6. ත්‍රිවිධ භාවනා හා ත්‍රිවිධ නිමිති.

පරිකර්ම භාවනා, උපචාර භාවනා, අර්පණා භාවනා යයි භාවනා ත්‍රිවිධ වේ.

සතළිස් කර්මස්ථාන අතුරෙන් කිසිවක් අරමුණු කොටැ ගෙනැ මතු දැක්වෙන ප්‍රතිභාග නිමිත්ත ලැබෙන තාක් සිත නැවත නැවත එහි මෙහෙයන්නේ ද ඒ සිත මෙහෙයීම පරිකර්ම භාවනා ය යි කියනු ලැබේ. ඒ වනාහි සතලිස් කර්මස්ථාන විෂයයෙහි ම ලැබෙන්නේ ය.

ප්‍රතිභාග නිමිත්ත ලැබුණු කල්හි එය අරමුණු කොටැ ධ්‍යානය ලැබෙන තාක් එහි සිත මෙහෙයීම උපචාර භාවනා ය යි කියනු ලැබේ. එ ද සතළිස් කර්මස්ථානයෙහි ම ලැබෙන්නේ ය.

ඒ ප්‍රතිභාග නිමිත්ත ම අරමුණු කොටැ ධ්‍යානය ලැබෙන අවස්ථාවහෙි එහි සිත මෙහෙයීම අර්පණා භාවනාය යි කියනු ලැබේ. අර්පණා නම් මෙහි ධ්‍යාන ප්‍රාප්තිය යි. මේ අර්පණා භාවනාව වනාහි බුද්ධානුස්සති, ධම්මානුස්සති, සඞ්ඝානුස්සති, සීලානුස්සති, චාගානුස්සති, දේවතානුස්සති, උපසමානුස්සති, මරණානුස්සති යන අනුස්සති අටෙහි ද, ආහාරපටික්කූලසඤ්ඤා, චතුධාතුවවත්‍ථාන යන දෙක්හි ද යන දශ කර්මස්ථානයෙහි නො ලැබෙන බව දත යුතු. කුමක් හෙයින් ද? බුද්ධ, ධර්ම, සඞ්ඝ, සීල, ත්‍යාග, දේවතා, උපසම යන මොවුන් පිළිබඳ ගුණ ගැඹුරු බැවින් හා අනන්ත බැවින් ය. ඒ එසේ මැ යි. බුද්ධාදීන් පිළිබඳ ගුණ ගැඹුරු ය. ඒ ගැඹුරු ගුණ අරමුණු කොටැ ගැඹුරු සයුරෙහි සාවකුට පිහිටා ගන්නට බැරි සේ සිතට නිශ්චල වැ පිහිටා ගන්නට බැරි ය. එසේ ම ඒ බුද්ධාදි ගුණ මෙතෙකැ යි ප්‍රමාණ නැත. එබැවින් ඒ අනන්ත ගුණ අරමුණු කොට ද සිත අර්පණා කැරැ ගන්නට බැරිය. මරණය ස්වභාව ධර්මයක් බැවින් හා සංවෙජනිය ධර්මයක් බැවින් ද, ආහාරේ පටික්කූලතාව හා චතුධාතුවවත්‍ථානය ස්වභාව ධර්ම බැවින් හා ගැඹුරු බැවින් ද ඒ තුනෙහි ද අර්පණා ලබන්නට බැරිය. එසේ නම් ගැඹුරු වූ නිර්වාණය අරමුණු කොටැ ද ඇතැම් අරූපාවචර සිත් අරමුණු කොට ද මාර්ගාදි අර්පණා කෙසේ ලබන්නේ දැ යි නො සිතිය යුතු යි. නිර්වාණය අරමුණු කොටැ අර්පණා වන්නේ දෘෂ්ටි විශුද්ධියෙහි පටන් සම්මර්ශනඥානයෙහි පටන් පිළිවෙලින් මතු මතු පැවති විශුද්ධිභාවනාවන්ගේ බලයෙන් ය. අරූපාවචර සිත් අරමුණු කොටැ අර්පණා වන්නේ පඤ්චම ධ්‍යානිකයාට ය. මේ දශය හැරැ සෙසු සමතිස් කර්මස්ථානයෙහි අර්පණා භාවනා ලැබෙන්නේ’ ය. ඒ ලැබෙන්නේත් එක සේ නො වේ. නොයෙක් සේ ය. එහි ක්‍රමය මෙසේ යි.

