3. රූප භූමි හා අරූප භූමි.

චතුර්විධ භූමි අතුරෙන් අපාය භූමි හා කාමසුගති භූමි යට දක්වන ලදි. රූප භූමි හා අරූප භූමි මෙහි දක්වනු ලැබේ. රූප භූමි වනාහි 1 පඨමජ්ඣාන භූමි 2 දුතියජ්ඣාන භූමි 3 තතියජ්ඣාන භූමි 4 චතුත්‍ථජ්ඣාන භූමි යි චතුර්විධ වේ.

1 (අ) බ්‍රහ්මපාරිසජ්ජ (ආ) බ්‍රහ්මපුරෝහිත (ඉ) මහාබ්‍රහ්ම යන බඹලෝ තුන පඨමජ්ඣාන භූමි යි.

(අ) මහාබ්‍රහ්මයන්ගේ පිරිස වූ පරිවාරක බ්‍රහ්මයෝ බ්‍රහ්ම පාරිසජ්ජයෝය. (ආ) මහාබ්‍රහ්මයන්ගේ ඇමතියන් බඳු පුරෝහිත බ්‍රහ්මයෝ බ්‍රහ්ම පුරෝහිතයෝය. (ඉ) සහස්සබ්‍රහ්ම ද්විසහස්ස බ්‍රහ්මාදි මහත් වූ බ්‍රහ්මයෝ මහා බ්‍රහ්මයෝය. සක්වළ දහසකට අධිපති බ්‍රහ්ම සහස්ස බ්‍රහ්ම යි. සක්වළ දෙදහසකට අධිපති බ්‍රහ්ම ද්විසහස්ස බ්‍රහ්ම යි. මොවුන් අතුරෙන් බ්‍රහ්මපාරිසජ්ජයෝ හීන ය. බ්‍රහ්මපුරෝහිතයෝ මධ්‍යම ය. මහා බ්‍රහ්මයෝ ශ්‍රේෂ්ඨය. බ්‍රහ්මපාරිසජ්ජයන්ට ප්‍රකෘති බ්‍රහ්මපුරෝහිතයන් හෝ මහා බ්‍රහ්මයන් හෝ දැක්ක නො හැකිය. බ්‍රහ්මපුරෝහිතයන්ට ප්‍රකෘති මහාබ්‍රහ්මයන් දැක්ක නොහැකිය. ඔවුන්ගේ නිර්මිත රූප නම් දැක්ක හැකිය. ජ්වලිත ආලෝකයක් පහළ වීමෙන් මහාබ්‍රහ්ම පහළවූයේ ය යි සෙසු බ්‍රහ්මයන් දැනැ ගන්නා බව දක්වා තිබේ. ඔවුන් වසන භූමි ද එ නමින් ම දන්නා ලදි. මේ බඹලෝ තුන සම තලයෙහි පිහිටියේ ය.

2. පරිත්තාභ, අප්පමාණාභ, ආභස්සර යන බඹලෝ තුන දුතියජ්ඣාන භූමි යි.

පරිත්ත නම් ස්වල්ප, ආභා නම් ආලෝක. පරිත්ත ආභා ඇති බ්‍රහ්මයෝ පරිත්තාභයෝය. අප්‍රමාණ ආභා ඇති බ්‍රහ්මයෝ අප්පමාණාභයෝය. විහිදෙන ආභා ඇති බ්‍රහ්මයෝ ආභස්සරයෝය. මෙහි දු ආභස්සරයෝ අධිපතියෝය. පරිත්තාභයෝ හා අප්පමාණාභයෝ ඔවුන්ගේ පරිචාරිකයෝ ද පුරෝහිතයෝ ද වෙත්. ඔවුන්ගේ වාසභූමි ද එ නමින් කියන ලදි. මේ බඹලෝ තුන ද සම තලයෙහි පිහිටියේය.

3. පරිත්තසුභ, අප්පමාණසුභ, සුභකිණ්හ යන බඹලෝ තුන තතියජ්ඣාන භූමි යි.

පරිත්ත නම් ස්වල්ප. සුභා නම් එකඝන වූ නිශ්චල ආලෝක. පරිත්ත සුභා ඇති බ්‍රහ්මයෝ පරිත්ත සුභයෝය, අප්‍රමාණ සුභා ඇති බ්‍රහ්මයෝ අප්‍රමාණ සුභයෝය. සුභායෙන් ආකීර්ණ වූ බ්‍රහ්මයෝ සුභකිණ්හයෝය. මෙහි දු සුභකිණ්හයෝ අධිපතියෝය, පරිත්තසුභ හා අප්පමාණ සුභ ඔවුන්ගේ පරිචාරකයෝ ද පුරෝහිතයෝ ද වෙත්. ඔවුන් වස තැන් ද එ නමින් කියන ලදි. මේ තුන ද සම තලයෙහි පිිහිටියේය.

4. (අ) වෙහප්ඵල, (ආ) අසඤ්ඤසත්ත හා (ඉ) සුද්ධාවාස චතුත්‍ථජ්ඣාන භූමි යි.

