9. තදාලම්බන නියමය

යට දැක්වුණු චිත්තවීථින්හි ඇතුලත් සිත් විපාක ක්‍රියා කර්ම වශයෙන් තුන් කොටසකට බෙදෙන්නේය. ඒ බව ඒ ඒ ප්‍රස්තාවයෙහි දැක්වුණු නමුදු විශේෂාවබෝධය සඳහා මෙහි යළිත් දක්වනු ලැබේ. එසේම තදාලම්බන පිළිබඳ නියමය විශේෂයෙන් දක්වනු ලැබේ.

චිත්ත වීථීන්හි ආදියෙහි පැනෙන භවඞ්ග භවඞ්ග චලන භවඞ්ගුපච්ඡේද ඒ චිත්ත වීථීන්ට අයත් නොවේ. ඔව්හු වීථි මුක්තයෝ ය. වීථි සිත් උපදීමට මුලදී පවත්නා සිත් දක්වනු පිණිස ඔව්හු යොදනු ලබති. ඔව්හු විපාකයෝ ය. ඔවුන් පිළිබඳ විභාගය විථිමුක්ත පාදයෙහි පැහැදිලි වේ.

පඤ්චද්වාරාවර්ජන හා මනොද්වාරාවර්ජන ක්‍රියා සිත් ය. වොත්‍ථපන කෘත්‍යය සිද්ධ කරන්නේ මනොද්වාරාවර්ජනය යි. එබැවින් වොත්‍ථපනය ද ක්‍රියා සිතෙකි.

චක්ඛුවිඤ්ඤාණාදි දෙපස් විඤ්ඤාණ ද, සම්පටිච්ඡන සන්තීරණ තදාලම්බන ද විපාකයෝ ය. එහිදු අනිෂ්ටාලම්බනයෙහි ලැබෙන චක්ඛුවිඤ්ඤාණාදි පසද, සම්පටිච්ඡන සන්තීරණ ද, ජවනාවසානයෙහි ලැබෙන තදාලම්බන ද අකුශල විපාකයෝ ය. ඉෂ්ට මධ්‍යස්ථ අනිෂ්ටාරම්මණයන්හි ලැබෙන ඔව්හු කුශල විපාකයෝය. එහිදු අතිෂ්ටාරම්මණයෙහි සන්තීරණ හා තදාලම්බන සෝමනස්ස සහගත වන බව දත යුතුයි. අතිෂ්ටරම්මණයන්හි දී චක්ඛු සෝත ඝාණ ජිව්හා විඤ්ඤාණ උපෙක්ඛා සහගත වන සැටි ද කායවිඤ්ඤාණ දුක්ඛ සහගත සුඛ සහගත වන සැටි ද, සම්පටිච්ඡන සන්තීරණ උපෙක්ඛා සහගත වන සැටි ද, චිත්තපාදයෙහි දක්වන ලදි.

මෙසේ ආරම්මණානුරූප වැ වේදනා නියමය වන්නේ විපාක සිත්වලට ය. මුහුණේ ඇති සැටිය ම කැටපතෙහි පැනෙන්නාක් මෙන් කර්මානුභාවයෙන් ලැබෙන විපාක සිත් ආරම්මණානුරූප වැ ම ලැබිය යුතු බැවිනි. එහෙත් ජවනයන්ට මේ නියමය නො ලැබෙන බැව් දත යුතුය. සක්ලේශ සත්ත්වයන්ගේ ජවන් සිත් අනිෂ්ටාරම්මණයෙහි දු බුද්ධ දර්ශනයෙහි අශ්‍රද්ධාවතුන්ට මෙන් ඇතැම් විට උපෙක්‍ෂා සහගත වේ. බුද්ධදර්ශනයෙහි තීර්ථකයන්ට මෙන් ඇතැම් විට දෝමනස්ස සහගත ද වේ. ගම්භීර ප්‍රකෘතිකයන්ට අනිෂ්ටාරම්මණයෙහි දු දොම්නස් ජවන් නො වැ උපෙක්‍ෂා ජවන් දුවන්නේ ය.