දසකසිණ ද ආනාපාන සතිය ද යන එකොළස පඤ්චක ධ්‍යානික ය. මේ එකොළොස් කර්මස්ථාන වඩා ප්‍රථමධ්‍යානාදි ධ්‍යාන පස පිළිබඳ අර්පණා ලැබිය හැකිය යි සේ යි. දස අශුභය ද කායගතාසති ද යන එකොළොස ප්‍රථමධයානික ය. මේ එකොළොස වඩා ප්‍රථමධ්‍යානය පමණක් ලැබිය හැකි ය. පිළිකුල් අරමුණෙහි විතර්ක රහිත සිත් නො පවතී. එහෙයින් මෙහි අවිතර්ක ධ්‍යාන නො ලැබේ.

මෙත්තා, කරුණා, මුදිතා යන තුන චතුෂ්ක ධ්‍යානික ය. මේ තුන වඩා ප්‍රථමධ්‍යානාදී ධ්‍යාන සතර ලැබිය හැකිය. මෛත්‍රී කරුණා මුදිතා දොම්නසින් නැගෙන ව්‍යාපාද විහිංසා, අරති දුරු කරයි. එය සොම්නසින් වෙන් වැ නො ලැබේ. එ බැවින් සුඛ වේදනා රහිත පඤ්චම ධ්‍යානාදිය මෙහි නො ලද හැකිය.

උපෙක්‍ෂා පඤ්චම ධ්‍යානික ය. උපෙක්‍ෂා වඩා පඤ්චම ධ්‍යානය පමණක් ලද හැකි ය යි සේ යි. සත්ත්‍වයන් කෙරෙහි මධ්‍යස්ථ හෙියන් මෙහි සුඛධ්‍යාන නො ලැබේ.

ආරුප්ප සතර අරූපධ්‍යානික ය. කසිණුඝොටිමාකාසාදිය වඩා අරූපධ්‍යාන පමණක් උපදවිය හැකිය.

උපචාර සමාධි පමණක් ලැබෙන බුද්ධානුස්සති ආදි දශය කාමාවචර කර්මස්ථානය යි ද, ප්‍රථමධ්‍යානාදි අර්පණා ලැබෙන සවිස්ස රූපාවචර කර්මස්ථානය යි ද, ආකාසානඤ්චායතනාදි සතර අරූපාවචර කර්මස්ථානය යි ද කිවයුතු

පරිකර්මනිමිත්ත, උද්ග්‍රහ නිමිත්ත, ප්‍රතිභාග නිමිත්තය යි නිමිති ද ත්‍රිවිධ වේ.

සතලිස් කර්මස්ථාන අතුරෙන් යමක් අරමුණු කොටැ ගෙනැ පළමු පළමු භාවනා කරන්නේ ද එය පරිකර්ම නිමිත්තය යි කියනු ලැබේ. ඒ පරිකර්ම නිමිත්ත සතලිස් කර්මස්ථානයෙහි ම ලැබේ.

පරිකර්ම නිමිත්ත දිසා බලාගෙනැ භාවනා කරන කල්හි සිය දහස් වර හෝ භාවනා කරන කල්හි යම් නිමිත්තයෙක් සිතට අරමුණු වේ ද ඇස පියා බැලුව ද වෙන දිසාවෙක බැලුව ද යම් නිමිත්තයෙක් සිතට පෙනෙන්නාක් මෙන් වේ ද එය උද්ග්‍රහ නිමිත්තය යි කියනු ලැබේ.

