2. සබ්බචිත්ත සාධාරණ චෛතසික සත.

  1. ඵස්ස
  2. වේදනා
  3. සඤ්ඤා
  4. චේතනා
  5. එකග්ගතා
  6. ජීවිතින්‍ද්‍රිය
  7. මනසිකාර

යන සත සබ්බචිත්ත සාධාරණ චෛතසික නම් වේ.

1-ඵස්ස නම් :- චක්‍ෂුරාදි සදොරින් යම්කිසි ද්වාරයකට රූපාදී අරමුණක් හමු වූ කල ඒ හමු වූ අරමුණෙහි එල්බැ උපදනා සිත හා එක් වැ යෙදී එකවට ම උපදිමිනුත් ඒ සිතත් ඒ හා යෙදුණු අනෙක් චෛතසිකත් ඒ හමු වූ අරමුණෙහි හැපෙන්නාක් මෙන් පවත්නා ස්වභාවය යි.

ඇඹුල් කනුවන් දුටු සෙස්සන් මුවෙහි ඇඹුල් නැති වැ ද කෙළ ඉඳෙන්නා සේ මෙය නාම ධර්මයක් වතු දු සහජාත වූ චිත්ත චෛතසිකයන් සමග අරමුණෙහි හැපෙන්නාක් මෙන් පහළ වේ.

සූර්යරශ්මිය භිත්ති ආදියෙහි හැපීම මෙන් මේ හැපීම ඉතා සියුම් බව දත යුතු.

ඒ ඒ චිත්තයන්ගේ නාම වශයෙන් ඒ ඒ සිත්හි යෙදෙන ඵස්සය ද විශේෂ නාම ලබන්නේ ය. ඒ එසේ මැ යි. චක්ඛු විඤ්ඤාණ සිත්හි පවත්නා ඵස්සය චක්ඛු සම්ඵස්සය යි ද, සොත විඤ්ඤාණ - ඝාණ විඤ්ඤාණ - ජිව්හා විඤ්ඤාණ - කාය විඤ්ඤාණ සිත්හි පවත්නා ඵස්ස මනො සම්ඵස්සය යි ද කියනු ලැබේ. මෙසේ මේ ඵස්සය සියලු සිත්හි සාධාරණ වැ යෙදෙන බැවින් සර්වචිත්ත සාධාරණ නම් වේ.

2-වෙදනා නම්:- සිතෙහි පවත්නා, අරමුණු රස විඳ ගන්නා ස්වභාව යි. සිතින් කළ හැක්කේ අරමුණ සිතීම පමණෙකි. අරමුණේ ප්‍රිය-අප්‍රිය-මධ්‍යස්ථතායේ සැටියෙන් සිතෙහි සුඛ-දුඃඛ-උපේක්‍ෂා ඇති වන බව අපට ප්‍රත්‍යක්‍ෂ ය.

එසේ ප්‍රිය හෝ අප්‍රිය හෝ මධ්‍යස්ථ හෝ අරමුණු රස විඳගැනීම් වශයෙන් සිතෙහි පවත්නා ස්වභාව වේදනා චෛතසික ය යි. එහෙයින් ම වේදනාව සුඛ වේදනා, දුක්ඛ වේදනා, උපෙක්ඛා වේදනා වශයෙන් ත්‍රිවිධ වන්නේ ය.

සෙසු චෛතසිකයන්ගේ ද අරමුණු රස විඳැ ගැන්මේ එකදෙශ මාත්‍රයක් ඇත ද මේ වේදනාව ම ඊශ්වරත්‍වයෙන් අරමුණු රස විඳ ගන්නේ ය. අරක්කැමියාත් භෝජන රසය විමසනු පිණිස දිවගා බලා, එහෙත් රජ ම ඊශ්වරත්‍වයෙන් භෝජන රසය ආස්වාදනය කෙරේ. එහෙයින් වේදනාව භෝජන රස අනුභව කරන රජකු වැන්නැ යි කියනු ලැබේ.

මෙ ද සියලු 89 සිත්හි සාධාරණ වැ යෙදෙන බැවින් සර්වචිත්ත සාධාරණ නම් වේ.

සඤ්ඤා නම්:- සිතෙහි පවත්නා, අරමුණ හැඳින ගන්නා ස්වභාව යි. හෙවත් අරමුණ ලකුණු කර ගන්නා ස්වභාව යි. වඩුවා දැලි නූලින් ලීය ඉරිය යුතු තැන හඳුනා ගන්නා මෙනි. හෙවත් ලකුණු කර ගන්නා මෙනි.

