7. පඨවිකසිණය වඩා ප්‍රථමධ්‍යානය ලබා ගන්නා ආකාරය.

සතළිස් කර්මස්ථාන ද, ත්‍රිවිධ භාවනා ද, ත්‍රිවිධ නිමිති ද යට දක්වන ලදි. පඨවිකසිණය වඩා ප්‍රථමධ්‍යානය ලබා ගත හැකි ආකාරය මෙහි දක්වනු ලැබේ.

ආදි කර්මික වූ යමෙක් යට දැක්වුණු පරිදි පඨවිකසිණ මණ්ඩලයක් ගෙනැ ඒ අරමුණු කොටැ භාවනා කරන්නේ ද ඔහුගේ ඒ අරමුණ පරිකර්ම නිමිත්තය යි ද භාවනාව පරිකර්ම භාවනායයි ද කියනු ලැබේ. යම් විටෙක ඒ පරිකර්ම නිමිත්ත සිතට නැගුණේ ද-ඇසට පෙනුණු සේ ම සිතට පෙනේ ද එවිට ඒ සිතට නැඟුණු අරමුණ උද්ග්‍රහ නිමිත්තය යි කියනු ලැබේ. දැන් ඔහුගේ භාවනාව පරිකර්ම සමාධියෙන් සමාධිමත් ය. ඒ උද්ග්‍රහ නිමිත්ත අරමුණු කොටැ පරිකර්ම සමාධිමත් භාවනායෙන් භාවනා කරත්ම යම් විටෙක ඒ උද්ග්‍රහ නිමිත්ත සමාන වූ වස්තු ධර්මයෙන් තොර වූ ප්‍රඥප්ති සංඛ්‍යාත අරමුණෙක් සිතට පෙනේ ද එවිට ප්‍රතිභාග නිමිත්ත උපන්නේය යි කියනු ලැබේ. එ තැන් පටන් නීවරණොපද්‍රවයෙන් තොර කාමාවචර සමාධි සංඛ්‍යාත උපචාර භාවනාව ද නිපන්නේ වෙයි. එ තැන් පටන් ඒ ප්‍රතිභාග නිමිත්ත උපචාර සමාධිමත් භාවනායෙන් භාවනා කරත් ම රූපාවචර ප්‍රථම ධ්‍යානය අර්පණා වන්නේ ය.

ශ්‍රී ශාරිපුත්‍ර සංඝරාජ මහා ස්වාමීහු මේ අර්ථය මෙසේ සමර්ථනය කරති.

