6. පරිත්ත මනොද්වාරික චිත්ත වීථි.

මනොද්වාරික චිත්ත වීථි වනාහි පරිත්ත චිත්ත වීථිය, අර්පණා චිත්ත වීථිය යි දෙ වැදෑරුම් වේ. පරිත්ත චිත්ත වීථි නම් කාමාවචර චිත්ත වීථි ය. අර්පණා චිත්ත වීථි නම් රූපාවචර අරූපාවචර ලෝකෝත්තර චිත්ත වීථි යි. ඔවුන් අතුරෙන් මෙහි කාමාවචර මනොද්වාරික චිත්ත වීති දක්වනු ලැබේ. පඤ්චද්වාරික චිත්ත වීථි මුළුල්ල පරිත්ත ම බැවින් මේ භේදය එහි නො දැක්වුණු බව දත යුතු යි.

මනොද්වාරයෙහි අරමුණ ධර්මාරම්මණය යි. එය අතීත අනාගත කාලවිමුත්තාදි වශයෙන් ද පවත්නා බැවින් රූපාදියෙහි මෙන් එකචිත්තක්‍ෂණාතීත ද්විචිත්තක්‍ෂණාතීතකාදි භේද එහි නැත්තේය. ඇත්තේ විභූත අවිභූත භේදයයි. විභූත නම් තමහට ප්‍රකට වූ අරමුණය. අවිභූත නම් අප්‍රකට වූ අරමුණ යි.

1. විභූතාරම්මණයක් මනොද්වාරයට ආපාතගත වූයේ ය යි සලකනු. එවිට ම භවඞ්ග සන්තතිය සැලී සිඳෙන්නේය. සැලීමට පෙර සේ භවඞ්ග චලනය යි ද සිඳීමට භවඞ්ගුපච්ඡේදය යි ද කියති. (ඔවුන්ගේ අරමුණ කර්මාදීන් අතුරෙන් එකෙකි.) එවිට ම ඒ විභූතාරම්මණය අරමුණු කරමින් මනොද්වාරාවර්ජනය ඉපිද නිරුද්ධ වන්නේය. ඉක්බිති එම අරමුණු කරමින් ජවන් සත ඉපිද නිරුද්ධ වූ පසු තදාලම්බන දෙක උපදින්නේ ය. දෙවන තදාලම්බනයාගේ භඞ්ගක්‍ෂණය සමග ආරම්මණය නිරුද්ධ වේ. චිත්තය ද භවාඞ්ගයට බස්නේ යි. එහි වින්‍යාසය මෙසේ ය.

1. පරිත්ත මනොද්වාරික විභූතාලම්බන චිත්ත වීථිය

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

ඡෙ

භ-භවඞ්ගය. එය ද මෙහි අතීත භවඞ්ග යි. ල-භවඞ්ග චලනය. ඡෙ-භවඞ්ගුපච්ඡෙදය. ම-මනොද්වාරා වර්ජනය. ජ-ජවන. ත-තදාලම්බන.

යට වීථිවල පඤ්චද්වාරාවර්ජන ස්ථානයෙහි මනොද්වාරය යෙදී තිබෙන සැටි ද චක්ඛුවිඤ්ඤාණන සම්පටිච්ඡනාදිය නැති වැ ජවන යෙදී තිබෙන සැටි ද සලකනු. එසේ ම මනෝද්වාරාවර්ජනය ම වොත්‍ථපන කෘත්‍යය සිද්ධ කෙරේ ය යි කී බැව් ද සිහිකරනු.

මනොද්වාරයට අරමුණු ලැබීම පිළිබඳ ටීකානුගත මතයෙක් මෙහි දක්වනු ලැබේ. මනොද්වාර වනාහි මිශ්‍ර මනොද්වාරය. ශුද්ධමනොද්වාරය යි ද්විවිධ වේ. චක්‍ෂුරාදියෙහි ගැටෙන අරමුණ සිතට ද අරමුණු වේ. එවිට ඒ සිත මිශ්‍රමනොද්වාරය යි. චක්‍ෂුරාදියෙහි ගැටීමෙන් තොර වැ සිත ම අරමුණු ගන්නාවිට ඒ සිත ශුද්ධ මනොද්වාරය යි. ඒ ශුද්ධමනොද්වාරය ද පඤ්චද්වාරානුඛන්‍ධය විසුංසිද්ධය යි ද්විවිධ වේ. වර්තමාන රූපාදියක් අරමුණු කොට චක්‍ෂුර්ද්වාරිකාදි චිත්ත වීථි උපන් කල්හි ඒ රූපය ධම්මාරම්මණය වෙමින් නැවත සිය දහස් වර මනොද්වාරික චිත්ත වීථි නැවත පහළ වේ. ඝණ්ටාවට ගැසීමෙන් ලැබෙන ශබ්දයට අනුවැ නොයෙක් වර අනු රව සන්තතිය පවත්නා මෙනි. එය පඤ්චද්වාරානුඛන්‍ධ මනොද්වාර යි. එසේ පඤ්චද්වාරානුඛන්‍ධ නොවැ අරමුණු ලබන මනොද්වාරය විසු සිද්ධ මනොද්වාරය යි.

