4. තුදුස් අකුසල චෛතසික.

  1. මෝහ
  2. අහිරික
  3. අනොත්තප්ප
  4. උද්ධච්ච
  5. ලෝභ
  6. දිට්ඨි
  7. මාන
  8. දෝස
  9. ඉස්සා
  10. මච්ඡරිය
  11. කුක්කුච්ච
  12. ථීන
  13. මිද්ධ
  14. විචිකිච්ඡා

යන මේ තුදුස අකුසල චෛතසික නම් වේ.

1-මෝහය:- මෝහ නම් සිතෙහි යෙදෙන, ආලම්බන තත්ත්වය මුවහ කරන ස්වභාවය යි. ඇසෙහි පටලය මෙනි. සිතෙහි මෝහය නොයෙදිණි නම් සිත ආලම්බන ස්වභාවය ම සිතන්නේ ය. සිතෙහි මෝහය යෙදුණු විට සිතට ආලම්බන මුවහ වන්නේ ය. ඇසට නිල් කණ්ණාඩිය මෙනි. මේ වනාහි බලවත් අකුසලයෙකි. අකුසල මූලයෙහි පටිච්චසමුප්පාදයෙහි “අවිජ්ජා” යන්නෙන් වදාළේ මේ මෝහය යි.

මෝහය වනාහි දොළොස් අකුසල් සිත්හි අවිශේෂයෙන් යෙදෙන්නේ ය. අනෙක් කිසි සිතෙක නොයෙදෙන්නේ ය.

2-අහිරිකය:- අහිරික නම් සිතෙහි යෙදෙන. පව් කිරීමෙහි ලජ්ජා නැති ස්වභාවය යි. අසූචියෙහි ඌරා මෙනි. ඉදින් සිතෙහි අහිරිකය නො යෙදිණි නම් සිත පව් කිරීමට නො සිතයි. සිතෙහි අහිරිකය නො යෙදිණි නම් සිත පව් කිරීමට නො සිතයි. සිතෙහි අහිරිකය ඇති විටම සිත පව් කිරීමට සිතයි. අහිරිකය පවට ලජ්ජා නැති ස්වභාවය හෙයිනි.

මෙ ද දොළොස් අකුසල් සිත්හි අවිශේෂයෙන් යෙදෙන්නේ ය. අනෙක් කිසි සිතෙක නො යෙදෙන්නේ ය.

3-අනොත්තප්පය:- අනොත්තප්ප නම් සිතෙහි යෙදෙන පව් කිරීමෙහි භය නැති ස්වභාවය යි. පලඟැටියා ගින්නෙහි මෙනි. ඉදින් සිතෙහි අනොත්තප්පය නො යෙදිණි නම් සිත පවට බිය වන්නේ ය. සිතෙහි අනොත්තප්පය යෙදුණු විටම සිත පවට බිය නො වන්නේ ය. අනොත්තප්පය පවට භය නැති ස්වභාවය හෙයිනි.

මෙ ද දොළොස් අකුසල් සිත්හි අවිශේෂයෙන් යෙදෙනේනේ ය. අන් කිසි සිතෙක නො යෙදෙන්නේ ය.

4-උද්ධච්චය:- උද්ධච්ච නම් සිතෙහි යෙදෙන අව්‍යුපසම (-නො සන්සුන්) ස්වභාවය යි. ගල් පහර ලත් අලුගොඩ මෙනි. සුළං ගත් ධ්වජය මෙනි. ඉදින් සිතෙහි උද්ධච්චය නො යෙදිණි නම්, සිත අචංචල වන්නේ ය. සිතෙහි උද්ධච්චය යෙදුණු කල සිත චංචල වන්නේ ය. නැත්පත් නො වන්නේ ය.

මෙ ද දොළොස් අකුසල් සිත්හි අවිශේෂයෙන් ලැබේ. අන් කිසි සිතෙක නො ලැබේ.

කිය යුත්තෙක් ඇති. ඵස්සාදි සෙසු චෛතසිකයන් ඇතත් මේ උද්ධච්ච චෛතසිකය බලවත් වැ ම යෙදෙන හෙයින් “උපෙක්ඛාසහගත උද්ධච්ච සම්පයුත්ත චිත්තය” යි අකුසල චිත්තයෙක් දොළොස් අකුසල සිත් අතර විශේෂයෙන් දක්වන ලද්දේ ය.

