12. කාමාවචර සහේතුක විපාක සිත් (8) අට.

යට දක්වන ලද කාමාවචර කුසලයන්ගේ විපාක වනාහි අහේතුක විපාක, සහේතුක විපාක ය යි දෙවැදෑරුම් වේ. එයින් අහේතුක විපාක අට නව වන පාඩමෙන් දක්වන ලද්දේ ය. සහේතුක විපාක සිත් අට මෙසේ ය.

  1. සොමනස්ස සහගත ඤාණසම්පයුත්ත අසංඛාර චිත්තය,
  2. සොමනස්ස සහගත ඤාණසම්පයුත්ත සසංඛාර චිත්තය
  3. සොමනස්ස සහගත ඤාණවිප්පයුත්ත අසංඛාර චිත්තය,
  4. සොමනස්ස සහගත ඤාණවිප්පයුත්ත සසංඛාර චිත්තය,
  5. උපෙක්ඛා සහගත ඤාණසම්පයුත්ත අසංඛාර චිත්තය,
  6. උපෙක්ඛා සහගත ඤාණසම්පයුත්ත සසංඛාර චිත්තය,
  7. උපෙක්ඛා සහගත ඤාණ විප්පයුත්ත අසංඛාර චිත්තය,
  8. උපෙක්ඛා සහගත ඤාණ විප්පයුත්ත සසංඛාර චිත්තය,

මේ විපාක සිත් සාමාන්‍යයෙන් යට දැක්වූ කුසල සිත් බඳු ය. රූපයකින් හටගන්නා සෙවනැල්ල බොහෝ සෙයින් ඒ රූපාකාරයෙන් මැ පවත්නා මෙනි, විශේෂ සැකෙවින් මෙහි දක්වනු ලැබේ.

මොව්හු සත්ත්වයන් පිළිබඳ වැ ප්‍රතිසන්‍ධි වශයෙන් ද, භවාඞ්ග වශයෙන් ද, තදාලම්බන වශයෙන් ද, චුති වශයෙන් දැ යි සතර ආකාරයකින් පවතිත්. ප්‍රතිසන්‍ධි වශයෙන් පවත්නා කල්හි ප්‍රතිසන්‍ධිවිපාකය යි කියනු ලැබේ. භවාඞ්ග තදාලම්බන චුති වශයෙන් පවත්නා කල්හි ප්‍රවෘත්ති විපාක යයි කියනු ලැබේ. ප්‍රතිසන්ධි නම් අභිනව භවයෙක පිළිසිඳ ගැන්ම ය - හෙවත් භවයකින් භවයක් ගැළපීම ය. භවාඞ්ග නම් චක්‍ෂුරාදී ද්වාරවලින් අරමුණු නො ගෙන සිත තැන්පත් ව මෙන් තිබීම ය. තදාලම්බන නම් චිත්ත වීථීන්හි දී ජවනය විසින් ගන්නා ලද අරමුණු ගැනීම ය. චුති නම් ඒ භවයෙන් ගිලිහීම යි.

මේ විපාක සිත් අතුරෙහි, 1, 2, 3, 4 වන සිත් සෝමනස්ස සහගත ය. විපාක සිත් සොම්න්ස සහගතවීමේ හේතුව ඉෂ්ටාරම්මණ ලැබීම යි. 5, 6, 7, 8 යන සිත් උපේක්‍ෂා සහගත ය. විපාක සිත් උපේක්‍ෂා සහගතවීමේ හේතුව ඉෂ්ට මධ්‍යස්ථාරම්මණ ලැබීම යි.

