3. පකිණ්ණක චෛතසික සය.

  1. විතක්ක
  2. විචාර
  3. අධිමොක්ඛ
  4. විරිය
  5. පීති
  6. ඡන්‍ද

යන මේ සය පකිණ්ණක චෛතසික නම් වේ.

1-විතර්ක:- සිතෙහි පවත්නා යම් ධර්මස්වභාවයෙකින් සම්ප්‍රයුක්ත වූ සිත අරමුණට නැගේද ඒ ධර්මස්වභාවය විතර්ක ය යි කියනු ලැබේ. රාජ වල්ලභයා පිටිසර මිනිසකු රජමැදුරට පමුණුවන්නා මෙනි. මෙහි විතර්කය රාජ වල්ලභයා වැන්න. සිත පිටිසර මිනිසා වැන්න. අරමුණ රජමැදුර වැන්න. ඉදින් සිතෙහි විතර්කය නැත්නම් සිත අරමුණට නොනගින්නේ ය. සිතෙහි විතර්කය ඇති හෙයින් ම සිත අරමුණට නගින්නේ ය. මෙසේ හෙයින් සිතෙහි පවත්නා සිත අරමුණට නගන-අරමුණ තර්කනය කරන ස්වභාවය විතර්කය යි දතයුතු.

පුරුදු වූ කල්හි රාජවල්ලභයා නැත ද පිටිසරයා රජ මැදුරට වදනා සේ පෙර දී විතර්කය විසින් පුරුදු කරන ලද සිත විතර්කය නැතත් අරමුණට නගින්නේ ය. ද්විතීය ධ්‍යානාදී සිත්හි මෙනි.

ආර්ය අෂ්ටාඞ්ගික මාර්ගයෙහි සම්මාසඞ්කප්ප නාමයෙන් දක්වනු ලබන්නේත් සෝවාන් ආදි ලොවුතුරා සිත්හි ලැබෙන විතර්ක චෛතසිකය යි. එය පූර්වභාග මාර්ග වශයෙන් විදර්ශනා සිත්හි යෙදුණේ ද සම්මාසඞ්කප්ප නාමය ලබයි.

විතර්කය වනාහි දෙපස් විඤ්ඤාණ හැර සෙසු සිව්සාළිස් (44) කාමාවචර සිත් ය. ප්‍රථමධ්‍යාන සිත් එකොළොස (11) ය යන පස්පණස් (55) සිත්හි යෙදෙන්නේ ය. දෙපස් විඤ්ඤාණ සිත් දස (10) ය, ද්විතීයධ්‍යාන සිත් එකොළොස (11) ය, තෘතීය ධ්‍යාන සිත් එකොළොස (11) ය, චතුර්ථධ්‍යාන සිත් එකොළොස (11) ය, පංචමධ්‍යාන සිත් තෙවිස්ස (23) ය යන සසැට (66) සිත්හි නො යෙදෙන්නේ ය.

ධ්‍යානාඞ්ග මධ්‍යම පුඩු වශයෙන් ගිණිය යුතු. මධ්‍යම පුඩු නම් චිත්තපාදයෙහි 23 වන පාඩමෙන් දැක්වූ පරිදි සිත් 121 වන සේ ගිණූ ක්‍රමය යි. විතර්කය ධ්‍යානාඞ්ගයෙකි. (එහි 14 වන පාඩම බලනු) දෙපස් විඤ්ඤාණ 8 වන පාඩම්හි බලනු.

2-විචාර:- විතර්කය විසින් අරමුණට නගනලද සිත ඒ සිතෙහි ම පවත්නා යම් ධර්මස්වභාවයෙක් අරමුණෙහි හසුරුවයි ද ඒ ධර්මස්වභාවය විචාරය යි කියනු ලැබේ. ඒ වනාහි සහජාත චිත්ත-චෛතසිකයන් අරමුණෙහි හැසිරවීම ස්වභාව කොටැ ඇත්තේ ය. විතර්ක විචාර එක්වට ම සිතෙහි යෙදෙන නමුත් විතර්කය ඔළාරිකය. ඝණ්ටාවට ගසන පළමු පහර මෙනි, විචාරය සියුම්ය. ඒ ගැසීමෙන් නැගෙන අනුරාවය මෙනි. තවද විතර්කය අහසට නගිනු කැමැති පක්‍ෂියෙකුගේ පියාපත් විදහීම මෙනැ යි ද, විචාරය ඒ පක්‍ෂියාගේ ගමනෙහි පියාපත් පැහැරීම මෙනැයි ද, විතර්කය මීමැස්සෙකු මල කරා යාම මෙනැයි ද, විචාරය ඌ ඒ මල සිසාරා පරිභ්‍රමණය කිරීම මෙනැ යි ද කියන ලදී.