තව ද මෝහ, අහිරික, අනොත්තප්ප, උද්ධච්ච යන මේ සතර සියලු අකුසල සිත්හි නිරතුරු වැ යෙදෙන බැවින් “සබ්බා කුසල සාධාරණ” ය යි කියනු ලැබේ.

5-ලෝභය:- ලෝභ නම් සිතෙහි යෙදෙන, ආරම්මණයෙහි ඇලෙන ස්වභාවය යි. දැලි තෙල වස්ත්‍රාදියෙහි මෙනි. අළුත් මස් වැදැල්ල නැවුම් භාජනයෙහි මෙනි. ඉදින් සිතෙහි ලෝභය නො යෙදිණි නම් සිත ආරම්මණයෙහි නො ඇලෙන්නේ ය. සිතෙහි ලෝභය ඇති විට ම සිත ආරම්මණයෙහි ඇලෙන්නේ ය. මේ වනාහි බලවත් අකුසලයෙකි. අකුසල මූලයෙකි. චතුස්සත්‍යයෙහි සමුදය නමින් වදාළේ මේ ලෝභය යි.

ලෝභය ලෝභමූලික අකුසල් සිත් අටෙහි යෙදේ. අන් කිසි සිතෙක නො යෙදේ.

6-දිට්ඨිය:- දිට්ඨි නම් සිතෙහි යෙදෙන, අරමුණ වරදවා දක්වන ස්වභාවය. මිරිඟුව ජලය යි දක්නා මෙනි. මෙය අහේතුක, අකිරිය, නාස්තික වශයෙන් ඇති වුවහොත් අතිශය බලවත් වේ. දොළොස් අකුසල් සිත් අතුරෙන් ලෝභමූලික දිට්ඨිසම්පයුත්ත සිත් සතරෙහි යෙදේ. අන් කිසි සිතෙක නො යෙදේ.

7-මානය:- මාන නම් “මම් උසස්මී” යනාදි වශයෙන් සිතෙහි යෙදෙන උඩඟු ස්වභාවය යි. එය නවවිධ වේ. ඉදින් සිතෙහි මානය නො යෙදිණි නම් සිත තමා සෙය්‍ය, සදිස, හීන වශයෙන් නො සිතන්නේ ය. සිතෙහි මානය ඇතිවිට ම සිත සෙය්‍ය, සදිස, හීන වශයෙන් සිතන්නේ ය. කිය යුත්තෙක් ඇති. කේශර සිංහයන් දෙදෙනෙකු එක ගුහායෙහි නො වසන්නා සේ දිට්ඨිය හා මානය කිසි විටෙක එක සිතෙක නො යෙදෙන්නේ ය. සමානත්‍වය ඇති බැවිනි.

මේ වනාහි දොළොස් අකුසල් සිත් අතුරෙන් දිට්ඨිවිප්පයුත්ත සිත් සතරෙහි යෙදේ. යෙදෙන්නේත් මානය ඇති විටෙකය. අනියත යෝගී බැවිනි.

8-දෝසය:- දෝස නම් සිතෙහි යෙදෙන චණ්ඩ ස්වභාවය යි. ඒ වනාහි දඬුපහර ලත් නයකු මෙන් අනිෂ්ටාලම්බන ප්‍රතිලාභයෙන් සිත දූෂණය කරන්නේ ය. මෙ ද අකුසලයෙකි. අකුසල මූලයෙකි. පටිඝ - කොධාදී නම්වලින් දක්වනු ලබන්නේත් මේ මැයි.

දෝසය දොළොස් අකුසල් සිත් අතරෙන් දෝස මූලික පටිඝ සම්පයුත්ත සිත් දෙකෙහි පමණක් යෙදේ. අනි කිසි සිතෙක නො යෙදේ.

9-ඉස්සා:- ඉස්සා නම් සිතෙහි යෙදෙන, පර සම්පත් නො ඉවසන ස්වභාවය යි.

10-මච්ඡරිය:- මච්ඡරිය නම් සිතෙහි යෙදෙන, සිය සම්පත් සඟවන ස්වභාවය. මේ ලෝභය නොවේ. මච්ඡරිය සිතෙහි යෙදුණු කල්හි සිත සිය සැපත අනුන්ට දෙනු තබා අන්‍යයන් එය දැක්මවත් නො රුස්නේ ය. සිය සැපත අනුන් හා සාධාරණ වනු නො ඉවසන්නේ ය.