සිත අරමුණ සිතයි. සිතෙහි පවත්නා සඤ්ඤාව අරමුණ හැඳින ගනී. ඉදින් සිතෙහි සඤ්ඤාව නැත්නම් සිතට සිතීම ම මුත් අරමුණ හැඳිනීම කළ හැකි නො වේ. යම් හෙයකින් සිතෙහි සඤ්ඤාව ඇත්තේ ද එහෙයින් ම සිත අරමුණු හඳුනා ද ගන්නේය. මෙසේ හෙයින් සිතෙහි පවත්නා අරමුණ හඳුනා ගන්නා හෙවත් ලකුණු කොට ගන්නා ස්වභාව සඤ්ඤා චෛතසික නම් වූ බව දතයුතු. මේ වනාහි අරමුණ එක්වරක් හමු වූ විට එක ලකුණක් ගන්නේ ය. නැවත වරක් හමු වූ විට නැවත ලකුණක් ගන්නේ ය. මෙසේ නිතර හමුවන ආරම්මණයන්ගේ හැඳිනීමේ අධිකත්‍වය වේ.

පඤ්චස්කන්‍ධ අතුරෙහි වේදනා ස්කන්‍ධ, සංඥා ස්කන්‍ධ නාමයෙන් දක්වන ලද්දේ මේ වේදනා, සඤ්ඤා චෛතසික දෙකයි. මෙ ද සියලු සිත්හි යෙදෙන බැවින් සර්වචිත්ත සාධාරණ නම් වේ.

4-චේතනා නම්: සිතෙහි පවත්නා යම් ධර්මස්වභාවයක් තමා ද චේතනය කිරීම් වශයෙන් (පිළියෙල වීම් වශයෙන්) අරමුණෙහි යෙදෙමින් තමා හා සම්ප්‍රයුක්ත වූ සෙසු චෛතසික ද ස්පර්ශාදී ඒ ඒ කෘත්‍යයෙහි යොදා ලයි ද ඒ ධර්මස්වභාවය චේතනා චෛතසිකය යි කියනු ලැබේ. ශිෂ්‍යගුරු තමා ද ඉගෙනීමෙහි යෙදෙමින් සෙසු ශිෂ්‍යයන් ද ඔවුනට අයත් ඒ ඒ පාඩම් ඉගෙනීමෙහි යොදා ලන්නා මෙනි. ප්‍රධාන වඩුවා තමා ද වඩුකම් කරමින් සෙසු වඩුවන් ද ඔවුනට අයත් ඒ ඒ කම්හි යොදා ලන්නා මෙනි.

යම් සේ කෙත් හිමියා පිරිවර සමග ගොයම් කපන්නට ගොස් සෙස්සන්ට වඩා උත්සාහවත් වැ ගොයම් කපා ද එසේ මේ චේතනාව සෙසු චෛතසිකයන්ට වඩා විශේෂ උත්සාහවත් වැ චේතනය කිරීම් වශයෙන් අරමුණෙහි යෙදෙමින් සෙසු චෛතසිකයන් ද ඔවුන්ට අයත් ඒ ඒ කෘත්‍යයෙහි යොදා ලන්නේ ය.

කුශල අකුශල චිත්තයන්හි යෙදෙන මේ චේතනාව ම කර්ම යයි කියනු ලැබේ. සංවිධාන කරන (පිළියෙල කරන) ආයූහනය (රැස්) කරන ශක්තිය එහි ම ඇති බැවිනි.

මෙ ද සියලු සිත්හි යෙදෙන බැවින් සර්වචිත්ත සාධාරණ නම් වේ.

5-එකග්ගතා නම් : සිතක් පාසා පවත්නා ඒ ඒ සිත හා සම්ප්‍රයුක්ත වූ චෛතසික ධර්මයන් හා ඒ ඒ සිතත් නොයෙක් අරමුණෙහි විසිර යා නො දී ඒ ඒ ගත් අරමුණෙහිම එකඟ කොටැ තබන ස්වභාවය යි. ‘පවනින් විසිරැ යා හැකි සුණු රැසක් විසිරැ යා නොදී එක්කොට බඳනා ජලය මෙනි.’

