10. ජවන නියමය.

චිත්තවීති අවසානයෙහි ලැබෙන තදාලම්බන පිළිබඳ නියමය යට දක්වන ලදි. මෙහි ජවන පිළිබඳ නියමය දක්වනු ලැබේ. ජවන කෘත්‍යය කරන සිත් 55 කි. එනම් අකුශල දොළොස, කාමාවචර කුශල අට හා මහාක්‍රියා අට, හසිතුප්පාදය රූපාවචර කුශල පස හා ක්‍රියා පස අරූපාවචර කුශල සතර හා ක්‍රියා සතර, ලෝකොත්තර මාර්ග සතර හා ඵල සතර යන මොවුන්ගේ වසයෙනි. ජවන නම් අසනිපාතයක් මෙන් චිත්තයාගේ වේගවත් අවස්ථාව ය. අම්බොපමායෙහි ජවන අඹපලය වළඳන කාලය මෙනැ යි කියන ලදි. ජවන-ජව-වෙග යනු එකාර්ථයි. මේ අර්ථය ම සලකා මොවුන්ට දුවන සිත් යයි කියති. මොවුන් පරිත්ත මහග්ගත ලෝකොත්තර චිත්ත වීථිවල යෙදෙන පරිදි ඒ ඒ වීථි වින්‍යාසයෙහි දක්වන ලදි. එය ම පැහැදිලි කරනු සඳහා යළි දු විශේෂ සහිත වැ මෙහි දක්වනු ලැබේ.

1. පරිත්ත වීථිවල කාමාවචර ජවන දිවෙතොත් සත් සත්වරෙක් දිවෙන්නේය. යට පරිත්ත වීථි බලනු. එහි දු ඉදින් ආරම්මණය දුර්බල නම් කිසි විටෙක සවරක් ද දිවෙත හැකිය. වස්තු දුර්බලත්‍වය මෙයට කාරණ වේ. මෙහි වස්තු නම් හෘදය වස්තුවයි.

2. මරණාසන්න කාලයෙහි හෘදය වස්තුව දුර්බල බැවින් ජවන් පසෙක් ම දිවෙන්නේය. මරණාසන්න කාලය නම් චුතිචිත්තුප්පාදයට ආසන්න කාලය යි. මෙසේ ම මූර්ච්ඡා කාලයෙහි ද විසංඥ කාලයෙහි ද ඉතා ළදරු කාලයෙහි ද ජවන් පසෙක් හෝ සයෙක් දිවෙන්නේ ය. මූර්ච්ඡ කාලය නම් නො ඉවසිය හැකි දුඃඛයෙන් ශරීරය වෙහෙසට පත් කාලය යි. විසංඥ කාලය නම් ප්‍රීති වේගයෙන් හෝ අමනුෂ්‍ය උපද්‍රවයෙන් හෝ සුරාමදාදියෙන් හෝ ප්‍රකෘති සංඥාව නැති වැ ගිය කාලය යි. ඉතා ළදරු කාලය නම් ගර්භවාස කාලය හෝ උපන් ඇසිල්ලයි.

3. බුදුරජාණන් වහන්සේ යමක ප්‍රාතිහාර්ය දක්වන කල්හි උන්වහන්සේට ප්‍රත්‍යවේක්‍ෂා ජවන සතරෙක් හෝ පසෙක් දිවෙන්නේ ය. එ ද ශීඝ්‍ර වැ පවත්නා අවස්ථායෙහි ය. එහි දු ශීඝ්‍රත්‍වයෙහි පස ද අති ශීඝ්‍රත්‍වයෙහි සතර ද කිය යුතු. ශීඝ්‍ර වැ නො පවත්නා කල්හි උන්වහන්සේට ද සය හෝ සත යි.

යමක ප්‍රාතිහාර්ය නම් බුදුරජාණන් වහන්සේ ස්වකීය ශරීරයෙන් ගිනිකඳ හා දියකඳ නිකුත් කිරීම් වශයෙන් යුගල යුගල කොට දක්වනු ලබන පෙළහර වෙසෙසකි. ඒ පෙළහර දක්වන බුදුරජාණන් වහන්සේ පළමු කොටැ තෙජොකසිණයෙහි පාදකධ්‍යානයට සමවැද එයින් නැගී ඒ ධ්‍යානාංග ප්‍රත්‍යවේක්‍ෂා කරති. ඉක්බිති උපරිකායයෙන් ගිනිකඳ නික්මේවා යි අධිෂ්ඨාන කරති. ඉක්බිති එම කසිණයෙහි ම අභිඥාවට සමවදින සේක. ඒ අභිඥා වශයෙන් උපරිකායයෙන් ගිනිකඳ නික්මෙයි. නැවැත එසේ ම ආපොකසිණයෙහි පාදකධ්‍යානයට සමවැද එයින් නැඟී ධ්‍යානාඞ්ග ප්‍රත්‍යවේක්‍ෂා කරති. ඉක්බිති අධඃකායයෙන් දියකඳ නික්මේවා යි අධිෂ්ඨාන කරති. ඉක්බිති ඒ කසිණයෙහි ම අභිඥාවට සමවදින සේක. අභිඥා වශයෙන් යට කයෙන් දියකඳ නික්මෙයි. මෙසේ ශීඝ්‍ර ප්‍රවෘත්තිය ඇති විට යට කී ප්‍රත්‍යවේක්‍ෂා ජවන සතරින් පසින් ඔබ්බට නො ගොස් භවඞ්ග වේ. භවඞ්ග ද දෙකින් ඔබ්බට නො ගොස් පළමු කී සේ ම නැවත පාදකධ්‍යානයට සම වදිති. බලා සිටින්නවුන්ට උන්වහන්සේගේ ශරීරයෙන් එකවිට ම ගිනිකඳ දියකඳ නික්මෙන සේ පැනෙයි. මහ මුගලන්හිමි ආදි සෙසු සෘද්ධිමත්නට ද එබඳු කාලයෙහි ප්‍රත්‍යවේක්‍ෂා ජවන සතර පස ම කිය යුතුයි. ඇතැම් ආචාර්යවරයෝ බුදුරජාණන් වහන්සේට සතර ද සෙස්සන්ට පස ද විය යුතුය යි කියත්.