විසුංසිද්ධ මනොද්වාරය අරමුණු ලබන ආකාර කීපයෙකි. එනම් පෙර පඤ්චද්වාරයෙන් ගන්නා ලද අරමුණු වශයෙන් ඒ සමාන අරමුණු ලැබීම් වශයෙන්, අන්‍යයන්ගේ වචන ඇසීම් වශයෙන්, එසේ ඇසූ දෙයට සමාන දෙයක් වශයෙන් ඇදහීම් වශයෙන්, සිය කැමැති වශයෙන්, ආකාර පරිවිතර්ක වශයෙන්, දෘෂ්ටි වශයෙන්, නානා කර්මබල වශයෙන්, සෘද්ධිබල වශයෙන්, ධාතුක්‍ෂොභ වශයෙන්, දෙවතොපසංහාර වශයෙන්, අනුබොධ වශයෙන්, ප්‍රතිවෙධ වශයෙන් යනාදිය යි.

2. අවිභූතාලම්බනයෙක් මනොද්වාරයට ආපාතගත වූයේය යි සලකනු. එවිට ම භවඞ්ගචලන භවඞ්ගුපච්ඡෙද වැ ඒ අවිභූතාරම්මණය අරමුණු කරමින් මනොද්වාරාවර්ජන ජවන ඉපිද ඉක්බිති භවඞ්ග වේ. ආරම්මණය අවිභූත බැවින් තදාරම්මණ තාක් නො පවත්නේ ය. එහි වින්‍යාසය මෙසේය.

2. පරිත්ත මනොද්වාරික අවිභූතාලම්බන චිත්ත වීථිය.

...

....

...

...

....

...

...

....

...

...

....

...

...

....

...

...

....

ඡෙ

මෙහි ජවනාවසානයෙහි තදාලම්බන නො ඉපිදැ භවඞ්ග වූ සැටි බලනු.

මෙසේ පරිත්තමනොද්වාරික චිත්ත වීථින්හි මනොද්වාරාවර්ජන, ජවන, තදාලම්බනය යි සාමාන්‍යයෙන් වීථි සිත් තුනෙකි. විශේෂයෙන් මනොද්වාරාවර්ජනය, ජවන් සතය, තදාලම්බන දෙකය යි වීථි සිත් දශයෙකි. විස්තර වශයෙන් බලත් හොත් පඤ්චද්වාරික වීථිවලට අයත් පඤ්චද්වාරාවර්ජන, දෙ පස් විඤ්ඤාණ සම්පටිච්ඡන යුගල යන සිත් තෙළෙස හැරැ සෙසු කාමාවචර සිත් එක සාලිස (41) ලැබේ. කියන ලද මැ යි:

“වීථි චිත්තානි තීණෙව චිත්තුප්පාදා දසෙරිතා

විත්‍ථාරෙන පනෙත්‍ථෙක චත්තාලිස විභාවයෙ”

මෙහි වීථි සිත් තුනෙක් ද, චිත්තොත්පාද දසයෙක්ද කියන ලදි. විස්තර වශයෙන් එක් සාලිසක් කියන්නේ ය යනු භාව යි.

ඇතැම්හු පඤ්චද්වාරයෙහි මෙන් මනොද්වාරයෙහි ද තදාලම්බන වාර, ජවන වාර, වොත්‍ථපන වාර, මොඝ වාර ඇතැයි කියත්.

ප්‍රශ්න.

  1. මනොද්වාරික චිත්ත වීථි කී ආකාර ද? කවරහු ද?
  2. මනොද්වාරික විභූත චිත්ත වීථියෙක වින්‍යාසය දක්වනු.
  3. අවිභූත චිත්ත වීථියක් දක්වා එහි ජවන කෘත්‍යය විය හැකි සිත් මේ මේ ය යි දක්වනු.
  4. මනොද්වාරයට අරමුණු ලැබීමේ පිළිවෙල දක්වනු.
  5. පරිත්ත මනොද්වාරික වීථියෙක සාමාන්‍යයෙන් ද, විශේෂයෙන් ද, විස්තර වශයෙන් ද ඇතුළත් වන සිත් දක්වනු.