5. චරිතානුකූල කර්මස්ථාන.

රාගචරිත, ද්වේෂචරිත, මෝහචරිත, ශ්‍රද්ධාචරිත, බුද්ධිචරිත, විතර්කචරිතය යි චරිතවත් පුද්ගලයෝ සදෙනෙක් වෙති යි යට දක්වන ලදි. මේ රාගචරිතයෙක, මේ ද්වේෂචරිතයෙක යනාදීන් දැනැ ගැන්ම පහසු නො වේ. තමහට ද තමාගේ චරිතය දුර්බෝධ ය. එහෙත් ඔවුනොවුන්ගේ ඉරියව්වෙන් ද, කෘත්‍යයෙන් ද, භෝජනයෙන් ද, දර්ශනාදියෙන් ද, ධර්මප්‍රවෘත්තියෙන් ද චරිත ස්වභාවය සාමාන්‍යයෙන් දත හැකි ය.

රාගචරිතයාගේ සතර ඉරියව්ව ම මිහිරි ය. ප්‍රසාදජනක ය. හේ යන්නේ සෙමෙන් ලීලායෙන් යෙයි. සිටින්නේ මිහිරි මිහිරි වැ සිටියි. ඉන්නේ ද මිහිරි මිහිරි වැ හිඳියි. නිදන්නේ මොනවට සයන පනවා ගෙනැ මිහිරි වැ නිදයි. හැමදීම් ආදි කරන්නේ දුටුවන් පහදින සේ, මනා වැ කරයි. වළඳන්නේ සිනිඳු මිහිරි භෝජන කැමැත්තෙන් වළඳයි. බැලීම් ආදිය කරන්නේ ප්‍රියරූප දැක විස්මිත වෙයි. බොහෝ වේලා ඒ දිසා බලා හිඳියි. සුළු ගුණයෙහි ඇලෙයි. ඇති දොස් ද ගණන් නො ගනි යි. මායා, සාඨෙය්‍ය, මාන, මහිච්ඡතා, පාපිච්ඡතා, අසන්තුට්ඨිතා, චපලතා ආදිය ඔහුගේ ධර්ම ප්‍රවෘත්ති යි. මෙබඳු රාගචරිතයාහට වනාහි දශ අශුභ ද කායගතාසති සංඛ්‍යාත කොට්ඨාස භාවනාව ද සප්පාය වන්නේ ය.

ද්වේෂචරිතයාගේ සතර ඉරියව්ව ම ක්‍රෑර ය. හේ යන්නේ පා අගින් පොළෝ කණන්නා සේ වෙළෙවි වෙළෙවි වැ යයි. සිටින්නේ රෞද්‍රාකාරයෙන් සිටියි. ඉන්නේ ද එ සේ ය. නිදන්නේ නපුරු වැ මුහුණ හකුළා ගෙනැ නිදයි. පුබුදුවනු ලබන්නේත් කෝප සහිත වැ පුබුදියි. හැමදීම් ආදිය කරන්නේ තරයේ මුස්න ගෙනැ රළු හඬ නඟා හැමදීම් ආදිය කරයි. එහෙත් පිරිසිදු වැ හමදියි. වළඳන්නේ කටුක ඇඹුල් වැඩි භෝජන මුව පුරා ගෙනැ වෙළෙවි වැ වළඳයි. අමිහිරක් ලද නම් කෝප දක්වයි. බැලීම් ආදිය කරන්නේ නො සිත් කලු රූ දැක කෝපවෙයි. කවර රූපයක් හෝ වැඩි වේලා නො බලයි. බලා හැරැ යන්නේ අපේක්‍ෂා රහිත වැ ම යයි. කොධ, උපනාහ, මක්ඛ, පලාස, ඉස්සා, මච්ඡරිය ආදිය ඔහුගේ ධර්ම ප්‍රවෘත්ති යි. මෙ බඳු ද්වේෂ චරිතයා හට වනාහි සතර අප්පමඤ්ඤ ද, නීලාදි වර්ණ කසිණ සතර ද සප්පාය වන්නේ ය.