විචාරය වනාහි විතර්කය යෙදෙන පස්පණස් (55) චිත්තය ධ්‍යාන සිත් එකොළොස (11) ය යන සසැට (66) සිත්හි යෙදෙන්නේ ය. දෙපස් විඤ්ඤාණ සිත් දස (10) ය, තෘතීය ධ්‍යාන සිත් එකොළොස (11) ය, චතුර්ථධ්‍යාන සිත් එකොළොස (11) ය, පංචමධ්‍යාන සිත් තෙවිස්ස (23) ය, යන පස්පණස් (55) සිත්හි නො යෙදෙන්නේ ය. මෙ ද ධ්‍යානාඞ්ගයක් බැවින් මධ්‍යම පුඩු වශයෙන් ගිණූහ.

3-අධිමොක්ඛය:- අධිමොක්ඛ නම් ස්ථිරත්‍වයෙන් ඉන්‍ද්‍රකීලයක් මෙන් සිතෙහි පවත්නා ආලම්බන විෂයක නිශ්චය ස්වභාවය යි. යම් සිතෙක අධිමොක්‍ෂය නැත්නම් ඒ සිත අරමුණෙහි නිශ්චිත නො වන්නේ ය. චංචල වන්නේ ය. අධිමොක්‍ෂය ඇති කල්හි ම සිත අරමුණෙහි නිශ්චල වන්නේ ය. එහෙයින් සිතෙහි පවත්නා නිශ්චය කරන ස්වභාව අධිමොක්ඛය යි දතයුතු.

මේ වනාහි දෙපස් විඤ්ඤාණ සිත් 10 ය, විචිකිච්ඡා සිතය යන 11 සිත් හැරැ සෙසු 78 සිත්හි යෙදෙන්නේ ය. දෙපස් විඤ්ඤාණ සිත් 10 ය. විචිකිච්ඡා සිතය යන 11 සිත්හි නො යෙදෙන්නේ ය. අධිමොක්‍ෂය ධ්‍යානාඞ්ගයක් නො වන බැවින් සංක්‍ෂිප්ත පුඩු වශයෙන් ගැණිනි. සංක්‍ෂිප්ත පුඩු නම් සිත් 89 වන සේ ගිණූ ක්‍රමය යි.

4-විරිය:- විරිය නම් දිරාගිය ගෙයකට රුකුල් දීම මෙන් සිතෙහි පවත්නා, සහජාත ධර්මයන් උත්සාහවත් කරන (-ඒ ඒ කටයුත්තෙහි උනන්දු කරන) ස්වභාවය යි. යම් සිතෙක වීර්යය නො යෙදිණි නම් ඒ සිත හැකිලීම් ස්වභාවයට පත් වේ. සිතෙහි ඇති විට සිත අනලස් ව නැගී සිටී. එහෙයින් සිතෙහි පවත්නා උපස්ථම්භක ස්වභාවය විරිය චෛතසිකය යි දතයුතු.

මේ වනාහි පංචද්වාරාවර්ජනය, දෙපස් විඤ්ඤාණ දස (10) ය, සම්පටිච්ඡනයුගලය, සන්තීරණත්‍රිකය යන සොළොස් චිත්තයන් හැරැ සෙසු තෙසැත්තෑවක් (73) සිත්හි ලැබෙන්නේ ය.

