1. දෙපණස් චෛතසික.

“එකුප්පාදනිරොධා ච - එකාලම්බන වත්‍ථුකා

චෙතොයුත්තා විපඤ්ඤාස - ධම්මා චෙතසිකා මතා”

සිත සමග ම ඉපිදැ

සිත සමග ම නැති වැ යන

සිත ගත් අරමුණ ම ගෙනැ

සිත සිටි තැන ම සිටිනා

සිත හා යෙදුණු දෙපණස්

දහම් සිතැසි නම් වේ.

සියලු අභිධර්මාර්ථ චිත්ත, චෛතසික, රූප, නිර්වාණය යි පරමාර්ථ වශයෙන් සතර වැදෑරුම් බව යට කියන ලද්දේ ය. එයින් චිත්ත පරමාර්ථය පිළිබඳ විස්තරය චිත්තපාදයෙහි දක්වන ලදි. මෙහි චෛතසික පිළිබඳ විස්තරය දක්වනු ලැබේ.

චෛතසිකයේ නම් සිතෙහි යෙදෙන්නෝ ය. නොහොත් සිත හා සමග යෙදෙන්නෝ ය. “චෙතසි යුත්තා, චෙතසා වා යුත්තා චෙතසිකා” ඔවුන් ගේ ලක්‍ෂණ සතරෙකි.

  1. සිත සමග ම ඉපදීම
  2. සිත සමග ම නිරුද්ධ වීම
  3. සිත ගන්නා අරමුණ ම ගැනීම
  4. සිත පවත්නා වස්තුයෙහි ම පැවතීම.

.

  1. සිත උපදින විට ඒ හා සමග ම චෛතසික ද උපදින්නේ ය.
  2. සිත නිරුද්ධ වනවිට ඒ හා සමග ම චෛතසික ද නිරුද්ධ වන්නේ ය.
  3. සිත යම් අරමුණක් ගන්නේ නම් චෛතසික ද ඒ අරමුණ ම ගන්නේ ය.
  4. චක්‍ෂුරාදි යම් වස්තුවෙක සිත පවත්නේ නම් චෛතසික ද ඒ වස්තුයෙහි ම පවත්නේ ය.

මෙසේ හෙයින් සිත සමග ම උපදින, සිත සමග ම නිරුද්ධ වන, සිත ගත් අරමුණම ගන්නා, සිත පිහිටි වස්තුයෙහි ම පවත්නා, සිත හා යෙදෙන ධර්ම චෛතසික ය යි දතයුතු. මෙයින් ගාථායෙහි දැක්වෙන එකුප්පාද, එකනිරෝධ, එකාලම්බන, එකවත්‍ථුක, චෙතො යුත්ත යන පද තේරුම් යා යුතු යි.

කකාරා ගත් කෂායයෙක ජලය සිත වැන්න. බෙහෙත් රස චෛතසික වැන්න. ජලය හා බෙහෙත් රස වෙන් නො කළ හැකි සේ සිත හා චෛතසික වෙන් නො කළ හැකි ය. ජලයේ හා බෙහෙත් රසවල ගුණය නානාවිධ සේ චිත්තයාගේ හා චෛතසිකයන්ගේ ගුණ ද නානාවිධ ය. ජලය නැතහොත් බෙහෙත් රස ද නැති බැවින් ජලය ප්‍රධානය යි කිය යුතු ය. චිත්තය නැතහොත් චෛතසික ද නැති බැවින් චිත්තය ප්‍රධාන ය. “මනොපුබ්බඞ්ගමා ධම්මා මනොසෙට්ඨා මනොමයා” යි වදාළේ එහෙයිනි. ධර්මයෝ හෙවත් චෛතසිකයෝ සිත පූර්වඞ්ගම කොටැ ඇත්තෝ ය. සිත ශ්‍රේෂ්ඨ කොටැ ඇත්තෝ ය. සිත්මුවාහ, යනු එහි අර්ථ යි. මෙහි “ධම්මා” යි වදාළේ චෛතසික යි.

සිත නැති වැ චෛතසික නූපදනා සේ චෛතසික නැති වැ සිත ද නූපදනේ ය. එහෙත් එක සිතෙක එකවර සියලු චෛතසික උපදිති’යි නො සිතනු. ඒ ඒ අරමුණුවලට සුදුසු පරිදි චිත්තය හා චෛතසිකයන්ගේ සහයෝගය වේ. එහෙයින් ම චිත්තය “චිත්ත පාද” යෙහි දැක්වුණු පරිදි 89 ආකාර හෝ 121 ආකාර විය.

චෛතසික සියල්ල දෙපණසෙ (52) කි. කොටස් වශයෙන් බෙදූකල මෙසේ ය:-

සබ්බචිත්ත සාධාරණ චෛතසික

7

අඤ්ඤසමාන

13

පකිණ්ණක

6

අකුසල

14

සොභන සාධාරණ

19

සොභන

25

විරති

3

අප්පමඤ්ඤා

2

පඤ්ඤා

1

52

මොවුන් අතුරෙහි සබ්බචිත්ත සාධාරණ, පකිණ්ණක යන තෙළෙස (13) අඤ්ඤසමාන යයි කියනු ලැබේ.

සොභන සාධාරණ, විරති, අප්පමඤ්ඤා, පඤ්ඤා යන පස්විස්ස (25) ශොභන යයි කියනු ලැබේ.

ප්‍රශ්න

  1. චෛතසික නම් කිම? උදාහරණයෙකින් පැහැදිලි කරනු.
  2. ඔහු කෙතෙක් ද? කොටස් වශයෙන් බෙදා දක්වනු.
  3. සිත නැති වැ චෛතසික හෝ චෛතසික නැති වැ සිත හෝ එකසිතෙක සියලු චෛතසික හෝ උපදී ද?
  4. අඤ්ඤසමාන චෛතසික කවරේ ද?
  5. සොභන කවරේ ද? අකුසල චෛතසික කවරේ ද?