4. චතුර්විධ ප්‍රතිසන්‍ධි

දෙවන තුන් වන පාඩම් වලින් භූමි පිළිබඳ විභාගය දක්වන ලදි. මෙහි ඒ භූමින්හි හටගන්නා ප්‍රතිසන්‍ධි සම්බන්‍ධ විනිශ්චය දක්වනු ලැබේ.

ප්‍රතිසන්‍ධි වනාහි 1 අපාය ප්‍රතිසන්‍ධි, 2 කාමසුගති ප්‍රතිසන්‍ධි 3 රූපාවචර ප්‍රතිසන්‍ධි, 4 අරූපාවචර ප්‍රතිසන්‍ධි ය යි චතුර්විධ වේ. ප්‍රකීර්ණක පාදයෙහි දැක්වුණු ප්‍රතිසන්‍ධි කෘත්‍ය කරන සිත් 19 බලනු. ප්‍රතිසන්‍ධි කෘත්‍ය කරන සිත් ම භවංග චුති කෘත්‍ය කරන බව සලකනු.

1 යට දැක්වුණු සතර අපාය භූමින්හි පිළිසිඳ ගන්නා සිත අපාය ප්‍රතිසන්ධි යි. ඒ වනාහි එකෙක්ම ය. එනම් අකුසල විපාක උපෙක්ඛා සහගත සන්තීරණය යි. සතර අපායෙහි උපදින්නෝ මේ සිතින්ම උපදිති. අන්‍ය සිතකින් නූපදිති. එහි භවඞ්ග වන්නේත් අවසානයෙහි චුති වන්නේත් මේමැ යි.

2. යට දැක්වුණු සප්ත කාමස්වර්ගයෙහි පිළිසිඳ ගන්නා සිත් කාම සුගති ප්‍රතිසන්ධියි. ඔවුහු වනාහි නවයෙකි. එනම් කුසල විපාක උපෙක්ඛා සහගත සන්තීරණය හා මහා විපාක අට ය.

මෙයින් මුල දැක්වූ කුසල විපාක උපෙක්ඛා සහගත සන්තීරණ සිතින් මනුෂ්‍යයන් සම්බන්ධ ජාත්‍යන්ධ ජාතිබධිර ජාත්‍යඝ්‍රාණ ජාතිමුග ජාතිඵල ජාත්‍යුන්මත්ත පණ්ඩක උභතො බ්‍යඤ්ජනක නපුංසක මම්මනාදීණ්ගේ ද බූමාටු දෙවියන් සම්බන්‍ධ ඇතැම් විනිපාතික අසුරයන්ගේ ද ප්‍රතිසන්ධිය වන්නේය.

චක්‍ෂුඃ ප්‍රශාදය උපදවන්නට අසමර්ථ කර්මයකින් පිළිසිඳ ගන්නෝ ජාත්‍යන්ධයෝය. එබදු කර්මයකින් පිළිසිඳ ගත්තවුන්ට ප්‍රශාදරූප පහළ විය යුතු කාලයෙහි අන්‍ය කර්මයකින් හෝ චක්‍ෂුඃප්‍රසාද රූපය පහළ නො වේ. උත්පත්තියෙන් ම අන්ධයෝ යයි කී සේයි. එසේම උත්පත්තියෙන්ම බිහිරෝ ජාති බධිරයෝ ය. උත්පත්තියෙන් ම නාසිකාව නැත්තෝ ජාත්‍යඝ්‍රාණයෝ ය. උත්පත්තියෙන්ම ගොළුවෝ ජාති මුගයෝය. දිශා විදිශා ව්‍යවහාර මාත්‍රය පවා නොදන්නෝ ජාතිඵලයෝය. හැම කල්හිම උමතුවෝ ජාත්‍යුන්මත්තකයෝය. කාම හේතුයෙන් ආසිත්තාදි වශයෙන් විප්‍රකාර ක්‍රියා කරන්නෝ පණ්ඩකයෝය. ස්ත්‍රී පුරුෂ බ්‍යඤ්ජන ද්වයයෙන් ම යුක්ත වූවෝ උභතො බ්‍යඤ්ජනකයෝය. ඒ දෙකින් ම විරහිත වූවෝ නපුංසකයෝය. එක වචනය ගලමින් දෙතුන් වර කියන වික්කලුවෝ මම්මනයෝ ය. මොවුන්ගේ මනුෂ්‍යත්‍වය කුශලයෙන් වුව ද අඞ්ග විකලත්‍වය අහේතුක භාවයෙන් සිද්ධ යි.