“ආදියෙහි වනාහි චතුපාරිසුද්ධි සීලය ශුද්ධ කොටැ ආවාසාදි දශවිධ පලිබොධොපච්ඡේදය කොටැ ප්‍රිය ගුරු භාවනීයාදි ගුණයෙන් සමන්විත වූ කල්‍යාණ මිත්‍රයකු සමීපයට එළඹැ තමාගේ චරිතයට අනුකූල කර්මස්ථානයක් ගෙන මහාවාසාදි අෂ්ටාදශවිධ වූ අනනුරූප විහාරය දුරු කොටැ නාතිදුර නාත්‍යාසන්නාදි වූ පඤ්චාඞ්ගයෙන් සමන්විත වූ අනුරූප විහාරයෙහි වසන්නා වූ කෙශනඛ භරණාදි වූ ක්‍ෂුත්‍ර පළිබෝධ දුරු කොටැ එක් වියත් සතරඟුල් පළල ඇති වට වූ කිසුණු මඬුල්ල අභිමුඛ කොටැ දෙරියන් වියත් හස්ත පාර්ශව ප්‍රමාණ ස්ථානයෙහි මනා කොටැ පනවන ලද වියත් සතරඟුල් පමණ උස ඇති අස්නෙහි සුවෙන් හිඳැ “අප්පස්සාදාකාමා” යනාදීන් කාමයෙහි ආදීනව ප්‍රත්‍යවෙක්‍ෂා කොටැ සර්වදුඃඛ සමතික්‍රමයට කාරණ වූ නෛෂ්ක්‍රම්‍යයෙහි සඤ්ජතාභිලාෂා ඇතිව බුද්ධ, ධර්ම, සඞ්ඝ ගුණානුස්මරණයෙන් ප්‍රතිප්‍රමොද උපදවා “මේ ප්‍රතිපත්ති තොමෝ සියලු බුද්ධ ප්‍රත්‍යෙකබුද්ධ ආර්ය ශ්‍රාවකයන් විසින් ප්‍රතිපන්න වූ නෛෂ්ක්‍රම්‍ය ප්‍රතිපත්තිය” යි ප්‍රතිපත්තියෙහි සඤ්ජාත ගෞරව ඇති වැ සිත් පිහිටුවා “අද්ධා ඉමාය පටිපත්තියා පවිවෙකසුඛස්ස භාගී භවිස්සාමි” යි මෙසේ උත්සාහ උපදවා සම වූ ආකාරයෙන් ඇස දල්වා කිසුණෙහි වර්ණය ප්‍රත්‍යවෙක්‍ෂා නො කොටැ ලක්‍ෂණය මනස්කාර නො කොටැ වර්ණය නො හැරැ ම උත්සද වශයෙන් ප්‍රඥප්ති ධර්මයෙහි සිත් පිහිටුවා එකග වූ සිතින් “පඨවි පඨවි” යනාදීන් ඒ ඒ භාවනානු ක්‍රමයෙන් පෘථුවි කෘත්ස්නාදි වූ ඒ ඒ අරමුණෙහි නිමිත්ත ග්‍රහණය කරන්නාහට ඒ ආරම්මණය පරිකර්ම නිමිත්තය යි කියනු ලැබේ. ඒ භාවනා ද පරිකර්ම භාවනා නම් වේ.

මෙහි යට කී පරිද්දෙන් නිමිත්ත ග්‍රහණය කොටැ භාවනා කරන යෝගාවචරයා විසින් කලෙකින් ඇස දල්වා කලෙකින් ඇස පියාලා ආවර්ජනා කොටැ උද්ග්‍රහ නිමිත්තය ඉපදවිය යුතු.

උද්ග්‍රහ නිමිත්තය යම් තාක් කල් නො උපදී ද ඒ තාක්කල් කාල ශතයකුදු කාල සහස්‍රයකුදු ඊට වඩා ද මෙම ක්‍රමයෙන් භාවනා කටයුත්තේ යැ. එසේ භවන්නාහට යම් කලෙක්හි ඇස පියා ද ආවර්ජනා කරන්නාහට ඇස දැල්වූ කල්හි මෙන් අරමුණු ආපාතගත වූයේ වේ ද ඒ සමයෙහි උද්ග්‍රහ නිමිත්තය උපන්නා නම් වේ. ඒ උද්ග්‍රහ නිමිත්තය ලද තැන් පටන් ඒ ස්ථානයෙහි නො හිඳැ තමා වසන්නා වූ ස්ථානයට වැදැ එහි හුන්නාහු විසින් භැවිය යුතු.

ඉදින් තරුණ වූ සමාධිය කිසි අසප්පායයෙකින් නටුයේ වී නම් නැවත ඒ ස්ථානයට ගොස් නිමිත්තය උපදවා නැවත අවුත් සුවසේ උන්නහු විසින් නැවත නැවත භැවිය යුතු. මෙසේ භවන්නාවූ යෝගාවචරයා හට අනුක්‍රමයෙන් කාමච්ඡන්‍දාදී නීවරණයෝ විෂ්කම්භිත වෙති. ක්ලෙශොත්පත්තිය නො වන්නී යැ. උපචාර සමාධීන් චිත්තය මනාව පිහිටන්නේ යැ. ප්‍රතිභාග නිමිත්තය ද උපදනේ යි.