විපාක සිත්වල වේදනා නියමය ආරම්මණානුරූප වැ වන්නේය යි යට කියන ලදි. එහෙත් තදාලම්බන පිළිබඳ වැ මේ නියමය ඒකාන්ත නො වේ. එහි විශේෂ ඇති බැවිනි. තදාලම්බන උපදිතොත් උපදින්නේ ජවනයන්ට අනතුරු වැ ය. ජවන කෘත්‍ය කරන සිත් පස්පණසෙ (55) කි. තදාලම්බන කෘත්‍ය කරන සිත් එකොළොසෙකි. ජවනයන්හි පවත්නා වේදනා තදාරම්මණයන්හි දී ඇතැම් විට වෙනස් වේ. එබැවින් කවර ජවනයන්ගේ අවසානයෙහි කවර තදාලම්බන උපදී දැ යි දැක්විය යුතුය. ඒ මෙසේ යි.

1. සෝමනස්ස සහගත ක්‍රියා ජවනාවසානයෙහි සෝමනස්ස සහගත වූ තදාලම්බන ලැබේ.

සෝමනස්ස සහගත ක්‍රියා ජවන නම් හසිතුප්පාදය හා සෝමනස්ස සහගත මහා ක්‍රියා සතරයි. සෝමනස්ස සහගත තදාලම්බන නම් සෝමනස්ස සන්තීරණය හා සෝමනස්ස මහා විපාක සතර යි. රහතන්ගේ චිත්ත විපර්යාස නැති බැවින් මෙය මෙසේ වන බව දත යුතුයි.

2. උපෙක්ඛා සහගත ක්‍රියා ජවනාවසානයෙහි උපෙක්ඛා සහගත වූ ම තදාලම්බන ලැබේ.

උපෙක්ඛා සහගත ක්‍රියා ජවන නම් උපෙක්ඛා සහගත මහා ක්‍රියා සතරය. උපෙක්ඛා සහගත තදාලම්බන නම් උපෙක්ඛා සහගත සන්තීරණද්වය හා එබඳු වූ මහා විපාක සතර යි. මෙහි දු හේතුව යට කියන ලද්ද මැ යි.

දෝමනස්ස සහගත ජවනාවසානයෙහි උපෙක්ඛා සහගත වූ ම තදාලම්බන ලැබේ.

දොම්නස් තදාලම්බන නැති බැවින් හා වේදනා වශයෙන් අන්‍යොන්‍ය විරුද්ධ ස්වභාව හෙයින් සෝමනස්ස තදාලම්බන නො ලැබෙන බැවිනි. දෝමනස්ස ජවනාවසානයෙහි තදාලම්බන නො ඉපිදැ ඉදින් භවඞ්ග උපදින්නේ නම් ඒ භවඞ්ග ද උපෙක්‍ෂා සහගත විය යුතු යි. මේ හේතුයෙන් සෝමනස්ස ප්‍රතිසන්ධිකයන්ට දෝමනස්ස ජවන් දිවූ කල ඉදින් තදාලම්බන නො ලැබේ නම් යම් කිසි පුරුදු අරමුණක් ගෙනැ උපෙක්‍ෂා සහගත සන්තීරණයක් ඉපිද, ඉක්බිති සෝමනස්ස භවඞ්ග වන්නේය යි කියනු ලැබේ. ආවර්ජනයක් නැති වැ සන්තීරණයයෙක් මේ අතර කෙසේ උපදී දැයි නොසිතිය යුතුය. නිරෝධ සමාපත්තියට අනතුරු වැ ආවර්ජන නැති වැ ම ඵල සිත උපදින්නාක් මෙන් මෙය ධර්මතා වශයෙන් සිද්ධ විය හැකි බැවිනි. තව ද මේ සන්තීරණයෙන් වන්නේ භවඞ්ග කෘත්‍යය යි දත යුතු.

4. සෙසු දශ අකුශල ජවනයන් කෙරෙන් ද, අෂ්ටවිධ කාමකුශල ජවනයන් කෙරෙන් ද, ආරම්මණානුරූප වැ තදාලම්බන උපදින්නේය. එහි ද අකුශල ජවනයන්ට අනතුරු වැ අහේතුක තදාරම්මණ ද ද්විහේතුක ජවනයන්ට අනතුරු වැ ද්විහේතුක තදාරම්මණ ද, ත්‍රිහේතුක ජවනයන්ට අනතුරු වැ ත්‍රිහේතුක තදාරම්මණ ද බොහෝ සෙයින් ලැබෙන බව දත යුතුයි.

