11. පුද්ගල භේදය.

චිත්ත වීථි පිළිබඳ ජවන විනිශ්චය යට දක්වන ලදී. පුද්ගලභේදය හා පුද්ගලයන් පිළිබඳ වීථි චිත්ත විභාගය මෙහි දක්වනු ලැබේ.

පුද්ගලයෝ වනාහි පෘථග්ජනයෝය, ආර්යයෝය යි ද්විවිධ වෙති. සෝවාන් ආදි මාර්ග ඵලස්ථයෝ ආර්යයෝ ය. සෙස්සෝ පෘථග්ජනයෝය. ඔවුන් අතුරෙන් පෘථග්ජනයෝ අහේතුකයෝය, ද්විහේතුකයෝය, ත්‍රිහේතුකයෝය යි යළි ත්‍රිවිධයහ. අහේතුකයෝ නම්-ප්‍රතිසන්‍ධි චිත්තයෙහි ෂඩ්විධ හේතු අතුරෙන් එක හේතුවකුදු නො යෙදුණ සත්ත්‍වයෝය. ඔව්හු දුගති අහේතුක, සුගති අහේතුක යි යලි දු ද්විවිධ වෙත්. දුගති අහේතුක නම්-අකුශල විපාක උපෙක්ඛා සහගත සන්තීරණ සිතින් පිළිසිඳ ලත් සතර අපායිකයෝය. සුගති අහේතුක නම්-කුශල විපාක උපෙක්ඛා සහගත සන්තීරණ සිතින් පිළිසිඳ ලත් ජාත්‍යන්‍ධ ජාතිබධිරාදීහුය. ද්විහේතුකයෝ නම්-ප්‍රතිසන්‍ධි චිත්තයෙහි අලෝභ අදෝස යන හේතු දෙකන පමණක් යෙදුණු ඤාණවිප්පයුත්ත මහාවිපාක සතරින් උපන්නෝ ය. ත්‍රිහේතුකයෝ නම්-ප්‍රතිසන්‍ධි චිත්තයෙහි අලෝභ, අදෝස, අමෝහ යන හේතු ත්‍රිකය යෙදුණු පුද්ගලයෝය. එනම් ඤාණසම්පයුත්ත මහාවිපාක සතරින් හා මහග්ගත විපාකවලින් උපන්නෝයි. (ආර්යයෝ වනාහි ඒකාන්තයෙන් ත්‍රිහේතුකයෝය. ඔවුහු ද සෝතාපන්නාදි වශයෙන් අෂ්ටවිධ වෙති. ඔවුන් අතුරෙන් මුල් සත්දෙන ශෛක්‍ෂයෝය. අර්හත් ඵලස්ථයා අශෛක්‍ෂ යි.)

1. මොවුන් අතුරෙන් අහේතුකයන්ට හා ද්විහේතුකයන්ට අර්පණා ජවන හෝ ක්‍රියා ජවන නූපදියි. අර්පණා ජවන නම්-ප්‍රථමධ්‍යානාදිය යි. ක්‍රියාජවන නම්-රහතුන්ට ම ආවෙනික වූ හසිතුප්පාද, මහා ක්‍රියා හා මහග්ගත ක්‍රියා යි. අහේතුක ද්විහේතුක ප්‍රතිසන්‍ධි විපාකාවරණය යි කියනු ලැබේ. එබැවින් ඔවුන්ට ඒ අත්බැව්හි ධ්‍යාන මාර්ග ඵල නො ලද හැකිය යි සේයි. මාර්ග ඵල නැතියනට ක්‍රියා ජවන නැත යනු කිය යුතු ද නොවේ.

2. එසේ ම ද්විහේතුකයන්ට හා සුගති අහේතුකයන්ට ඤාණසම්පයුත්ත විපාක නො ලැබේ. ඤාණසම්පයුත්ත විපාක නම්-මෙහි තදාලම්බන වන ඤාණසම්පයුත්ත විපාක සතර යි.

3. දුගති අහේතුකයන්ට වනාහි ඥානවිප්‍රයුක්ත වූ ද මහාවිපාක නො ලැබේ. එවිට ඔවුන්ට තදාලම්බන වශයෙන් ලැබෙන්නේ අහේතුක සන්තීරණ ත්‍රිකය පමණෙකි. මෙහි ලා ධර්මධරයන්ගේ මතභේදයක් ඇති බව දත යුතුයි.

4. ත්‍රිහේතුකයන් අතුරෙන් රහතන්ට අකුශල හෝ කුශල ජවන නූපදී. සිත කුශල හෝ අකුශල වන්නේ අවිද්‍යාව ඇති හෙයිනි. අවිද්‍යා ක්‍ෂය කළ රහතන්ට කිසි සිතෙක් අකුශල හෝ කුශල නොවේ. වනුයේ ක්‍රියා යි.

