7. මෝහමූලික සිත් (2) දෙක

  1. උපෙක්ඛා සහගත විචිකිච්ඡා සම්පයුත්ත චිත්තය,
  2. උපෙක්ඛා සහගත උද්ධච්ච සම්පයුත්ත චිත්තය

1. උපෙක්ඛාසහගත බව පෙර කී සේ ම ය. විචිකිච්ඡා සම්පයුත්ත නම් බුද්ධාදී අටතැන උපදනා සැකයෙන් යුක්ත බවය. යමෙක් වනාහි උපේක්‍ෂායෙන් හා විචිකිච්ඡායෙන් යුක්ත වූයේ නම් ඔහුට උපෙක්ඛා සහගත විචිකිච්ඡා සම්පයුත්ත යන මේ මෝහමූලික අකුශල චිත්තය ලැබෙන්නේ ය.

2. දෙවන චිත්තයෙහිදු උපෙක්ඛා ලක්‍ෂණය නම් පෙර කී සේ ම ය. උද්ධච්ච නම් චිත්ත වික්‍ෂෙපය-චිත්තයාගේ නො සන්සුන්කම ය. එයින් යුක්තවූයේ උද්ධච්ච සම්පයුත්තය. යමෙක් උපේක්‍ෂායෙන් හා උද්ධච්චයෙන් යුක්ත වූයේ ද ඔහුට උපෙක්ඛා සහගත උද්ධච්ච සම්පයුත්ත යන දෙවන මොහමූලික අකුශල චිත්තය ලැබෙන්නේ ය. උද්ධච්චය සර්වාකුශල සාධාරණ චෛතසිකයක් වුවද එය මේ චිත්තයෙහි ම බලවත් වැ යෙදෙන බැවින් ඒ නමින් මැ ව්‍යවහාර කරන ලදී.

මේ සිත් දෙක එකම මෝහ හේතුක බැවින් ද, ස්වභාව චංචල බැවින් ද සොම්නස් දොම්නස් වේදනා භේද නොලබයි, එසේ ම විශේෂ තීක්‍ෂණ බවක් හෝ අතීක්‍ෂණ බවක් හෝ නැති හෙයින් සංඛාර භේදය ද නො ලබයි.

ප්‍රශ්න

  1. මෝහ මූලික සිත් දෙක කෙසේ ද?
  2. විචිකිච්ඡා උද්ධච්ච විස්තර කරනු.
  3. මෝහ මූලික සිත් දෙක්හි සංඛාර භේදය නැත්තේ කිම?
  4. අකුශල සිත් දොළොසෙහි ම යෙදෙන උද්ධච්චය අන්තිම සිතෙහි පමණක් කුමක් හෙයින් යොදා දක්වන ලද්දේද?