ඒ උද්ග්‍රහ නිමිත්ත අරමුණු කොටැ ගෙනැ භාවනා කරන කල්හි එය පලා ගෙනැ නැංගාක් බඳු එයට වඩා සිය දහස් ගුණයෙන් පිරිසිදු වූ යම් නිමිත්තයෙක් පහළ වේ ද එය ප්‍රතිභාග නිමිත්තය යි කියනු ලැබේ. ප්‍රතිභාග නිමිත්ත වනාහි පඨවිකසිණයෙහි නම් ථවිකායෙන් මෑත් කොටැ ගත් දර්පණ තලයක් මෙන් ද කොපුයෙන් හයාගත් අසිපතක් මෙන් ද වලාගැබින් නික්මුණු පුන්සඳක් මෙන් ද අත්‍යන්ත නිර්මල ය. උද්ග්‍රහ නිමිත්තෙහි කසිණ දෝස පෙනේ. මෙහි එ බඳු දෝෂ නො පෙනේ. සර්ව නිර්මල වේ. මේ ප්‍රතිභාග නිමිත්ත සියලු කර්මස්ථානයෙහි මැ නො ලැබේ. ලැබෙන්නේ දසකසිණ, දස අශුභ, කායගතාසති, ආනාපාන සති යන දෙවිසි කර්මස්ථානයෙහි ය. එහෙත් සියලු ප්‍රතිභාග නිමිති එක් බඳුය යි නො සිතිය යුතු.

ආපොකසිණයෙහි උද්ග්‍රහනිමිත්ත සැලෙන්නාක් බඳු ය. ප්‍රතිභාග නිමිත්ත නිශ්චල ය. අහස තුබූ මිණිතල් වැටක් හෝ මිණිමුවා දර්පණ තලයක් හෝ බඳු ය.

තේජෝකසිණයෙහි උද්ග්‍රහ නිමිත්ත ගිනි දැල් සිඳි සිඳී වැටෙන්නාක් බඳු ය. ප්‍රතිභාග නිමිත්ත නිශ්චල ය. අහස තුබූ රත්කම්බල කඩක් හෝ රන් තල්වැටක් හෝ රන්ටැඹක් හෝ බඳු ය.

වායොකසිණයෙහි උද්ග්‍රහ නිමිත්ත උදුනින් බා ගත් කිරි බතෙහි හුමාලය සේ චංචල ය. ප්‍රතිභාග නිමිත්ත සන්සුන් ය. නිශ්චල ය.

නීලකසිණයෙහි උද්ග්‍රහ නිමිත්ත ඉදින් කසිණය නිල් මල් නම් කෙසුරු නැටි පෙති ආදිය පෙනේ. ප්‍රතිභාග නිමිත්ත අහස මිණිතල් වැටක් සේ පිරිසිදු ය.

පීත, ලොහිත, ඔදාත කසිණයන්හි ද මෙසේ ය. වර්ණය වෙනසි.

ආලොක කසිණයෙහි උද්ග්‍රහ නිමිත්ත බිත්තියෙහි හෝ බිම හෝ නැගි ආලෝක මණ්ඩලයක් බඳු ය. ප්‍රතිභාග නිමිත්ත ඝන වූ ප්‍රසන්න ආලෝක පුඤ්ජයක් බඳු ය.

ආකාසකසිණයෙහි උද්ග්‍රහ නිමිත්ත භිත්තිපර්යන්තාදියත් සමග සිදුරක් බඳු ය. ප්‍රතිභාග නිමිත්ත ආකාශ මණ්ඩල ම ය.

උද්ධුමාතකයෙහි උද්ග්‍රහ නිමිත්ත විරූප වූ බිහිසුණු ඉදිමී ගත් සිරුරෙකි. ප්‍රතිභාග නිමිත්ත රිසි තාක් වළඳා හොත් ස්ථූල වූ අඟපසඟ ඇති පුරුෂයෙකි.

විනීලකයෙහි උද්ග්‍රහ නිමිත්ත කබර වර්ණ ය. ප්‍රතිභාග නිමිත්ත උත්සඳ වූ නීලවර්ණ ය.