බූමාටු දෙවියන් සම්බන්ධ ඇතැම් විනිපාතික අසුරයෝ නම් ආලවක සාතාගිර හේමවතාදීන් මෙන් වෘක්‍ෂ පර්වත නිශ්‍රිත විමානයන්හි අධිගෘහිත වැ වසන බලසම්පන්න යක්‍ෂයන්ගේ පරිවාරක වූ දුක සේ දිවි පවත්වන අමනුෂ්‍යයෝය. ඔවුහු බොහෝ සෙයින් ගම්හි හෝ ගම් අසල වෘක්‍ෂ ගුම්බ ලෙන් ගුහා සොහොන් ආදියෙහි වසමින් මිනිසුන් දමන බත් කැවුම් මස් ආදිය සොයා කමින් ළදරුවන් හා ගිලනුන් පෙළමින් සෙසු දුර්බල මිනිසුන් හෝ බියගන්වමින් දිවි පවත්වති. මොවුන් අතර ඇතැම් විට ප්‍රියඞ්කර මාතෘ උත්තර මාතෘ ආදීන් මෙන් ත්‍රිහේතුකයෝ ද වෙති. මෙහිලා ඇතැම් දුර්වල යක්‍ෂයෝ ද රාක්‍ෂසයෝ ද විමාන ප්‍රේතයෝ ද පරදත්තූප ජීවිහු ද ගත යුතු මොවුන්ගේ දෙවත්‍වය කුශලයෙන් වුව ද නීචත්‍වය අහේතුක භාවයෙන් සිද්ධ ය. ප්‍රතිසන්‍ධියෙන් ලැබෙන භවඞ්ග ද අවසානයෙහි ලැබෙන චුතිය ද පෙර කී න්‍යායෙන්ම දතයුතු.

මහා විපාක අටින් සප්තකාම ස්වර්ගයෙහි ම ප්‍රතිසන්ධි වන්නේය. එයින් සතරෙක් ද්විහේතුකය. සතරෙක් ත්‍රිහේතුක ද්විහේතුකයෝ රූපයෙන් හා ධනයෙන් යුක්ත වුව ද ඥානයෙන් දුබල වෙති. ත්‍රිහේතුකයෝ සර්වසම්පූර්ණ වෙත්.

මුල දැක්වුණු අකුශල විපාක ප්‍රතිසන්ධිය ද මෙහි දැක්වුණු නව ප්‍රතිසන්ධිය ද එක් කොටැ කාමාවචර ප්‍රතිසන්ධි දශයෙකැයි දත යුතු. සියල්ල කාමලෝකයෙහි ඇතුළත් බැවිනි.

මේ කාමාවචර භූමින්හි පිළිසිඳ ගන්නා සත්ත්‍වයන්ගේ ආයු විභාගය මෙසේ දත යුතු.

සතර අපායික සත්ත්‍වයන්ගේ ද මනුෂ්‍යයන්ගේ හා විනිපාතික අසුරයන්ගේ ද ආයුඃ ප්‍රමාණය මෙතෙකැ යි භූමිවශයෙන් නියම නැත. ඔවුන් කර්ම වශයෙන්ම ජීවත් වන බැවිනි. ඒ එසේ මැ යි. ඇතැම්හු අපායෙන් සතියකින් චුත වෙති. ඇතැම්හු කල්පයක් පමන වෙසෙති. නිරය පිළිබඳ අබ්බුද නිරබ්බුදාදි වශයෙන් වදාළ නියමය කර්ම වශයෙන් සිද්ධය යි දත යුතු. මනුෂ්‍යයන්ගේ ද ආයුෂ භූමි වශයෙන් නියම නැත. හෙද දඹදිව්වැසි මනුෂ්‍යයන්ගේ ය. උතුරුකුරු දිවයින් වැසියන්ට අවුරුදු දහයෙක් ද සෙසු දිවයින් දෙකට පන්සියය පන්සියය ද නියම ය. දඹදිව වැස්සන්ගේ ආයුෂ කලෙක දස අවුරුද්දට බසියි. කලෙක අසංඛයට නගියි. ඔවුන්ගේ සම විසම පැවතුම් ඇති බැවිනි. “යාචිරංජීවති සොවස්සසතං ජීවති අප්පංවාහීයො දුතියං වස්සසතං න පාපුනාති” යමෙක් බොහෝ කල් ජීවත් වන්නේ නම් සියක් වසක් හෝ ඉන් ස්වල්පයක් වැඩිය හෝ ජීවත් වන්නේ ය. දෙසිය වසට නො පැමිණෙන්නේය යි වදාළේ වර්තමාන කාලය සඳහාය යි දතයුතු.