4. ආදිකර්මිකයාගේ අර්පණා ප්‍රාප්තියෙහි මහග්ගත ජවන එක්වරෙක් ම උපදනේය. ඒ මහග්ගත ජවන ආසෙවන නොලබන බැවින් දුර්බල යි. යට දැක්වුණු ආදිකම්මික මහග්ගත චිත්තවීථි බලනු.

5. එසේ ම අභිඥා ජවන ද ආදිකම්මික කාලයෙහි හා වශීභූත කාලයෙහි එක වරක් ම උපදනේය. අභිඥා ජවන උපදවන්නේ සෘද්ධිප්‍රාතිහාර්ය සඳහාය. සෘද්ධිදර්ශනයෙන් පසු කළ යුතු දේ නැති බැවින් එය එකවරක් ම පමණි.

6. සෝතාපත්ති ආදි මාර්ග ජවන් ද උපදනේ එක් එක් වර ම ය. (ලෝකොත්තර චිත්ත වීථි බලනු.) තම තමන් විසින් නසාලිය යුතු කෙලෙස් නසා ලූ කල්හි නැවත කළ යුතු දේ නැති බැවිනි. මාර්ගයෙන් පසු ඵල ජවන දෙකක් හෝ තුනක් ඉපිදැ ඉක්බිති භවාඞ්ග වන්නේය. එහි විභාගය යට දක්වන ලදි.

7. අනාගාමීහු ද රහත්හු ද අභිමත චිට නිරොධ සමාපත්තියට සමවදිති. නිරොධසමාපත්ති නම් චිත්ත ප්‍රවෘත්ති නවතාලීමයි. කාමරාග සහිත හෙයින් සෝවාන් සෙදගැමින්ට චිත්ත නිරෝධය කළ හැකි නොවේ. නිරෝධසමාපත්තියට සමවැදුණවුන්ට ජවන හෝ අන් කිසි සිතෙක් හෝ නැත. එවිට ඔවුහු අචිත්තකයෝය යි කිය යුතු. නිරෝධ සමාපත්තියෙහි විස්තර මතු දැක්වේ.

8. සමාපත්ති වීථිවල ද භවාඞ්ග ප්‍රවෘත්තියෙහි මෙන් ජවන ප්‍රවෘත්තියෙහි නියම නැති. ආරම්භ කාලයෙහි ජවන එකින් දෙකින් ගොස් වශප්‍රාප්ත කාලයෙහි සියදහස් ගණන් ද දුවත හැකිය. සමාපත්ති වනාහි ඣානසමාපත්ති ඵලසමාපත්ති වශයෙන් දෙ ආකාර බවද ඔවුන් පැවතෙන සැටි ද යට දක්වන ලදි. සමාපත්ති වීථි බලනු.

“සත්තක්ඛත්තුං පරිත්තානි මග්ගාභිඤ්ඤා සකිං මතා,

අවසෙසානි ලබ්භන්ති ජවනානි බහූන්‍යපි”

පරිත්ත ජවනයෝ උත්කෘෂ්ට වශයෙන් සත් වරක් දිවෙති. මාර්ග අභිඥා ජවන් එක් වරකි. සෙසු මහග්ගත ලෝකොත්තර ජවනයෝ බොහෝ ද ලැබෙත්. විස්තර යට කී සේ යි.

ප්‍රශ්න.

  1. ජවන යනු කිම? ජවන සිත් කෙතෙක් ද? කවරහු ද?
  2. කාමාවචර ජවන කී කී වර උපදී ද? ස්ථාන දක්වා පැහැදිලි කරනු.
  3. මහග්ගත ජවන ප්‍රවෘත්ති දක්වනු.
  4. නිරෝධසමාපත්ති ඵල සමාපත්ති පැහැදිලි කොට ඔවුන් පිළිබද ජවන නියමය දක්වනු.
  5. නිරෝධසමාපත්තියට සමවදිත හැකි කවරකු හට ද? සෙස්සන්ට කුමක් හෙයින් නො හැකි ද?