එහි උද්ග්‍රහ නිමිත්ත ප්‍රතිභාග නිමිත්තයන්ගේ වෙනස මෙසේ දතයුතු. උද්ග්‍රහ නිමිත්තයෙහි කසිණයෙහි ඇති දෝෂය පෙනෙන්නේ යැ. ප්‍රතිභාග නිමිත්තය වනාහි ථවිකායෙන් පිටත් කොටැ මදනා ලද දර්පණ තලයක් මෙන් ද සුධොත ශංඛයක් මෙන් ද මෙඝමුඛයෙන් නිෂ්ක්‍රාන්ත පූර්ණ චන්ද්‍ර මණ්ඩලය මෙන් උද්ග්‍රහ නිමිත්තය ප්‍රදාලනය කොටැ නික්මුණාක් මෙන් ඒ උද්ග්‍රහ නිමිත්තයට ශත ගුණයෙන් සහස්‍ර ගුණයෙන් සුපරිශුද්ධ වැ වැටහෙන්නේ යි. ඒ ප්‍රතිභාග නිමිත්තය පටන් යෝගාවචරයා හට පඤ්චනීවරණයෝ විෂ්කම්භිත වූවාහු ම වෙති. ක්ලේශයන්ගේ උත්පත්තිය ද නො ම වන්නී ය. උපචාර සමාධීන් චිත්තය සමාහිත වන්නේ යි.

එහි සමාධිතෙමේ උපචාර සමාධිය අර්පණා සමාධිය යි ද්විප්‍රකාර වෙයි. ඒ උපචාර සමාධියහුගේ ප්‍රතිලාභයෙහි පඤ්චනීවරණයන්ගේ ප්‍රහාණයෙන් චිත්තය සමාහිත වන්නේ ය. අර්පණා සමාධි ප්‍රතිලාභයෙහි විතර්කාදි අංශයන්ගේ පහළ වීමෙන් චිත්තය සමාහිත වන්නේ ය. ඒ සමාධීන් දෙදෙනා අතුරෙහි උපචාර සමාධියෙහි අඞ්ගයෝ ස්ථිර වැ පවත්නාහු නො වෙති. අර්පණා චිත්තයෙහි අඞ්ගයෝ ස්ථිර වැ පවත්නාහ. එසේ හෙයින් අර්පණා චිත්තය දවසක් මුළුල්ලෙහිත් සිටිනේ ය.

එහි උපචාර සමාධිය හා සමග යම් ඒ ප්‍රතිභාග නිමිත්තයෙක් උපන්නේ වේ ද ඒ යෝගාවචර එම පර්යඞ්කයෙන් ඒ ප්‍රතිභාග නිමිත්තය වඩා අර්පණාවට පැමිණෙන්නට ඉදින් සමර්ථ වී නම් යහපත. ඉදින් අසමර්ථ වී නම් චක්‍රවර්තීති ගර්භයක් මෙන් දුර්ලභ රත්නයක් මෙන් ද නිරන්තරයෙන් අප්‍රමත්තයා විසින් රක්‍ෂා කටයුතු. කියන ලද මැ යි.

“සත්තං අප්පමත්තෙන රක්ඛිතබ්බං සතිමතා

නිමිත්තං රක්ඛතො ලද්ධ පරිහානි න විජ්ජති

.

ආරක්ඛණෙ අසන්තස්මිං ලද්ධං තස්ස විනස්සති

රක්ඛිතබ්බං හි තං තස්මා තත්‍රායං රක්ඛනා විධි

.

ආවාසො ගොචරං හස්සං පුග්ගලො භොජනං උතු

ඉරියාපථොති සත්තෙතෙ අසප්පායෙ විවජ්ජයෙ

.

