඳහා යන ගමන ද පිළිකුල් ය. ගෙන් ගෙට ගොස් ආහාරය සෙවීම ද පිළිකුල් ය. සොයා ගත් ආහාරය මුව තුළ ලා සපා වැළඳීම ද පිළිකුල් ය. වැළඳූ ආහාරය වැටෙන ස්ථානය ද පිළිකුල් ය. වැටී තිබෙන තැන ද පිළිකුල් ය. වැටී නො පැසී තිබෙන කල ද පිළිකුල් ය. පැසුණු කළ ද පිළිකුල් ය. පැසීමෙන් වැඩෙන කෙස් ලොම් නිය දත් ආදිය ද පිළිකුල් ය. නො පැසීමෙන් නැඟෙන දද වණ ආදිය ද පිළිකුල් ය. එක් දොරකින් ඇතුළු වුව ද කබ කෑඳුරා සොටු ආදි වශයෙන් නවදොරකින් වැගිරීම ද පිළිකුල් ය. වළඳන කල ගෑවෙන ගෑවෙන තැන් ද පිළිකුල් ය. මෙසේ දස ආකාරයෙන් ආහාරයෙහි පිළිකුල් බව සැලකීම ආහාර පටික්කූල සඤ්ඤා යි.
චතුධාතු වවත්‍ථානය. පෘථිවි, අප්, තේජස්, වායු යන ධාතු සතර ව්‍යවස්ථා කිරීම චතුධාතුවවත්‍ථානය යි. ධාතුමනස්කාර, ධාතුකර්මස්ථාන යනුදු මේ ය. නො දන්නා කල සත්ත්‍ව, පුද්ගල, ස්ත්‍රී, පුරුෂය යි ගන්නේ. මේ භාවනායෙන් ඒ ගැන්ම දුරු කොටැ ධාතු වශයෙන් දකී. ගවයා මරා මස් කොටැ අංගානියේ එල්වූ කල ගවයෙක යන සංඥාව දුරු වැ මස් යන සංඥාව වන්නාක් මෙනි. මෙය සංක්‍ෂිප්ත වශයෙන් ද විස්තර වශයෙන් දැ යි දෙ ආකාරයෙකින් වේ. ස්තබ්ධ ලක්‍ෂණ ඇත්තේ පෘථිවිධාතු ය. ආබන්ධන ලක්‍ෂණ ඇත්තේ අබ්ධාතු ය. පරිපාචන ලක්‍ෂණ ඇත්තේ තේජෝධාතු ය. විත්‍ථම්භන ලක්‍ෂණ ඇත්තේ වායුධාතු ය යි සැලකීම සංක්‍ෂිප්ත ක්‍රමය යි. එය තීක්‍ෂණ ප්‍රාඥයාට ය. දෙසාළිස් ආකාරයෙන් සැලකීම විස්තර ක්‍රමය යි. කෙසාදී විසි කොටසෙහි තද ගතිය ඇලෙන්නේ ය. පිත්තාදි දොළොස් කොටසෙහි ආබන්ධන ගතිය ඇත්තේ ය. තැවීම්, පැසවීම්, දිරවීම්, මිහිකිරීම් යි සිව් ආකාරයෙකින් පරිපාචන ගතිය ඇත්තේ ය. උද්ධංගමාදී සයාකාරයෙකින් විත්‍ථම්භන ගතිය ඇත්තේ ය. මෙසේ විස්තර වශයෙන් සැලකීම මන්‍දප්‍රාඥයාට යි. මෙහි තව ද විස්තර විසුද්ධිමාර්ගයෙහි බලනු.
චතු ආරුප්ප. ආකාසානඤ්චායතන, විඤ්ඤාණඤ්චායතන, ආකිඤ්චඤ්ඤායතන, නේවසඤ්ඤානාසඤ්ඤායතන යන මේ සතර චතු ආරුප්ප ය. මෙහි ආකාසානඤ්චායතනයට කසිණුග්ඝාටිමාකාසය අරමුණු වේ. කසිණුග්ඝාටිමාකාසය නම් කිසුණු ඉගුළු අහස ය. කසිණාලෝකය යම් තැනෙක පතුරුවන ලද්දේ ද ඒ ආලෝකය ඉවත් වූ කල ලැබෙන අහස කිසුණු ඉගුළු අහස ය. විඤ්ඤාණඤ්චායතනයට ආකාසානඤ්චායතන චිත්තය අරමුණු වේ. ඒ ආකාසානඤ්චායතන චිත්තයාගේ අභාවය ආකිඤ්චඤ්ඤායතනයට අරමුණු වේ. ආකිඤ්චඤ්ඤායතන චිත්තය නේවසඤ්ඤානාසඤ්ඤායතනයට අරමුණු වේ. එය සන්ත වශයෙන් ප්‍රණීත වශයෙන් ගැන්ම යි මෙහි අරමුණු වීම නම්. මෙහි විස්තරයෙක් මතු ද පළ වේ.
ප්‍රශ්න.
- අප්පමඤ්ඤා සතර කවරේ ද? කුමක් හෙයින් එයට ඒ නම් ලැබේ ද?
- ආහාරපටික්කූලසඤ්ඤාව විස්තර කරනු.
- චතුධාතුවවථානය දක්වනු. එහි සංක්‍ෂිප්ත ක්‍රමය හා විස්තර ක්‍රමය කෙසේ ද?
- ආරුප්ප සතර දක්වනු. එය කවුරුන්ට ලැබිය හැකි ද?
- සතළිස් කර්මස්ථාන දක්වනු.