8. අටළොස් (18) අහෙතුක සිත්

“සත්තාකුසලපාකානි - පුඤ්ඤපාකානි අට්ඨධා

ක්‍රියාචිත්තානි තීනීති - අට්ඨාරස අහෙතුකා”

අකුසල් විපාක සිත් සතෙක, කුසල අහේතුක විපාක සිත් අටෙක, අහේතුක ක්‍රියා සිත් තුනෙකැයි අහේතුක සිත් අටළොස් වැදෑරුම් වේ. වෘක්‍ෂයෙක ස්ථිර පැවැත්මට මුල් ආධාර වන්නා සේ කුශලා’කුශලාදි චිත්තයක ස්ථිර පැවැත්මට හේතූහු ආධාර වෙති. හේතු නම් අකුශල පක්‍ෂයෙහි ලෝභ, දෝස, මෝහ යන අකුශල චෛතසික තුන්දෙන හා කුශල පක්‍ෂයෙහි අලෝභ, අදෝස, අමෝහ යන කුශල චෛතසික තුන් දෙන ය. මේ සවැදෑරුම් හේතු අතුරෙන් එක හේතුවකුදු යම් සිතෙක නො යෙදුණේ නම් ඒ සිත අහේතුක චිත්තය නමි. එබඳු සිත් අටළොසෙකි. ඔවුන් අතුරෙන් අකුශල විපාක සිත් සත මෙසේ ය.

  1. උපෙක්ඛා සහගත චක්ඛුවිඤ්ඤාණය,
  2. උපෙක්ඛා සහගත සොත විඤ්ඤාණය
  3. උපෙක්ඛා සහගත ඝාණවිඤ්ඤාණය
  4. උපෙක්ඛා සහගත ජිව්හාවිඤ්ඤාණය
  5. දුක්ඛ සහගත කායවිඤ්ඤාණය
  6. උපෙක්ඛා සහගත සම්පටිච්ඡන විඤ්ඤාණය
  7. උපෙක්ඛා සහගත සන්තිරණ විඤ්ඤාණය

1. චක්‍ෂු නම් චක්ඛු ප්‍රශාදය හෙවත් පූර්වජාතියෙහි රූප දකිනු කැමැත්ත නිදාන කොට ඇති කර්මයෙන් හටගත් ඇස ය කියනු ලබන මස්ගඩුව නිසා පවත්නා පෙනීමේ ශක්තිය යි. ඒ චක්‍ෂුඃ ප්‍රසාදය රූපය හා ගැටුණු විට ඒ ඇසුරු කොට උපදනා චිත්තය චක්ඛුවිඤ්ඤාණය යි කියනු ලැබේ. ඒ ගැටුණු රූපය ඉදින් අනිෂ්ට වී නම් එවිට එය අකුසල විපාක චක්ඛුවිඤ්ඤාණය වෙයි, මෙහි රූපය යි කියනු ලබන වර්ණ මාත්‍රයේ හා චක්‍ෂුඃ ප්‍රසාදයේ ගැටීම් පුලුන් පිඩක් හා පුළුන් පිඩක ගැටීම මෙන් ඉතා දුර්වල ය. එ හෙයින් එහි සොම්නස් හෝ දොම්නස් වේදනා නො ලැබැ උපේක්‍ෂා වේදනා ම ලැබේ. එවිට ඒ චිත්තය අකුසල විපාක උපෙක්ඛා සහගත චක්ඛු විඤ්ඤාණය යි සම්පූර්ණ වශයෙන් කියනු ලැබේ. සෙස්සෙහි ද කර්මය මෙසේ ය.

2. සොත නම් ශ්‍රොත්‍ර ප්‍රශාදය-හෙවත් පූර්ව ජාතියෙහි ශබ්ද අසනු කැමැත්ත නිදානකොට ඇති කර්මයෙන් හටගත් කන නිසා පවත්නා ඇසීමේ ශක්තිය යි. එය අනිෂ්ට ශබ්දයක් හා ගැටුණුවිට ඒ ඇසුරුකොට උපදනා චිත්තය අකුසල විපාක උපෙක්ඛා සහගත සෝත විඤ්ඤාණය යි කියනු ලැබේ.

3. ඝාණ නම් ඝ්‍රාණ ප්‍රශාදය-හෙවත් පූර්ව ජාතියෙහි ආඝ්‍රාණය කරනු කැමැත්ත නිදානකොට ඇති කර්මයෙන් හටගත් නැහැය නිසා පවත්නා ආඝ්‍රාණය කිරීමේ ශක්තිය යි. ඒ ඝ්‍රාණ ප්‍රසාදය අනිෂ්ට ගන්‍ධයක් හා ගැටුණුවිට ඒ ඇසුරු කොට පවත්නා චිත්තය අකුසල විපාක උපෙක්ඛා සහගත ඝ්‍රාණ විඤ්ඤාණය යි.