අල්පේශාක්‍ය වූ හෝ මහේශාක්‍ය වූ හෝ බූමාටු දෙවියන්ගේ හා විමාන ප්‍රේතාදීන්ගේ ද ආයුෂ මෙතෙකැ යි නියම නැති. ඔවුන් අතුරෙනු දු ඇතැම්හු මඳ කලකින් මියති. ඇතැම්හු දීර්ඝ කාලයක් ජීවත් වෙත්.

චාතුර්මහාරාජික දෙවියන්ට දිව්‍ය වර්ෂ පන්සියයෙක් භූමි වශයෙන්ම ආයුෂ වේ. ඒ මෙසේ යි. මනුෂ්‍ය වර්ෂ පනසෙක් එහි එක අහොරාත්‍රයෙකි. එබදු අහොරත්‍ර තිසෙක් මාසායෙකි. ඒ මාස දොළොසෙක් වර්ෂයෙකි. එබඳු වර්ෂ පන්සියෙක් එහි ආයුෂයි. මෙය මිනිස් ගණනින් හව්රුදු නවලක්‍ෂයෙකි.

තාවතිංසාදීන්ට මෙය දෙ ආකාරයකින් දියුණු වේ. ඒ මෙසේ ය. මිනිස් වර්ෂ සියයෙක් තාවතිංස දෙවියන්ට එක අහොරාත්‍රයෙකි. එබඳු අහොරාත්‍ර තිසෙක් මසෙකි. එබඳු මාස දොළොසෙක් වර්ෂයෙකි. එබදු වර්ෂ දහසෙක් තාවතිංස දෙවියන්ට ආයුෂ යි. මෙය මිනිස් ගණනින් තුන්කෙළ සැටලක්‍ෂයෙකි.

යාම දෙවියන්ට මිනිස් වර්ෂ දෙසියයෙක් එක අහොරාත්‍රයෙකි. එබඳු අහොරාත්‍ර තිසෙක් මසෙකි. එබඳු මාස දොළොසෙක් වර්ෂයෙකි. එබඳු වර්ෂ දෙදහසෙක් එහි ආයුෂයි.

තුසිත දෙවියන්ට මිනිස් වර්ෂ සාරසියයෙක් එක අහොරාත්‍රයෙකි. එබඳු අහොරාත්‍ර තිසෙක් මසකි. එබඳු මාස දොළොසෙක් වර්ෂයෙකි. එබඳු වර්ෂ සාරදහසෙක් එහි ආයුෂ යි.

නිම්මාණරති දෙවියන්ට මිනිස් වර්ෂ අටසියයෙක් එක අහොරාත්‍රයෙකි. එබඳු අහොරාත්‍ර තිසෙක් මසෙකි. එබඳු මාස දොළොසෙක් වර්ෂයෙකි. එබඳු වර්ෂ අටදහසෙක් එහි ආයුෂ යි.

පරනිම්මිත වසවත්ති දෙවියන්ට මිනිස් වර්ෂ එක් දහස් හයසියයෙක් එක අහොරාත්‍රයෙකි. එබඳු අහොරාත්‍ර තිසෙක් මසෙකි. එබඳු මාස දොළොසෙක් වර්ෂයෙකි. එබඳු වර්ෂ සොළොස් දහසෙක් එහි ආයුෂ යි. මෙය මිනිස් ගණනින් අවුරුදු නවසිය විසිඑක් කෝටි හැට ලක්‍ෂය යි.

ප්‍රශ්න.

  1. ප්‍රතිසන්ධි කී වැදෑරුම් ද? කවරහුද?
  2. සතර අපායෙහි පිළිසිඳ ගන්නෝ කවර සිතකින් පිළිසිඳ ගනිත් ද?
  3. කාමසුගති ප්‍රතිසන්ධි නවය දක්වනු.
  4. කුසල විපාක උපෙක්ඛා සහගත සන්තීරණයෙන් කොහි කෙබඳු වැ උපදිත් ද?
  5. කාම භූමිවල ආයු නියමය දක්වනු.