5-පීති:- පීති නම් සිතෙහි පවත්නා, තමා හා සම්ප්‍රයුක්ත ධර්මයන් පිනවන ස්වභාවය යි. පස්පියුමින් සැදුම්ලත් නිල්වන් දිය පිරුණු විලක් දුටු මගියකු මෙනි. ඉදින් සිතෙහි පීති නැත්නම් ඒ ඒ අරමුණු ලැබීමෙන් සිත පිනා නොයන්නේ ය. සිතෙහි පීති ඇතිවිට ම සිත ඒ ඒ අරමුණු ලැබීමෙන් පිනා යන්නේ ය. ඒ වනාහි ඛුද්දක පීති, ඛණික පීති, ඔක්කන්තික පීති, උබ්බෙග පීති, ඵරණ පීති ය යි පඤ්චවිධ වේ. ඛුද්දක පීති නම් ශරීරයෙහි ලොමුදහගැන්වීම් මාත්‍රයක් කරන කුඩා ප්‍රීති ය. ඛණික පීති නම් විදුලිය ලෙලදීමක් මෙන් කෙණෙහි කෙණෙහි උපදනා ප්‍රීතිය. ඔක්කන්තික පීති නම් රළ පෙළින් මුහුදු වෙරළ සේ ශරීරය මැඩගන්නා ප්‍රීති ය. උබ්බෙග පීති නම් සුළඟින් පුළුන් පෙඳක් සේ ශරීරය අහසින් පවා ගෙන යන මහා ප්‍රීති ය. ඵරණ පීති නම් රළ පතරින් සමුද්‍ර පර්වතයක් සේ සිරුර පතුරුවා නැගෙන ප්‍රීතිය යි.

මේ වනාහි දොම්නස් සහගත අකුසල් සිත් දෙක ය. උපෙක්ඛා සහගත සිත් පස් පණස (55) ය. කායවිඤ්ඤාණ සිත් දෙකය. චතුර්ථධ්‍යාන සිත් එකොළොස (11) ය යන සමසැත්තෑ (70) සිත් හැරැ සෙසු එක් පණස් (51) සිත්හි යෙදෙන්නේ ය. මෙ ද ධ්‍යානාඞ්ගයක් බැවින් මධ්‍යම පුඩු වශයෙන් ගිණූ බව දත යුතු යි.

6-ඡන්‍දය:- ඡන්‍ද නම් සිතෙහි පවත්නා අරමුණ ගැන්මෙහි අත දිගු කරන්නාක් වැනි ස්වභාවය යි. ලෝභය නොවේ. කරනු කැමති බැව් පමණෙකි.

මෙ ද වනාහි මොමූහ සිත් දෙක ය, අහේතුක සිත් අටළොසය (18) යන සිත් විස්ස (20) හැරැ සෙසු එකුන් සැත්තෑවක් (69) ක් සිත්හි යෙදෙන්නේ ය.

විතර්කාදී වූ මේ චෛතසික සය සෝභන සිත්හි මෙන් ම අහේතුක සිත්හි ද අහේතුක සිත්හි මෙන් සෝභන සිත්හි ද ලැබෙන හෙයින් ප්‍රකීර්ණක චෛතසික ය යි කියනු ලැබේ. ප්‍රකීර්ණක නම් මිශ්‍ර.

එසේ ම දෙවෙනි පාඩමේ දැක්වූ සර්වචිත්ත සාධාරණ සත ද මේ ප්‍රකීර්ණක සය ද යන තෙළෙස් (13) චෛතසික අන්‍යසමානය යි කියනු ලැබේ.

ඡසට්ඨි පඤ්චපඤ්ඤාස එකාදස ච සොළස,

සත්තති වීසති චෙ ව පකිණ්ණක විවජ්ජිතා

.

පඤ්ච පඤ්ඤාස ඡසට්ඨිට්ඨසත්තති තිසත්තති

එක පඤ්ඤාසචෙකූන සත්තති සපකිණ්ණකා

ප්‍රශ්න

  1. ප්‍රකීර්ණක චෛතසික කෙතෙක් ද?
  2. ඔවුන්ට කුමක් හෙයින් ප්‍රකීර්ණක යයි කියනු ලැබේ ද?
  3. අන්‍යසමාන යනු කවරහු ද?
  4. ප්‍රකීර්ණක චෛතසිකයන්ගේ ස්වභාව හා ප්‍රභේද දක්වනු.
  5. ඔව්හු කවර සිත්හි යෙදෙත් ද? කවර සිත්හි නො යෙදෙත් ද?