2. චක්ඛුද්වාරික අතිමහන්තාරම්මණ චිත්ත වීථිය.

රූපාරම්මණය චිත්තක්ෂණ සතළොසක් ආයු ඇති බව යට කියන ලදි. ඒ කීයේ මහා චිත්තක්ෂණ සඳහා ය. එක් මහා චිත්තක්ෂණයෙක උත්පාද, ස්ථිති, භඞ්ග යන කුඩා චිත්තක්ෂණ තුනෙක් ඇත්තේය. සිතෙක උපදින ඇසිල්ල උත්පාද ය. පවතින ඇසිල්ල ස්ථිති ය. බිඳෙන ඇසිල්ල භඞ්ග යි. එවිට රූපාරම්මණය කුඩා චිත්තක්ෂණ එක්පණසෙක (51) ආයු ඇති බව දත යුතු. එහෙත් මතු රූපායුෂ ගණිනු ලබන්නේ මහාචිත්තක්‍ෂණයන්ගේ වශයෙන් ය.

රූප ද ඉපිද තිබී නැති වන්නේය. සිත් ද ඉපිද තිබී නැති වන්නේය. රූප ගරු පරිණාම ය. සිත් ලහු පරිණාම යි. එක් වරක් උපන් රූපය සිත සතළොස් වරක් ඉපිද තිබී නැති වන තාක් පැවත සතළොස් වන චිත්තයාගේ භඞ්ගක්‍ෂණය සමගම නැති වන්නේ ය. රූපයට මහාචිත්තක්‍ෂණ සතළොසක් හෝ කුඩා චිත්තක්‍ෂණ එක් පණසක් ආයු ඇතැ යි කීයේ මේ නිසාය.

සතළොස් චිත්තක්‍ෂණයක් ආයු ඇති රූපයාගේ ප්‍රථම චිත්තක්‍ෂණාවස්ථාව චක්‍ෂුර්ද්වාරයට අරමුණු නොවේ. එක් චිත්තක්‍ෂණයක් හෝ චිත්තක්‍ෂණ බොහෝ ගණනක් හෝ ඉක්මැ ගිය ස්ථිති අවස්ථාව ම අරමුණු වේ. මෙහි දී වනාහි එක් චිත්තක්‍ෂණයක් ඉක්මැ ගිය රූපය චක්‍ෂුර්ද්වාරයට අරමුණු වූයේ ය යි සලකනු. අරමුණු වීම එක් ක්‍රමයෙක හැපීමෙකි. රූපය චක්‍ෂුඃප්‍රසාදයෙහි හැපෙත් ම හෘදය වස්තුව නිසා පැවැති භවඞ්ග සන්තතිය චලනය වන්නේය. ඒ සමග ම භවඞ්ග සන්තතිය සිඳී ද යන්නේය. මෙහි චලනයට භවඞ්ග චලනය යි ද, සිඳීමට භවඞ්ගු පච්ඡෙදයයි ද කියති. සැලුණත් සිඳුණත් ඔව්හු භවඞ්ගයෝ ම ය. ඔවුන්ගේ අරමුණ පූර්ව වූ කර්ම හෝ කර්මනිමිති හෝ ගති නිමිති ය. මේ රූපය නො වේ. කියයුත්තෙක් ඇති. රූපය ඇසේ හැපුණාම හෘදයවස්තුව නිසා පවත්නා සිත සෙලවී සිඳෙන්නට හේතු කිම? ඔවුන්ගේ ඒකාබද්ධ බව ය. බෙරේ එක් තලයෙක තිබෙන හකුරු කැබැල්ලේ වසා සිටින මැස්සා අනික් තලයට ගැසූ කල ඉගිලී යන්නේ එහි ඒකාබද්ධ බව නිසාය. එමෙන් රූපය චක්ෂුඃ ප්‍රසාදයේ හැපුණු කළ ඒ ප්‍රසාදය ඇසුරු කොටැ පවත්නා භූත රූප ද සැලෙන්නේ ක්‍රමයෙන් හෘදය වස්තු රූපය ද සැලෙන්නේය. එවිට එහි පවත්නා භවඞ්ග සන්තතිය ද සැලී සිඳී යන්නේය.

මධ්‍යයෙහි විශාල වීදුරු ටැඹක් හා අවට වීදුරු ටැම් පසක් ඇති ශාලායෙකි. අවට වීදුරු ටැඹෙහි වැද ගන්නා රූපච්ඡායාව මැද වීදුරු ටැඹෙහි ද වැද ගන්නාසේ චක්‍ෂුරාදි ද්වාරයන්හි වැද ගන්නා අරමුණ මනො ද්වාරයෙහි ද වැද ගන්නේය යනු මෙහිලා ඇතැම් මතයෙකි.