විපුබ්බකයෙහි උද්ග්‍රහ නිමිත්ත පූයා වැගිරෙන්නාක් බඳු ය. ප්‍රතිභාග නිමිත්ත නිශ්චල ය.

විච්ඡිද්දකයෙහි උද්ග්‍රහ නිමිත්ත මැදින් සිඳුනා බඳු ය. ප්‍රතිභාග නිමිත්ත පරිපූර්ණ ය.

වික්ඛායිතක, වික්ඛිත්තක, හතවික්ඛිත්තකයන්හි ද ප්‍රතිභාග නිමිත්ත සම්පූර්ණ ය.

ලෝහිතකයෙහි උද්ග්‍රහ නිමිත්ත සැලෙන රත් පතාකාවක් සේ ලේ වැගිරෙන්නාක් බඳු ය. ප්‍රතිභාග නිමිත්ත නිශ්චල ය.

පුලවකයෙහි ද උද්ග්‍රහ නිමිත්ත සැලෙන්නාක් බඳු ය. ප්‍රතිභාග නිමිත්ත හැල් බත් පිඩක් සේ නිශ්චල ය.

අට්ඨිකයෙහි එක ඇටයක් නම් උද්ග්‍රහ නිමිත්ත හා ප්‍රතිභාග නිමිත්ත එක් බඳු ය. ඇටසැකිල්ලෙහි නම් උද්ග්‍රහ නිමිත්ත විවර සහිත ය. ප්‍රතිභාග නිමිත්ත සම්පූර්ණ ය.

කායගතාසතියෙහි උද්ග්‍රහ නිමිත්ත කේශාදීන්ගේ වර්ණ සණ්ඨාන, දිසා, ඔකාස පරිච්ඡේද වශයෙන් වැටහේ. ප්‍රතිභාග නිමිත්ත සර්වාකාරයෙන් ම පිළිකුල් වැ වැටහේ.

ආනාපානසතියෙහි ප්‍රතිභාග නිමිත්ත කපුපුළුන් සේ වාත ධාරා සේ සුවපහස් දෙමින් උපදියි. ඇතැම් කෙනෙකුන්ට තරු හෝ මිණිගුළි හෝ මුතුගුළි හෝ බඳු වැ ද ඇතැම් කෙනෙකුන්ට කපු ඇට හෝ දැව හර සූචි හෝ බඳු වැ ද ඇතැම් කෙනෙකුන්ට රිදී හවඩි හෝ මල්දම් හෝ දුම්සිලු හෝ බඳු වැ ද ඇතැම් කෙනෙකුන්ට මකුළු නූල් හෝ වලාපටල හෝ පියුම් කුසුම් හෝ රියසක් රිවිමඬල සඳමඬල හෝ බඳු වැද උපදියි.

උපචාර සමාධි හා අර්පණා සමාධි හා පවත්නේ මේ ප්‍රතිභාග නිමිත්ත අරමුණු කොටැ ගෙනැ ය.

ප්‍රශ්න.

  1. පරිකර්මභාවනා, උපචාර භාවනා, අර්පණා භාවනා පැහැදිලි කරනු.
  2. කවර ස්ථානයන්හි මේ ත්‍රිවිධ භාවනා ලැබේ ද? කවර කර්මස්ථානයන්හි නො ලැබේ ද? අර්පණා ලැබිය හැකි කර්මස්ථාන දක්වනු.
  3. අසවල් කර්මස්ථානවලින් අසවල් ධ්‍යාන ලැබිය හැකිය යි කරුණු සහිත වැ පෙන්වනු.
  4. පරිකර්ම නිමිති, උද්ග්‍රහ නිමිති පැහැදිලි කරනු. මේ ලැබෙන්නේ කවර කවර කර්මස්ථානයන්හි ද?
  5. ඒ ඒ කර්මස්ථානයන්හි ප්‍රතිභාග නිමිතිවල ආකාර දක්වනු.