සප්පායෙ සත්ත සෙවෙථ එවං හි පටිපජ්ජතො

න චිරෙනෙ ච කාලෙන හොති භික්ඛුස්ස අප්පනා” යි

මෙසේ දශවිධ අර්පනා කෞශල්‍යය සම්පාදනය කරන්නා වූ යෝගාවචරයා හට ප්‍රතිලබ්ධ වූ ප්‍රතිභාග නිමිත්තය විෂය කොටැ අර්පණා පවත්නේ ය. ඉදින් මෙසේ අර්පණාව නො උපදනේ වී නම් නුවණැත්තා වූ යෝගාවචර තෙමේ තමාගේ චිත්ත ප්‍රවෘත්ති ආකාරය සලකා නැවත නැවත වීර්යයාගේ සමත්‍වය යොදන්නේ ය. අත්‍යාරබ්ධා වීර්යය හැරැ ලිනොද්ධත භාවයෙන් චිත්තය මුදා සම කොටැ සිත මෙහෙයන්නා හට දැන්ම අර්පණා සමාධි උපදනේ ය යි කී සමයෙහි භවාඞ්ග චිත්තය සිඳැ ගෙනැ එම පෘථිවි කසිණය අරමුණු කොටැ මනොද්වාර වීථියෙහි මනොද්වාරාවර්ජන චිත්තය උපදනේ ය.

තදනන්තර වැ එම අරමුණු කොටැ ජවනයෝ සතර දෙනෙක් හෝ පස්දෙනෙක් හෝ උපදනාහ. ජවනයන් සතරදෙනා ද්වාරයෙහි ප්‍රථම ජවනය අර්පණාවට පරිකර්ම වැ සිටි හෙයින් පරිකර්මය යි කියා ද සමීපචාරී හෙයින් උපචාරය යි කියා ද කියනු ලැබෙයි. දෙවන චිත්තය පූර්වභාගයෙහි පරිකර්මචිත්තයන්ට ද මත්තෙහි අර්පණාවටද අනුකූල බව හෙයින් අනුලෝම නම් වෙයි. තුන්වන චිත්තය පරිත්ත ගොත්‍රය පෘථග්ජන ගොත්‍රය ද අභිභවනය කරන හෙයින් මහද්ගත ගොත්‍රය ද වඩන හෙයින් ගොත්‍රභූ නම් වෙයි. සතර වැනි වැ අර්පණා චිත්තය උපදනේ යි. ජවනයන් පස්දෙනකු උපදනා ද්වාරයෙහි ප්‍රථම ජවනය යට කී පරිද්දෙන් පරිකර්ම නම් වෙයි. දෙවන චිත්තය උපචාර නම් වෙයි. තුන්වන චිත්තය අනුලෝම නම් වෙයි. සතරවන චිත්තය ගොත්‍රභූ නම් වෙයි. පස්වැනි වැ අර්පණාව උපදනේ යි. මෙසේ අර්පණාචිත්තය සතරවැනි වැ හෝ පස්වැනි වැ මුත් සවැනි වැ හෝ සත්වැනි වැ හෝ නො උපදනේ යි කුමක් හෙයින් ද යත්?

යම්සේ අලබ්ධ වූ ආසෙවන ඇති අනුලෝම චිත්තය ගොත්‍රභූ චිත්තය උපදවන්නට අසමර්ථ වූයේ වේ ද ලබ්ධ වූ ආසෙවන ප්‍රත්‍යය ඇත්තේ ද සවැනි වැ සත්වැනි වැ භවාඞ්ගයට ආසන්න බැවින් ප්‍රපාතාසන්න පුරුෂයා මෙන් අර්පණා වශයෙන් පිහිටන්නට අසමර්ථ වේ ද එසේ හෙයින් සතර වැන්නෙන් මෑත හෝ පස්වැන්නෙන් මත්තෙහි හෝ අර්පණා නොවන්නේ යය යි දත යුතු”යි.

ප්‍රශ්න.

  1. ප්‍රථමධ්‍යානය ලැබීමට ආදි කර්මිකයා පළමු කොටැ කිමෙක් කළ යුතු ද?
  2. පරිකර්ම නිමිත්ත හා පරිකර්ම භාවනා කවරේ ද?
  3. උද්ග්‍රහ නිමිත්ත හා ප්‍රතිභාග නිමිත්ත දක්වනු.
  4. උපචාර භාවනා හා අර්පණා භාවනා කෙසේ ද?
  5. ප්‍රථමධ්‍යාන චිත්තවීථි දෙක අඳිනු.