20. ලෝකෝත්තර කුසල සිත් (4) සතර

  1. සොතාපත්ති මග්ග චිත්තය,
  2. සකදාගාමි මග්ග චිත්තය,
  3. අනාගාමි මග්ග චිත්තය,
  4. අරහත්ත මග්ග චිත්තය,

යන මේ සතර ලෝකෝත්තර කුසල සිත් නම් වේ.

1. සොත නම් දිය වතුර-හෙවත් ජල ප්‍රවාහය, නිර්වාණ නමැති මහා සාගරය කරා පමුණුවන හෙයින් ආර්ය අෂ්ටාංගික මාර්ගය මෙහි සොත ය යි කියනු ලැබේ. ඒ සෝත සංඛ්‍යාත ආර්ය අෂ්ටාඞ්ගික මාර්ගයට පළමු වර පැමිණීම සෝතාපත්ති නමි. ඒ සෝතාපත්ති වශයෙන් ලබන ලද මාර්ග චිත්තය සෝතාපත්ති මාර්ග චිත්තය යි. නොහොත් සෝත සංඛ්‍යාත ආර්ය අෂ්ටාඞ්ගික මාර්ගයට පළමුවර පැමිණි පුද්ගලයා සෝතාපත්ති නමි. ඔහුගේ මාර්ග චිත්තය සෝතාපත්ති මාර්ග චිත්තය යි. මාර්ග චිත්ත නම් කෙලෙස් මරණ සිත්.

මේ මාර්ග චිත්තය ලබන්නේ අන්‍ධකාර ගෘහයෙක තුබූ දීප්තිමත් ස්වර්ණ භාජනයක් විදුලි එළියෙන් දක්නා සේ නිර්වාණය දකින්නේ ය. ඒ දැක්ම හා සමග ම ඔහුගේ චිත්ත සන්තානයෙහි පැවැති සක්කායදිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස යන සංයෝජන තුන සම්පූර්ණයෙන් විනාශ වන්නේ ය. එසේ ම සෙසු සියලු අකුශලයන්ගේ අපායාගමී ශක්තියද විනාශ වන්නේ ය. හෙනපහරින් අතුපතර කඩා ගිය වෘක්‍ෂයෙක් කලක් පවතින්නට අභව්‍ය සේ ඉදින් හෙතෙම ඒ ජන්මයෙහි රහත් නුවූයේ නම් සත්වන ජන්මයෙහි හෝ එයින් මොබ ජන්මයෙක හෝ රහත් වන්නේ ය. එයින් දෙවන ජන්මයෙහි රහත් වී නම් එකබීජි ය යි ද, සත්වන ජන්මයෙහි රහත් වී නම් සත්තක්ඛත්තු පරම ය යි ද මෙදැතුරේ රහත් වී නම් කොලංකොල ය යි ද කියනු ලැබේ.

2. ‘සකිං-ආගාමි, - සකදාගාමි’ වරක් හැරී එන්නේ සකදාගාමී නම් වේ. ඔහුගේ (වරක් හැරී එන්නහු ගේ) මාර්ග චිත්තය සකදාගාමි මාර්ග චිත්තය යි. මේ මාර්ග චිත්තය ලැබූ පුද්ගලයා අන්‍ධකාරයෙහි තුබූ ස්වර්ණ භාජනය පහන් එළියෙන් දුටුවා සේ නිර්වාණය දක්නේ ය. එ් හා සමගම ඔහුගේ චිත්ත සන්තානයෙහි පැවැති කාමරාග, ව්‍යාපාද යන සංයෝජන දෙක තුනී වන්නේ ය.