එසේ ම මොවුන් අතුරෙහි, 1, 2, 5, 6 වන සිත් ඥාන සම්ප්‍රයුක්ත ය. මේ විපාක සිත් ඥාන සම්ප්‍රයුක්තවීමේ හේතු ක්‍රම දෙකෙකි. ඔව්හු ප්‍රතිසන්‍ධි භවාඞ්ග, චුති වශයෙන් පවත්නා කල්හි කර්මයාගේ බලවත් භාවයෙන් ඥාන සම්ප්‍රයුක්ත වෙති. ත්‍රිහේතුක උත්කෘෂ්ට කුශලකර්මයෙන් ලැබෙන ප්‍රතිසන්‍ධි ඥාන සම්ප්‍රයුක්ත වන බැවිනි, භවාඞ්ග සිත් හා චුති සිත් ඒ භවයාගේ ප්‍රතිසන්‍ධි චිත්ත හා සමාන බැවින් ඒ භවාඞ්ග චුති චිත්තයන්ගේ ඥාන සම්ප්‍රයුක්තවීමේ හේතුව ද මේ කර්මයාගේ බලවත් භාවය යි හෙවත් පුරාකෘත කර්මය ත්‍රිහේතුක උත්කෘෂ්ට කුශලයක් වීම යි. අනෙක් හේතුව නම් ඔවුන් තදාලම්බන වශයෙන් පවත්නා කල්හි ජවනානුරූපත්වයෙන් (ජවනයන්ට අනුවැ පැවැත්මෙන්) ඥාන සම්ප්‍රයුක්තවීම ය. ඥාන සම්ප්‍රයුක්ත ජවනයට අනතුරුව උපදනා තදාලම්බන ද ඥාන සම්ප්‍රයුක්ත වන බැවිනි. මෙහි ත්‍රිහේතුක කුශල නම් අලෝභ-අදෝස-අමෝහ යන හේතුක්‍රිකය හා යෙදුණු නව වන පාඩමේ දක්වන ලද 1, 2, 5, 6 වන කුසල චිත්තයෝ ය. ඔවුන්ගේ පිරිවර සිත් හෙවත් පූර්ව අපර වශයෙන් උපදනා සිත් ද එබඳුම වී නම් එවිට ත්‍රිහේතුක උත්කෘෂ්ට කුසලය යි කියනු ලැබේ.

එසේ ම මේ විපාක සිත් අතුරෙහි, 3, 4, 7, 8 වන චිත්තයෝ ඥාන විප්‍රයුක්තයහ. කර්මයාගේ දුබල භාවය ද, ජවනානුරූපත්‍වයදැ යි (ජවනයන්ට අනු ව පැවැත්ම දැ යි) ඒ විපාක සිත් ඥාන විප්‍රයුක්ත වීමේ ද හේතු ක්‍රම දෙකෙකි. ඔව්හු ප්‍රතිසන්‍ධි භවාඞ්ග චුති වශයෙන් පවත්නා කල්හි කර්මයාගේ දුබල භාවයෙන් ඥානවිප්‍රයුක්ත වෙති. ත්‍රිහේතුක ඔමක කර්මයෙන් හා ද්විහේතුක උත්කෘෂ්ට කර්මයෙන් ලැබෙන ප්‍රතිසන්‍ධි භවාඞ්ග චුති ඥාන විප්‍රයුක්ත වන බැවිනි. ඔව්හු තදාලම්බන වශයෙන් පවත්නා කල්හි ජවනානුරූප වැ ඥාන විප්‍රයුක්ත වෙත්. ඥාන විප්‍රයුක්ත ජවනයන්ට අනතුරු වැ උපදනා තදාලම්බන බොහෝසෙයින් ඥාන විප්‍රයුක්ත වන බැවිනි.

මේ විපාක සිත් අතුරෙහි 1, 3, 5, 7 වන චිත්තයෝ අසංඛාරයහ. පූර්ව ප්‍රයෝගයෙන් වෙන් වැ එළඹ සිටි කර්ම, කර්මනිමිති, ගතිනිමිති, හේතුයෙන් හා සප්පාය සෘතු භෝජනාදිය ලැබීම් හේතුවෙන් ඔව්හු අසංඛාර වෙති.

2, 4, 6, 8 චිත්තයෝ සසංඛාරයහ. පූර්ව නියෝග හේතුවෙන් එළඹ සිටි කර්ම, කර්මනිමිති, ගතිනිමිති කරණකොට ගෙන හා අසප්පාය සෘතු භෝජනාදිය කරණකොට ගෙන ඔව්හු සසංඛාර වෙත්.

මේ ස්ථානය ගැඹුරුය. විශේෂ විස්තර මතු දැක්වේ.

ප්‍රශ්න

  1. කාමාවචර කුශල විපාක කෙතෙක් ද? එහි අහේතුක කීය ද? සහේතුක කීය ද? ඔව්හු කවරහු ද?
  2. සත්ත්‍වයකුට මේ සහේතුක විපාක සිත් කී ආකාරයකින් ලැබේ ද? ඔව්හු කවරහු ද?
  3. මොවුන් සෝමනස්ස හා උපෙක්ඛා සහගත වීමේ හේතු කවරේ ද?
  4. මොවුන් ඥාන සම්ප්‍රයුක්ත වීමේ හේතු කිම?
  5. මොවුන් අසංඛාර සසංඛාර වීමේ හේතු කිම?