4. ජිව්හා නම් ජිහ්වා ප්‍රශාදය - හෙවත් පූර්වජාතියෙහි රස විඳගනු කැමැත්ත නිදානකොට ඇති කර්මයෙන් හටගත් දිව නිසා පවත්නා රස විඳගැනීමේ ශක්තිය යි. ඒ ජිහ්වා ප්‍රශාදය අනිෂ්ට රසයක් හා ගැටුණුවිට එය ඇසුරුකොට උපදනා චිත්තය අකුසල විපාක උපෙක්ඛා සහගත ජිව්හා විඤ්ඤාණය යි කියනු ලැබේ. මේ තුන් තන්හිම උපෙක්ඛා වීමේ හේතුව චක්ඛුවිඤ්ඤාණයට කී පරිදි ම ය යි දතයුතු.

5. කාය නම් කාය ප්‍රශාදය-හෙවත් පූර්ව ජාතියෙහි ස්පර්ශ විඳගැන්ම නිදානකොට ඇති කර්මයෙන් හටගත් කය නිසා පවත්නා ස්පර්ශ විඳගැනීමේ ශක්තිය යි. ඒ කාය ප්‍රශාදය අනිෂ්ට ස්ප්‍රෂ්ටව්‍යයක් හා ගැටුණු විට අකුසල විපාක දුක්ඛ සහගත කායවිඤ්ඤාණය ලැබේ. එය දුක්ඛ සහගතවීමේ හේතු කිම යත්? ස්ප්‍රෂ්ටව්‍ය නම්; පඨවි, තෙජො වායු යන භූත රූප තුන යි. ඒ භූත රූපාත්මක වූ ස්ප්‍රෂ්ටව්‍යය කාය ප්‍රශාදයේ හැපෙන විට ඒ කාය ප්‍රශාදය ඉක්ම ඒ නිසා පවත්නා භූත රූපයන්හි ද හැපෙයි. එවිට කිණිහිරක් උඩ පුලුන් පෙඳක් තබා කුළකින් පහරන කල්හි කුළ පුලුන් පෙඳ ඉක්ම කිණිහිරෙහි ද හැපෙන්නා සේ හැපීම බලවත් වෙයි. එබැවින් ඉෂ්ටස්ප්‍රෂ්ටව්‍යයක් හැපිණි නම් සුඛ වේදනා උපදී, අනිෂ්ටස්ප්‍රෂ්ටව්‍යයක් හැපිණි නම් දුක්ඛ වේදනා උපදී. මෙය අකුශල විපාක ප්‍රස්තාව හෙයින් දුක්ඛ වේදනා සහගත වූ බව දතයුතු යි.

6. චක්ඛු විඤ්ඤාණාදී පඤ්ච විඤ්ඤාණයන් විසින් ගත් අනිෂ්ට අරමුණ පිළිගන්නාක් මෙන්න උපදනා සිත අකුසල විපාක උපෙක්ඛා සහගත සම්පටිච්ඡන චිත්තය යි.

7. ඒ අනිෂ්ට අරමුණ ම තීරණය කරන්නාක් මෙන් උපදනා සිත අකුසල විපාක උපෙක්ඛා සහගත සන්තීරණ චිත්තය යි.

මොවුන්ට අහේතුක අකුසල විපාක ය යි නො කිය යුතු. සහේතුක අකුසල විපාක ඒකාන්තයෙන්ම නැති හෙයිනි. විශේෂණයක් වුවමනා කරන්නේ ව්‍යභිවාරයක් (-අනියම් හැසිරීමක්) ඇති තැනකට ය.

මේ අකුසල් විපාක සත යට කී දොළොස් අකුසලයන්ගේ විපාක බව දත යුතුයි.

ප්‍රශ්න

  1. අහේතුක සිත් කෙතෙක් ද? කොටස් වශයෙන් දක්වනු.
  2. කුමක් හෙයින් ඔහු අහේතුක සිත් යයි කියනු ලබත් ද?
  3. අකුසල් විපාක කීය ද? කවරහු ද?
  4. චක්ඛු, සෝත, ඝාණ, ජිව්හා, විඤ්ඤාණ කුමක් හෙයින් උපෙක්ඛා සහගත වී ද?
  5. කාය විඤ්ඤාණය කුමක් හෙයින් දුක්ඛ සහගත වී ද?