1. මෙහි දී සකෘදාගාමි මාර්ගය ලබා මෙහිදී ම රහත්වැ පිරිනිවෙන්නා ය, 2. මෙහි දී සකෘදාගාමි මාර්ගය ලබා මිය අන්‍ය භවයෙක ඉපිද එහි දී රහත් වැ පිිරිනිවෙන්නා ය, 3. අන්‍ය භවයෙක දී සකෘදාගාමි මාර්ගය ලබා එහිදී ම රහත්වැ පිරිනිවෙන්නා ය; 4. අන්‍ය භවයෙක දී සකෘදාගාමි මාර්ගය ලබා එයින් මිය මෙහි ඉපිද රහත් වැ පිරිනිවෙන්නා ය, 5. මෙහි දී සකෘදාගාමි මාර්ගය ලබා අන්‍ය භවයෙක ඉපිද එයින් මිය නැවත මෙහි ඉපිද රහත්වැ පිරිනිවෙන්නා ය යි සකෘදාගාමි පුද්ගලයා පස් ආකාරයකට බෙදේ. පස්වැනියාගේ වශයෙන් මේ සකෘදාගාමි (-වරක් එන්නා) යන නාමය ලබන ලදී. මෙය ඵලස්ථයා සඳහා ම කිවයුතු වුව ද පුද්ගල භේදය දැනගන්නා පිණිස මෙසේ කියන ලදැයි දතයුතු.

2. ‘න ආගාමි-අනාගාමි’ ප්‍රතිසන්ධි වශයෙන් නැවත මේ කාමලෝකයට නො එන්නේ අනාගාමි නම් වේ. ඔහුගේ මාර්ග චිත්තය අනාගාමි මාර්ග චිත්තය යි. චන්ද්‍රාලෝකයෙන් යථෝක්ත ස්වර්ණ භාජනය දුටුවා සේ හෙතෙම නිර්වාණය දක්නේ ය. ඒ හා සමගම ඔහුගේ චිත්ත සන්තානයෙහි පැවැති කාමරාග, ව්‍යාපාද යන තුනීවූ සංයෝජන දෙක මුලොච්ඡින්න වන්නේ ය. හෙතෙම ඉදින් මේ ජන්මයෙහිදී ම රහත් නුවූයේ නම් ශුද්ධාවාස බ්‍රහ්මලෝකයෙක ඉපිද එහිදී රහත්වන්නේ ය. නැවත කිසිකලෙක උත්පත්ති වශයෙන් මේ ලෝකයට නො එන්නේ ය.

3. අග්‍රදක්‍ෂිණාර්හ හෙයින් පූජාවන් ලබන්නට අර්හ (-සුදුසු වූයේ හෝ සංසාර චක්‍රයෙහි කෙලෙස් අර කැපූ හෙයින් හෝ රහසින් වත් පව් නොකරන හෙයින් හෝ අර්හත් නම් වේ. ඔහුගේ මාර්ග චිත්තය අර්හත් මාර්ග චිත්තය යි. මේ චිත්තය ලැබුයේ මධ්‍යාහ්න සූර්යාලෝකයෙන් යථෝක්ත ස්වර්ණ භාජනය දුටුවා සේ නිර්වාණය දක්නේ ය. ඒ හා සමග ම උන්වහන්සේ ගේ චිත්ත සන්තානයෙහි පැවැති සෙසු සියලු ක්ලේශයෝ විනාශයට යන්නාහ. උන්වහන්සේ මරණයෙන් පසු පුනර්භවයෙක නො ඉපිද නිරූපධිශේෂ නිර්වාණධාතු බවට පැමිණෙන සේක.

ප්‍රශ්න

  1. ලෝකෝත්තර මාර්ග සිත් සතර කවරේද?
  2. සෝතාපත්ති, සකෘදාගාමි, අනාගාමි, අරහන්ත යන පද විස්තර කරනු.
  3. ඒ ඒ මාර්ග සිත්වලින් කවර කෙසේ සිඳෙන්නේ ද?
  4. සකෘදාගාමි පුද්ගලයන් පස්දෙනා දක්වනු.
  5. රහතන් වහන්සේට මරණයෙන් පසු කුමක් වන්නේ ද?