5. මේ තදාරම්මණ ප්‍රතිසන්‍ධි ජනක කර්මයට විපාක වශයෙන් ලැබුණත් නොයෙක් වීථිවල නොයෙක් ආකාර වේ. ප්‍රවෘත්ති විපාක දෙන කර්මයෙන් උපදින කල කිය යුත්තෙක් ම නැත.

6. එසේ ම තදාරම්මණ ලැබෙතොත් ලැබෙන්නේ කාමාවචර ජවනාවසානයෙහි ම ය. මහග්ගත ලෝකෝත්තර ජවනාවසානයෙහි නො ලැබේ. කාමාවචර ජවන් සවිප්ඵන්‍දන බැවින් හා මහග්ගත ලෝකෝත්තර ජවන් අවිප්ඵන්‍දන බැවිනි. විප්ඵන්‍දන නම් චලත්‍වයයි.

7. එසේ ම තදාලම්බන උපදුතොත් උපදින්නේ කාමාවචර සත්ත්‍වයන්ට ම ය. රූපාවචර අරූපාවචර සත්ත්‍වයන්ට තදාරම්මණ නූපදනේ ය. රූපාවචර අරූපාවචර සත්ත්‍වයන්ට තදාරම්මණ උපනිඃශ්‍රය කොට ඇති කාම භවඞ්ග නැති බැවින් හා ශාන්ත වූ මහග්ගත ජවනයන්ට අනතුරු වැ තදාලම්බන නො ලැබෙන බැවින් ය.

8. එසේ ම තදාරම්මණ උපදින්නේ කාමාවචර ධර්ම අරමුණු වූ කල්හි ම ය. මහග්ගත ලෝකෝත්තර ධර්ම අරමුණු වූ කල්හි නූපදින්නේ ය. තදාරම්මණ ඒකාන්ත පරිත්තාරම්මණ බැවිනි.

මේ පිළිබඳ ගාථාවක් මෙසේ ය:-

“කාමෙ ජවන සත්තාලම්බනානං නියමෙ සති,

විභුතෙ’ති මහන්තෙ ච තදාලම්බනමීරිතං.”

කාමභවයෙහි ජවන සත්ත්‍ව ආලම්බන යන මොවුන්ගේ නියමය ඇති කල්හි විභූතාරම්මණයෙහි ද අතිමහන්තාරම්මණයෙහි ද තදාලම්බන කියන ලදී යනු භාව යි.

තදාලම්බන ලැබෙන හෙයින් ම ආරම්මණ විභූත හෝ අතිමහන්ත වන්නේ නො වේ. තදාලම්බන නැත ද බ්‍රහ්මයන්ගේ ආරම්මණ විභූත හා අතිමහන්ත විය හැකි බැවිනි.

තත්+ආලම්බන-තදාලම්බන: ඒ ජවනයන් විසින් ගන්නා ලද ආලම්බනය යම් සිතකට ඇත්තේ ද ඒ සිත තදාලම්බන යි. තදාරම්මණ යනු දු මේ මැ යි.

තදාලම්බන පිළිබඳ මේ දැක්වුණු විභාගය සියුම් ය. සංක්‍ෂිප්තය. ගුරු මුඛයෙන් හා ග්‍රන්ථාන්තරයෙන් විශේෂ දත යුතුයි.

ප්‍රශ්න.

  1. තදාලම්බන යනු කිම? කර්ම විපාක ක්‍රියා අතුරෙන් ඔව්හු කුමකට අයත් ද?
  2. කවර භවයෙක කවර සත්ත්‍වයනට කුමක් අරමුණු කොටැ තදාලම්බන උපදී ද?
  3. මහග්ගත ලෝකෝත්තර චිත්තවීථිවල තදාලම්බන නො ලැබෙන්නේ කිම?
  4. තදාලම්බන උපෙක්‍ෂා හෝ සෝමනස්ස සහගත වීමේ යුක්ති පැහැදිලි කරනු.
  5. සෝමනස්ස පටිසන්‍ධිකයකුට දොම්නස් ජවන් දිවූ කල තදාලම්බන නො ලැබෙතොත් භවඞ්ග එක වරට ම සෝමනස්ස සහගත විය හැකි ද? එහි නියමය දක්වනු.