11-කුක්කුච්චය:- කුක්කුච්ච නම් සිතෙහි යෙදෙන කල දුසිරිත් ගැනැ හා නො කළ සුසිරිත් ගැනැ පසුතැවිලි වන ස්වභාවය යි. වරද කොටැ වාල් කමට අසුවූවකු මෙනි. කිය යුත්තෙක් ඇති.

මේ ඉස්සා, මච්ඡරිය, කුක්කුච්ච යන චෛතසික තුන දොළොස් අකුසල් සිත් අතුරෙන් දෝසමූලික පටිඝ සිත් දෙකෙහි පමණක් යෙදේ. යෙදෙන්නේත් අනියත වශයෙනි. නියත වශයෙන් නොවේ. අනියත වශයෙන් යෙදීම නම් ඊර්ෂ්‍යා, මාත්සර්ය කුක්කුච්ච ඇති විට ම යෙදෙන බවය. එබන්දක් නැති විට නො යෙදෙන බවය. එබන්දක් ඇති විටත් එක වර එක සිතෙක එකක් ම මුත් දෙකක් හෝ තුන ම හෝ නො යෙදේ. ඒ එසේ මැ යි. ඊර්ෂ්‍යාව ඇත්නම් ඉස්සාව යෙදේ. මච්ඡරිය, කුක්කුච්ච නො යෙදේ. මාත්සර්ය ඇත්නම් මච්ඡරිය යෙදේ. ඉස්සා, කුක්කුච්ච නො යෙදේ. කෞකෘත්‍යය ඇත්නම් කුක්කුච්චය යෙදේ. ඉස්සා, මච්ඡරිය නො යෙදේ. මෙයින් එකකුදු නැත්නම් එකකුදු නො යෙදේ. එහෙයින් මේ චෛතසික තුන අනියත යෝගී නම් වේ.

12-ථීනය:- ථීන නම් චිත්තයාගේ පසුබස්නා ස්වභාවයයි.

13-මිද්ධය:- මිද්ධ නම් චෛතසිකයන්ගේ පසුබස්නා ස්වභාවය ය යි. මේ ථීන-මිද්ධ දෙක සසංඛාරික අකුසල් සිත් පසෙහි යෙදේ. යෙදෙන්නේ එකට ම ය. වෙන් වැ නො වේ. එ ද චිත්ත-චෛතසිකයන්ගේ පසුබැස්මක් ඇති කල්හි ම යෙදෙන්නේ ය. නැති කල්හි නො යෙදෙන්නේ ය. එහෙයින් මොහු දෙදෙන ද අනියත යෝගීහු යි.

14-විචිකිච්ඡාව:- විචිකිච්ඡා නම් සිතෙහි යෙදෙන බුද්ධාදීන් කෙරෙහි ඇති ස්වභාවය යි. දෙමංසන්ධියකට පත් පුරුෂයකු මෙනි. මේ වනාහි උපෙක්ඛා සහගත විචිකිච්ඡා සම්පයුත්ත චිත්තයෙහි පමණක් යෙදෙනේනේ ය. අන් කිසි සිතෙක නො යෙදෙන්නේ යි.

සබ්බාපුඤ්ඤෙසු චත්තාරො ලොභමූලෙ තයො ගතා

දොසමූලෙසු චත්තාරො සසංඛාරෙ ද්වයං තථා.

විචිකිච්ඡා විචිකිච්ඡා චිත්තෙචාති චතුද්දස

චුද්දසාකුසලෙස්වෙව සම්පයුජ්ජන්ති පඤ්චධා,

ප්‍රශ්න

  1. අකුසල චෛතසික කෙතෙක් ද? කවරහු ද?
  2. එක් එක් අකුසල චෛතසිකයෙක ආකාර හා ඒ ඒ අකුසල චෛතසිකය මේ මේ සිත්හි යෙදෙන්නේ යයි පැහැදිලි කොටැ දක්වනු.
  3. අනියතයෝගී, නියතයෝගී, සහයෝගී අකුසල චෛතසික කවරේ ද?
  4. සර්වාකුසල සාධාරණ චෛතසික කවරේ ද?
  5. සිත සසංඛාර අසංඛාර කරන චෛතසික ඇද්ද?