භවඞ්ග සන්තතිය චලනය කරන අරමුණු ගන්නා ද්වාර පසෙකි. එයින් කවර ද්වාරයෙකින් මේ චලනය වී දැ යි ආවර්ජනය කරන පංචද්වාරාවර්ජන චිත්තය ඉක්බිති වැ ඉපිද නිරුද්ධ වන්නේය. (මෙය අහේතුක ක්‍රියා චිත්තයෙකි.) තදනත්තරවැ ඒ රූපය දර්ශනය කරන චක්ඛුවිඤ්ඤාණ චිත්තය ද, ඒ රූපය ම පිළිගන්නා සම්පටිච්ඡන චිත්තයද, ඒ රූපය ම තීරණය කරන සන්තීරණ චිත්තය ද, එය ම ව්‍යවස්ථා කරන වොත්‍ථපන චිත්තය ද පිළිවෙලින් ඉපිද නිරුද්ධ වන්නේය.

මෙහි දු කිය යුත්තෙක් ඇත. ඒ අරමුණු වූ රූපය ඉෂ්ට එකක් නම් යථොක්ත චක්ඛුවිඤ්ඤාණ, සම්පටිච්ඡන සන්තීරණ කුශල විපාකය ය. එහි දු අති ඉෂ්ට නම් සන්තීරණය සෝමනස්ස සහගත ද වේ. ඒ අරමුණ අනිෂ්ට එකක් නම් යථොක්ත චක්ඛුවිඤ්ඤාණ, සම්පටිච්ඡන, සන්තීරණ අකුශල විපාකයි. වොත්‍ථපනය වනාහි ඉෂ්ට අනිෂ්ට දෙතන්හිම පඤ්චද්වාරාවර්ජනය මෙන්ම ක්‍රියා සිතෙකි. (චිත්ත පාදයේ අහේතුක සිත් බලනු.)

වොත්‍ථපනයට අනතුරු වැ ඒ රූපය ම අරමුණු කොට ගෙන එකුන්තිස් කාමාවචර ජවන් අතුරෙන් යම් කිසි ජවනයෙක් සත්වරෙක ඉපිද නිරුද්ධ වන්නේය. ඒ එසේ මැ යි. ඒ රූපය අයොනිසො මනසිකාරයෙන් ලෝභාදී වශයෙන් ගත්තු නම් අකුශල ජවන් දොළොසින් යම් කිසි ජවනයෙක් ද, යෝනිසො මනසිකාරයෙන් අලෝභාදී වශයෙන් ගත්තු නම් කාමාවචර කුශල ජවන අටින් යම් කිසි ජවනයෙක් ද, රහතන්ට නම් එහි ම ක්‍රියා ජවන නවය අතුරෙන් යම් කිසි ජවනයෙක් ද දිවේ.

ජවන් සිත ඉපිද නිරුද්ධ වූ කල්හි දු ඒ රූපය පිළිබඳ තව චිත්තක්ෂණ දෙක ආයුෂ ශේෂය. ඒ අරමුණු කොට ගෙන එකොළොස් තදාලම්බන අතුරෙන් එකක් දෙ වරෙක ඉපිද නිරුද්ධ වේ. එවිට ම රූපය ද නිරුද්ධ වේ. චිත්තය භවඞ්ග සන්තතියට බස්නේය. තදාලම්බන ද විපාක සිත් බව දත යුතුයි. ඒ පිළිබඳ නියමයෙක් මතු පාඩමෙක දැක්වේ.

මෙසේ චක්‍ෂුඃප්‍රසාදයේ හැපෙන්නට පළමු ඉකුත් වූ 1-චිත්තක්ෂණය, 2-භවඞ්ග චලන, 3-භවඞ්ගුපච්ඡේද පිළිබඳ ක්‍ෂණ දෙකය, 4-පඤ්චද්වාරාවර්ජන ක්‍ෂණය, 5-චක්ඛුවිඤ්ඤාණ ක්‍ෂණය, 6-සම්පටිච්ඡන ක්‍ෂණය, 7-සන්තීරණ ක්‍ෂණය, 8-වොත්‍ථපන ක්‍ෂණය, 9-10-11-12-13-14-15-ජවනක්‍ෂණ සතය, 16-17-තදාලම්බන ක්‍ෂණ දෙක ය යි රූපය පිළිබඳ ක්‍ෂණ සතළොස දත යුතුයි.

මේ චිත්ත වීථිය පැහැදිලි වැ අවබෝධ වනු සඳහා අම්බොපමාව දක්වනු ලැබේ.