මෝහචරිතයාගේ සතර ඉරියව්ව ම අවුල් ය. යාම් ආදිය කරන්නේ ආකුල වැ ම කරයි. නිදන්නේ අවුල් කැරැ ගත් ආසනයෙහි බොහෝ විට යටිමුව වැ නිදයි. පුබුදු වනු ලබන්නේත් හුම් හුම් ගාමින් සිටැ අමාරුයෙන් නැගිටියි. හැමදීම් ආදිය කරන්නේ මුස්න ලිහිල් වැ ගෙනැ අපිරිසිදු සේ විසම වැ හැමදීම් ආදිය කරයි. වළඳන්නේ අසවල් රස රුචිය යි නියම නැති වැ එහෙන් මෙහෙන් ඉහිරුවමින් අතේ කටේ සෑම තැන ගා ගනිමින් වළඳයි. යමක් දැකැ අන්‍යයෝ ගුණ කියත් නම් තෙමේත් ගුණ කියයි. අන්‍යයයෝ දොස් කියත් නම් තෙමේත් දොස් කියයි. තමහට එහි විවේචන බුද්ධියක් නැත. ථීන, මිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡාදිය ඔහුගේ ධර්ම ප්‍රවෘත්ති යි. මෙබඳු මෝහචරිතයා හට වනාහි ආනාපානසතිය සප්පාය වන්නේ ය.

ශ්‍රද්ධාචරිතයාගේ ඉරියව් ආදී සියල්ල බොහෝ සෙයින් රාගචරිතයාට කී බඳුය. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, චාගානුස්සති, දේවතානුස්සති යන සය ඒ ශ්‍රද්ධාචරිතයා හට සප්පාය වන්නේ ය.

බුද්ධචරිතයාගේ ඉරියව් ආදි සියල්ල බොහෝ සෙයින් ද්වේෂචරිතයා හට කී බඳු ය. මරණානුස්සති, උපසමානුස්සති, ආහාරපටික්කූලසඤ්ඤා, චතුධාතුවවත්‍ථාන යන සතර බුද්ධි චරිතයා හට සප්පාය වන්නේ ය.

විතර්ක චරිතයාගේ ඉරියව් ආදිය ද මෝහ චරිතයා හට කී බඳු ය. ආනාපානසතිය ඒ විතර්ක චරිතයා හට සප්පාය වන්නේ ය. “ආනාපානසති භාවෙතබ්බා විතක්කු පච්ඡෙදාය” යනු පාළි යි. මෝහ චරිතයා ද ප්‍රකෘතියෙන් ප්‍රමාද බහුලයෙකි. වික්‍ෂිප්ත සිත් ඇත්තෙකි. එ බැවින් ඔහුට ද මේ ම සප්පාය යි කීයේ ය.

පඨවිකසිණ, ආපොකසිණ, තේජොකසිණ, වායොකසිණ යන භූතකසිණ සතර ද, ආකාසකසිණය ද, ආලෝක කසිණය ද, ආරුප්ප සතර ද යන දශය ශ්‍රද්ධාචරිතාදි සියල්ලන්ට සප්පාය වන්නේ ය. එහිදු කලවිටි ප්‍රමාණ වූ පුළුල් කසිණ මණ්ඩලය මෝහ චරිතයාට සප්පාය වේ. ඔහුගේ සිත කුඩා නිමිත්තයෙහි මනාව නො පිහිටන බැවිනි. වියත් සතරඟුල් පමණ කුඩා කසිණමණ්ඩලය විතර්කයා හට සප්පාය වේ. මහත් වුව විතර්කය ම දිවෙන බැවිනි.

මේ සතළිස් කර්මස්ථාන අතුරෙන් දස අසුභ, ආහාර පටික්කූලසඤ්ඤා කායගතාසති යන දොළොස චාතුර්මහාරාජිකාදි ෂට්කාමස්වර්ගයෙහි නැත. සෙසු අටවිස්ස ඇත. එහෙත් එහි වායොකසිණය ම බොහෝ සෙයින් ලැබේ. රූපී බ්‍රහ්ම ලෝකයෙහි ඒ දොළොස හා ආනාපානසතිය යන තෙළෙස නැත. සෙසු සත්විස්ස ඇත. එහි දු අසංඥ තලයෙහි කිසි දු කර්මස්ථානයෙක් නැත. අරූපලෝකයෙහි ආරුප්ප සතර පමණෙක් ඇත. සෙසු සතිස නැත. මනුෂ්‍ය ලෝකයෙහි මේ සතළිස ම ලැබෙන බව දත යුතුයි.

ප්‍රශ්න.

  1. රාගචරිතයාගේ ආකාර දක්වා ඔහුට සුදුසු කර්මස්ථාන දක්වනු.
  2. ද්වේෂ චරිතයාගේ ලක්‍ෂණ දක්වනු. ඔහුට කවර කමටහන් සැප ද?
  3. මෝහ චරිතයාගේ ලක්‍ෂණ පෙන්වනු. ඔහුට සුදුසු කමටහන කිම?
  4. ශ්‍රද්ධා බුද්ධි විතර්ක චරිත ලක්‍ෂණ දක්වා ඔවුන්ට කර්මස්ථාන ද දක්වනු.
  5. කාමරූප අරූප ලෝකයෙහි කවර කවර කර්මස්ථාන ලැබේද? කවර කවර කර්මස්ථාන නො ලැබේ ද?