(අ) වෘහත්-මහත් ඵල ඇති බ්‍රහ්මයෝ වෙහප්ඵලයෝය. ධ්‍යාන ප්‍රභාවයෙන් නිපන් විපුල ඵල ඔවුනට ඇති බැවිනි. (ආ) මෙහි සඤ්ඤා නම්, වෙදනා සඤ්ඤා සංඛාර විඤ්ඤාණ යන නාම ස්කන්‍ධ සතරය. එය නැති සත්ත්‍වයෝ අසඤ්ඤසත්තයෝය. අසඤ්ඤසත්ත බ්‍රහ්මයන්ට ඇත්තේ රූපස්කන්‍ධය පමණෙකි. මේ බ්‍රහ්මයන් වසන තැන් ද එ නමින් කියන ලදි. වෙහප්ඵලය හා අසඤ්ඤසත්තය සම තලයෙහි පිහිටියේය.

(ඉ) කාමරාග - පටිඝ රහිතයෝ සුද්ධයෝ ය. එනම් අනාගාමි හා රහත්හු යි. ඔවුන්ගේ ආවාස-භූමි සුද්ධාවාස යි සුද්ධාවාසයෙහි අනාගාමි හා අරහන්ත බ්‍රහ්මරාජයෝ ම වෙසෙත්. සුද්ධාවාස වනාහි අවිහ, අතප්ප, සුදස්සී, අකනිට්ඨය යි පසෙකි. ඒ තල වසයෙන්ද පසෙක්මය. මද කලෙකින් ස්වකීය ස්ථාන නොහරින්නෝ යන අර්ථයෙන් අවිහය යි ද කිසි තැවුලියක් නැත්තෝ යන අර්ථයෙන් අතප්පය යි ද පිරිසිදු ප්‍රසාද, දිව්‍ය, ධර්ම, ප්‍රඥා චක්‍ෂුසින් බලන්නෝ යන අර්ථයෙන් සුදස්සය යි ද එයිනුදු අධික වැ බලන්නෝ යන අර්ථයෙන් සුදස්සිය යි ද රූපීන් වශයෙන් තමන් කිසිවෙකුට කනිෂ්ඨ-බාලනොවන්නෝ යන අර්ථයෙන් අකනිට්ඨකය යි ද කියනු ලැබෙත්. ඔවුන් වසන තැන් ද එ නමින් ම ව්‍යවහෘත ය.

මෙහි රූපාවචර භූමි සොළොස දක්වන ලද බව දත යුතුයි.

4. අරූපාවචරභූමි ද වනාහි ආකාසානඤ්චායතන, විඤ්ඤාණඤ්චායතන, ආකිඤ්චඤ්ඤායතන, නේවසඤ්ඤානාසඤ්ඤායතන යි චතුර්විධ වේ.

ආකාසානඤ්චායතනය යි කියනු ලබන ස්කන්‍ධ සතර යම් ආකාශ ප්‍රදේශයක පැතිර පවත්නේ ද ඒ ස්කන්‍ධ සහිත වූ ආකාශ ප්‍රදේශය ආකාසනඤ්චායතනය යි. සෙස්ස ද මෙසේ යි. මෙයින් අරූප භූමි සතර කියන ලදි.

මෙසේ සියලු භූමි එකතු කළ කල්හි 31 කි.

අපාය භූමි

4

කාමසුගති භූමි

7

රූපාවචර භූමි

16

අරූපාවචර භූමි

4

සියල්ල

31

මේ භූමි අතුරෙන් පඤ්චසුද්ධාවාසයෙහි පුථුජ්ජනයෝ ද සෝතාපන්න සකදාගාමිහු ද නැති එහි අනාගාමි හා අරහන්තයෝ වෙත්, සතර අපායෙහි ද අසඤ්ඤතලයෙහි ද ආර්යයෝ නැති. සෙසු භූමින්හි ආර්යයෝ ද පෘථග්ජනයෝ ද වෙත්.

“පුථුජ්ජනා න ලබ්භන්ති සුද්ධාවාසෙසු සබ්බථා

සොතාපන්නා ව සකදාගාමිනො වා පි පුග්ගලා,

අරියානොපලබ්භන්ති අසඤ්ඤාපාය භූමිසු

සෙසට්ඨානෙසු ලබ්භන්තී අරියා’නරියාපි ච”

සුද්ධාවාස භූමින්හි පෘථග්ජනයෝ ද සෝවාන් සකෘදාගාමි පුද්ගලයෝ ද නොලැබෙති. අසංඥතලයෙහි හා අපායභූමින්හි ආර්යයෝ නො ලැබෙති. සෙසු තන්හි ආර්යයෝ ද අනාර්යයෝ ද ලැබෙත්.

ප්‍රශ්න.

  1. භූමි කෙතෙක් ද? කවරහු ද?
  2. අපාය භූමි පිළිබඳ විස්තරයක් දක්වනු.
  3. කාමසුගති භූමි කෙතෙක් ද? කවරහුද?
  4. රූපාවචර භූමි සොළොස හා ඒ පිළිබඳ විස්තරය දක්වනු.
  5. අරූපාවචර භූමි දක්වා සියලු භූමිවල වසන සත්ත්‍වයන් පිළිබඳ විවේචනයක් කරනු.