සිත හා චෛතසික එක අරමුණක් ම එල්බ ගෙනැ සිටිය යුතු ය. සිතෙහි එකග්ගතාව නැත් නම් සිතට හා සෙසු චෛතසිකයනට එසේ එක අරමුණක් ම එල්බගෙන සිටිය නො හැකි ය. යම් හෙයකින් සිතෙහි එකග්ගතාව ඇත්තේ ද එහෙයින් ම සිත හා චෛතසික එක අරමුණක් ම එල්බ ගෙනැ සිටින්නේ ය. ඒ ඒ අරමුණෙහි චිත්ත චෛතසිකයන්ගේ අනුකූලයෝගය මෙයින් සැලසේ. ඇතැම් තන්හි සමාධි නාමයෙන් දක්වනු ලබන්නේත් මේ එකග්ගතාව බව දත යුතු. මෙ ද සියලු සිත්හි යෙදෙන බැවින් සර්වචිත්ත සාධාරණ නම් වේ.

6-ජීවිතින්‍ද්‍රිය නම්:- සිතෙහි පවත්නා යම් ධර්මස්වභාවයෙක් තමා හා සම්ප්‍රයුක්ත වූ චිත්ත චෛතසිකයන් අභාවයට (-මැරෙන්නට) යා නො දී ජීවත් කරන්නාක් මෙන් පවතී ද ඒ ධර්මස්වභාවය ජීවිතින්‍ද්‍රිය යි කියනු ලැබේ. උපුල් ආදිය රක්නා ජලය මෙනි. චිත්ත චෛතසිකයන්ගේ ජීවනය මෙය වේ.

ඉදින් සිතෙහි ජීවිතින්‍ද්‍රිය නැත්නම් සිත හා චෛතසික නො පවත්නේ ය-මැරෙන්නේ ය. යම් හෙයකින් සිතෙහි ජීවිතින්‍ද්‍රිය ඇත්තේ ද එහෙයින් ම සිත හා චෛතසික ජීවත් වැ පවත්නේ ය. කිසිවිටෙක සිතින් ජීවිතින්‍ද්‍රිය බැහැර කළ නො හැකි ය. සියලු තන්හි ජීවිතින්‍ද්‍රිය ඇත්තේ ය. එ හෙයින් මෙ ද සර්වචිත්ත සාධාරණ නම් වේ. මේ කියන ලද්දේ නාම ජීවිතින්‍ද්‍රිය බව දතයුතු. රූප ජීවිතින්‍ද්‍රිය රූප පාදයෙහි දක්වනු ලැබේ.

7-මනසිකාර නම්:- හැම සිතක් පාසා පවත්නා - ඒ ඒ චිත්තචෛතසිකයන් ආපාතගත වූ අරමුණෙහි යොමුකරන ස්වභාවය යි. හෙවත් තෙමේත් අරමුණෙහි යොමු වෙමින් තමා හා එක්ව යෙදුණා වූ සම්ප්‍රයුක්ත ධර්මයන් ද අරමුණට මෙහෙයන ස්වභාවය යි. අශ්වයන් මෙහෙයන - යා යුතු මගෙහි යොමු කරන සාරථියක්හු මෙනි. මෙ ද සියලු සිත්හි යෙදෙන බැවින් සර්වචිත්ත සාධාරණ නම් වේ.

සඤ්ඤා-චේතනා-මනසිකාර-විතක්ක යන චෛතසිකයන්ගේ භේදය ඉතා සියුමි. ඇතැම් තැනෙක පඤ්චද්වාරාවර්ජන මනොද්වාරාවර්ජන සිත් ද මනසිකාර නාමයෙන් දක්වන ලදි.

චිත්තපාදයෙහි දැක්වුණු එක එක චිත්තයක් පාසා මේ ඵස්සාදි සත යෙදෙන බැවින් මොවුනට සබ්බ චිත්ත සාධාරණ යන නම තබන ලද බව දත යුතු යි.

ප්‍රශ්න

  1. සබ්බචිත්ත සාධාරණ චෛතසික කෙතෙක් ද? ඔහු කවර හු ද? කුමක් හෙයින් ඔහු එනම් වූ ද?
  2. ඵස්ස වේදනා පැහැදිලි කරනු. ඔවුන්ගේ භේද කෙසේ ද?
  3. සඤ්ඤා, චේතනා විස්තර කරනු. චේතනා කර්ම වන්නේ කොතැන්හි ද?
  4. එකග්ගතා, ජීවිතින්‍ද්‍රිය, මනසිකාර විස්තර කරනු.
  5. ඇතැම් තැන මනසිකාර නාමයෙන් දැක්වෙන සිත් කවරේ ද?