එක් මිනිසෙක් ඵල දරන අඹ ගසක් යට හිස වසා පෙරවැ ගෙන නිදන්නේය. ආසනයෙහි අඹයෙක් වැටිණි. මිනිසා ඒ හඬින් පිබිද හිස වැසූ පොරෝනය ඉවත් කොටැ ඇස දල්වා බලා අඹය දැකැ එය ගෙන ඔබා සිඹැ පැසුණු බව දැනැ වළඳන්නේය. වළඳා අත්තයෙහි තලු ද මරා ගිලැ යලි දු හිස පෙරවැ නිදන්නේය. මිනිසා හිස වසා පෙරවැ ගෙන නිදන කාලය මෙනි භවඞ්ග කාලය. අඹය වැටුණු කාලය මෙනි රූපය චක්‍ෂුඃප්‍රසාදයේ හැපුණු කාලය. එයින් පිබිදි කාලය මෙනි පඤ්චද්වාරාවර්ජන කාලය. ඇස දල්වා බැලූ කාලය මෙනි සම්පටිච්ඡන කාලය. ඔබා බැලූ කාලය මෙනි සන්තීරණ කාලය. සිඹැ බැලූ කාලය මෙනි වොත්‍ථපන කාලය. වළඳන කාලය මෙනි ජවන කාලය. තලු මරා ගිලින කාලය මෙනි තදාරම්මණ කාලය. නැවැත හිස වසා පෙරවැ නිදන කාලය මෙනි යලි දු භවඞ්ග කාලය.

මේ ම තවත් පැහැදිලි වනු සඳහා වින්‍යාසයෙක් (සටහනෙක්) ද දක්වනු ලැබේ.

1. චක්ඛුද්වාරික අතිමහත්තාරමම්ණ චිත්ත වීථිය

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

ඡෙ

සං

තී

වො

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

මෙහි මුදුනේ රේඛාව රූපාරම්මණය දක්වනු සඳහා ය. තිත් තුන තුන එක මහා චිත්තක්‍ෂණයෙක පවත්නා උප්පාද, ඨිති, භඞ්ග යන කුඩා චිත්තක්‍ෂණ තුන සඳහා ය. තිත් පෙළ එකට ම ගෙන යායුතු වුව ද අවබෝධයට පහසු වනු පිණිස වෙන් කරන ලදි. භ-භවාඞ්ගය. (හෙද මෙහි අතීත භවඞ්ග යි) ල-භවඞ්ග චලනය. ඡෙ-භවඞ්ගුපච්ඡේදය. ප-පඤ්චද්වාරාවර්ජනය. ව-චක්ඛුවිඤ්ඤාණය. සං-සම්පටිච්ඡනය. තී-සන්තීරණය. වො-වොත්‍ථපනය, ජ-ජවන. ත-තදාලම්බන. හ-යළි දු භවඞ්ගය.

භවඞ්ග, භවඞ්ග චලනය, භවඞ්ගුපච්ඡේදයන්ට මේ රූපය නො වැ පූර්ව වූ කර්ම, කර්මනිමිති, ගතිනිමිති අතුරෙන් එකක් අරමුණු වන බව දත යුතු. දෙ පස යට කුඩා ඉරි කැබලි දෙක එය දක්වනු සඳහායි. තදාලම්බන තෙක් ම සිත් ඉපදීමට ආයුෂ ඇති බැවින් මෙය අතිමහන්තාරම්මණ චිත්ත වීථිය නම් විය. එ හෙයින් ම මෙයට තදාලම්බන වාරය යි ද කියනු ලැබේ.

සොතද්වාරික, ඝාණද්වාරික, ජිව්හද්වාරික, කායද්වාරික අතිමහන්තාරම්මණ චිත්ත වීථි ද මෙසේ ය. ශබ්ද, ගන්‍ධ, රස, ඵොට්ඨබ්බ අරමුණු කොට ගෙන මෙහි චක්ඛු විඤ්ඤාණය වෙනුවට සොතවිඤ්ඤාණ, ඝාණවිඤ්ඤාණ, ජිව්හාවිඤ්ඤාණ, කායවිඤ්ඤාණ ඉපදීම ම වෙනසි.

ප්‍රශ්න.

  1. රූපයක ආයුෂ කෙතෙක් ද? මහාචිත්තක්‍ෂණ වශයෙන් හා කුඩා චිත්තක්‍ෂණ වශයෙන් දක්වනු.
  2. චක්‍ෂුඃප්‍රසාදයේ රූපය හැපුණු විට හෘදය වස්තුවේ පැවැති සිත කෙසේ චලනය වේ ද? උදාහරණයෙකින් පැහැදිලි කරනු.
  3. අතිමහන්තාරම්මණ චිත්ත වීථියේ සටහනක් අඳිනු.
  4. අතිමහන්තාරම්මණ චිත්ත වීථිය පැවතෙන පිළිවෙල උදාහරණයෙකින් දක්වනු.
  5. අතිමහන්තාරම්මණ චිත්ත වීථියේ සිත් කර්ම විපාක ක්‍රියා වශයෙන් වෙන් කරනු.