5. එසේ ම ත්‍රිහේතුකයන් අතුරෙන් ශෛක්‍ෂයන්ට හා පෘථග්ජනයන්ට ක්‍රියා ජවන නො ලැබේ. ක්‍රියාජවන ලැබෙන්නේ අර්හත් ඵලස්ථයන්ට පමණෙකි. අහේතුක ද්විහේතුකයන්ට ක්‍රියාජවන නො ලැබෙන බව යට කියන ලදි.

6. එසේ ම ශෛක්‍ෂයන්ට දිට්ඨිසම්පයුත්ත ජවන හා විචිකිච්ඡා ජවන නො ලැබේ. සෝවාන් ආදීන් සක්කායදිට්ඨි විචිකිච්ඡා, සීලබ්බතපරාමාස යන සංයෝජනත්‍රය මුල්සිඳැ ලූ බැවිනි.

7. ශෛක්‍ෂයන් අතුරෙන් අනාගාමීන්ට පටීඝ ජවන ද නොලැබේ. (පටිඝජවන නම්-ද්වේෂමූලික අකුසල් දෙකය.) කාමරාග පටිඝ අනාගාමි මගින් ක්‍ෂය කළ බැවිනි.

8. ලෝකොත්තර ජවන ආර්ය පුද්ගලයන්ට ම සුදුසු පරිදි ලැබෙන්නේය.

මෙසේ බලන කල්හි අශෛක්‍ෂ සංඛ්‍යාත අර්හත් ඵලස්ථයන්ට කාමාවචර විපාක 23 ද, ක්‍රියා සිත් 20 ද අර්හත් ඵලය ද යන සුසාලිස් (44) සිත් උපදින්නේය, අකුශල 12 ද, කුසල් 21 ද, සෝවාන් සකෘදාගාමි අනාගාමි ඵල 3 ද, මහග්ගත විපාක 9 ද යන පන්සාලිස (45) නූපදින්නේය.

ශෛක්‍ෂයන්ට කාමාවචර විපාක 23 ද, ආවර්ජන 2 ද කුසල් 21 ද, අකුසල් 7 ද, සෝවාන් ආදී ඵල 3 ද යන සපණස් (56) සිත් උපදින්නේය. (එයිනුදු සෝවාන් සකෘදාගාමින්ට 51 කි. අනාගාමීන්ට 49 කි.) ක්‍රියාජවන 18 ද, දිට්ඨිගත අකුශල සතර හා විචිකිච්ඡා සම්පයුත්ත චිත්තය ද අර්හත් ඵලය ද මහග්ගත විපාක 9 ද යන තෙතිස (33) නූපදින්නේය.

පෘථග්ජනයන්ට වනාහි කාමාවචර විපාක 23 ද, ආවර්ජන 2 ද, කාමාවචර-රූපාවචර-අරූපාවචර කුශල 17 ද, අකුශල 12 ද, යන සූපණස (54) උපදින්නේය. විශේෂයෙන් බලත් හොත් මේ සූපණස උපදින්නේ ත්‍රිහේතුක පෘථග්ජනයන්ට ය. ද්විහේතුකයන්ට හා සුගති අහේතුකයන්ට ඤාණසම්පයුත්ත විපාකද, අර්පණා ජවන ද හැරැ සෙසු එක්සාලිස (41) ය. දුගති අහේතුකයන්ට එයිනුදු ද්විහේතුක විපාක සතර හැරැ සෙසු සත්තිස (37) යි. ක්‍රියාජවන 18 ද, ලෝකුත්තර 8 ද, මහග්ගත විපාක 9 ද යන පන්තිස (35) පෘථග්ජනයන්ට නූපදින්නේය.

“අසෙක්ඛානං චතුචත්තාලීස සෙක්ඛානමුද්දිසෙ,

ඡප්පඤ්ඤාසාවසෙසානං චතුප්පඤ්ඤාස සම්භවා.”

අශෛක්‍ෂයන්ට සිත් සූසාළිසක් (44) ද, ශෛක්‍ෂයන්ට සපණසක් (56) ද, සෙස්සන්ට (=පුහුදුනට) සූපණසක් ද සුදුසු පරිදි කියන්නේය යනු භාවයි.

ප්‍රශ්න.

  1. පුද්ගල භේදය දක්වා ඔවුන්ගේ ආකාර විස්තර කරනු.
  2. අහේතුකයන්ට හා ද්විහේතුකයන්ට කවර සිත් උපදී ද?
  3. රහතන්ට උපදින සිත් කවරේ ද?
  4. ශෛක්‍ෂයන්ට නූපදින සිත් දක්වනු.
  5. පෘථග්ජන ත්‍රිහේතුකයන්ට උපදින සිත් කවරේ ද?