13. කාමාවචර සහේතුක ක්‍රියා සිත් අට

කාමාවචර ක්‍රියා සිත්-අහේතුක ක්‍රියා සිත් ය. සහේතුක ක්‍රියා සිත් ය යි දෙවැදෑරුම් වේ. එයින් අහේතුක ක්‍රියා සිත් දස වන පාඩමෙහි දක්වන ලදි. සහේතුක ක්‍රියා අට මෙසේ ය.

  1. සෝමනස්ස සහගත ඤාණ සම්පයුත්ත අසංඛාර චිත්තය,
  2. සෝමනස්ස සහගත ඤාණ සම්පයුත්ත සසංඛාර චිත්තය,
  3. සෝමනස්ස සහගත ඤාණ විප්පයුත්ත අසංඛාර චිත්තය,
  4. සෝමනස්ස සහගත ඤාණ විප්පයුත්ත සසංඛාර චිත්තය,
  5. උපෙක්ඛා සහගත ඤාණ සම්පයුත්ත අසංඛාර චිත්තය,
  6. උපෙක්ඛා සහගත ඤාණ සම්පයුත්ත සසංඛාර චිත්තය,
  7. උපෙක්ඛා සහගත ඤාණ සම්පයුත්ත අසංඛාර චිත්තය,
  8. උපෙක්ඛා සහගත ඤාණ සම්පයුත්ත සසංඛාර චිත්තය,

මේ සිත්වල ලක්‍ෂණ යට දැක්වූ කාමාවචර කුසල සිත්වලට කී ලක්‍ෂණ බඳු ය. විශේෂය නම් රහතන් වහන්සේට පමණක් මේ සිත් උපදින බවයි.

ඒ එසේ මැයි. පෘථග්ජනයෙක් හෝ ශෛක්‍ෂ පුද්ගලයෙක් හෝ සොම්නසින් හා නුවණින් යුක්තවැ තමාගේ ම ඕනෑකමින් කුශල කර්මයක් කෙළේ නම්, එවිට ඔහුට සෝමනස්ස සහගත ඤාණ සම්පයුත්ත අසංඛාර යන පළමු වන කාමාවචර කුසල චිත්තය ලැබෙන්නේ ය. එ බඳු වූ ම ස්ථානයෙහි ක්‍ෂීණාශ්‍රව රහතන් වහන්සේට සෝමනස්ස සහගත ඤාණ සම්පයුත්ත අසංඛාර යන පළමු වන කාමාවචර ක්‍රියා චිත්තය ලැබෙන්නේ ය. සෙසු සිත් සතෙහි ද ක්‍රමය මෙසේ ය. මේ සිත් මතු විපාක නොලබන හෙයින් කුශල නොවේ. පෙර කළ කර්මයකට විපාක නො වන හෙයින් විපාකත් නොවේ. එබැවින් මොව්හු ක්‍රියා චිත්තයෝ යි කියනු ලැබෙත්.

ක්‍රියා සිත් සොම්නස් උපේක්‍ෂා සහගත වීමේ ද ඤාණ සම්පයුත්ත විප්පයුත්ත වීමේ ද අසංඛාර සසංඛාර වීමේ ද විශේෂ හේතු ඇතත් මෙහි නො දක්වන ලදි.

ප්‍රශ්න

  1. සහේතුක කාමාවචර ක්‍රියා සිත් කෙතෙක් ද? ඔහු කවරහු ද?
  2. මේ ක්‍රියා සිත් කවරකුහට උපදී ද?
  3. පළමු වන ක්‍රියා සිතෙහි ආකාර කෙසේ ද?

“වෙදනා ඤාණ සංඛාර භෙදෙන චතුවීසති,

සහෙතුකාමාවචර පුඤ්ඤපාක ක්‍රියා මතා”

කාමාවචර කුසල ය, සහේතුක කාමාවචර විපාකය, සහේතුක කාමාවචර ක්‍රියා ය යන සිත් වේදනා, ඤාණ සංඛාර භේදයෙන් සූවිස්සෙක.

කාමාවචර සිත් 54 නිමි.