5. රූපාවචර අරූපාවචර ප්‍රතිසන්ධි

අපාය ප්‍රතිසන්ධි හා කාමසුගති ප්‍රතිසන්ධි යට පාඩම්හි දක්වන ලදි. මෙහි රූපාවචර අරූපාවචර ප්‍රතිසන්ධි දක්වනු ලැබේ.

පඨමජ්ඣාන විපාක චිත්තය ප්‍රථමධ්‍යාන භූමියෙහි ප්‍රතිසන්ධි වන්නේය. පසු වැ භවඞ්ග වශයෙන් පැවැත අවසානයෙහි චුති වන්නේය. ප්‍රථම ධ්‍යාන භූමි නම් බ්‍රහ්ම පාරිසජ්ජ, බ්‍රහ්ම පුරොහිත, මහාබ්‍රහ්ම යි.

දුතියජ්ඣාන විපාක චිත්තය හා තතියජ්ඣාන විපාක චිත්තය ද්විතීය ධ්‍යාන භූමියෙහි ප්‍රතිසන්ධි වැ පසු වැ භවඞ්ග වශයෙන් පැවැත අවසානයෙහි චුති වන්නේය. ඖදාරික වූ විතර්කය නැති බැවින් ද්විතීයධ්‍යාන විපාක චිත්තය ප්‍රථමධ්‍යාන විපාක චිත්තයට වඩා බලවත්ය. තෘතීයධ්‍යානයට වඩා අති දුර්බල ද නොවේ. එබැවින් ඒ උභය විපාක ම දුතියජ්ඣාන භූමියෙහි ප්‍රතිසන්ධි වේ. මෙහි විපාක පඤ්චකනය වශයෙන් ද භූමි චතුෂ්කනය වශයෙන්ද දක්වන ලද බව සැලකිය යුතුයි. ද්විතීයධ්‍යාන භූමි නම් පරිත්තාභ අප්පමාණාභ ආභස්සර යි.

චතුත්‍ථජ්ඣාන විපාක චිත්තය තෘතීය ධ්‍යාන භූමියෙහි ප්‍රතිසන්ධි භවඞ්ග චුති වන්නේය. තෘතීය ධ්‍යාන භූමි නම් පරිත්තසුභ, අප්පමාණ සුභ, සුභකිණ්ණක යි.

පඤ්චමජ්ඣාන විපාක චිත්තය චතුර්ථ ධ්‍යාන භූමියෙහි ප්‍රතිසන්ධි භවඞ්ග චුති වන්නේය. චතුර්ථධ්‍යාන භූමි නම් වෙහප්ඵල අසඤ්ඤසත්ත සුද්ධාවාස යි. මෙයින් අසඤ්ඤසත්ත බඹුනට ප්‍රතිසන්ධි වන්නේ රූපය පමණෙකි. එබැවින් ඔවුන්ට ප්‍රවෘත්ති කාලයෙහි ද චුති කාලයෙහි ද රූපය ම පැවැත නිරුද්ධ වන්නේය. එවිට රූපාවචර ප්‍රතිසන්ධි සයෙකි.

මේ රූපී බ්‍රහ්මයන්ගේ ආයු පරිච්ඡේදය ද මෙසේ දතයුතු යි.

බ්‍රහ්මපාරිසජ්ජයන්ගේ පරමායුෂය කල්පයෙන් තුනින් කොටසෙකි. එ ද අසංඛ්‍ය කල්පයෙනි.

කල්ප වනාහි මහාකල්ප අසඞ්ඛ්‍යකල්ප අන්තරකල්ප ආයුඃකල්ප යයි චතුර්විධ වේ. මහාකල්ප නම් අසඞ්ඛ්‍යකල්ප සතරෙකි. අසඞ්ඛ්‍යකල්පය සංවට්ට සංවට්ටට්ඨායි විවට්ට විවට්ටට්ඨාය යි සතර වැදෑරුම් වේ. ලෝකය විනාශ වෙමින් පවත්නා කාලය සංවට්ට අසංඛ්‍ය කල්පයයි. විනාශ වැ පවත්නා කාලය සංවට්ටාට්ඨායි අසඞ්ඛ්‍ය කල්පය යි. ලෝකය වැඩෙමින් පවත්නා කාලය විවට්ට අසංඛ්‍ය කල්පයයි. වැඩී පවත්නා කාලය විවට්ටට්ඨායි අසංඛ්‍ය කල්පය යි. විවට්ටට්ඨායි අසඞ්ඛ්‍ය කල්පයෙහි වර්ෂ අසංඛ්‍යයේ පටන් දසය දක්වා පිරිහී නැවත දසයේ පටන් අසඞ්ඛ්‍ය දක්වා වැඩෙන කාලය අන්තර කල්පයෙකි. මෙය චූල කල්පය යි ද කියනු ලැබේ. එබඳු අන්තර කල්ප සූසැටෙක් එක අසංඛ්‍ය කල්පයෙකි. අසූවෙකැයි ඇතැම්හු කියත්. වෛදිකයෝ අන්තර කල්ප තුදුසෙක් එක් අසංඛ්‍ය කල්පයෙකැ යි කියති. එක් එක් සත්ත්‍වයෙකුට නියත ආයු කාලය ආයුෂ්කල්පය යි.

මේ කල්ප විනාශ වීමේ දී පිළිවෙලින් සත් වරක් ගින්නෙන් විනාශ වැ අටවන වර ජලයෙන් විනාශ වේ. නැවත සත්වරක් ගින්නෙන් විනාශ වැ අටවන වර ජලයෙන් විනාශ වේ. මෙසේ සැටසතර පිරිහීමෙහි දී වාතයෙන් විනාශ වන්නේය.

ගින්නෙන් වන කල්ප විනාශය ආභස්සර බඹලොවින් යටද, ජලයෙන් වන විනාශය සුභකිණ්ණ බඹලොවින් යට ද, වාතයෙන් වන විනාශය වෙහප්ඵල බඹලොවින් යට ද වේ.

කියන ලද මැයි:-

“සත්ත’සත්තග්ගිනා ද්වාරා අට්ඨමෙ අට්ඨමෙ දකා

චතුසට්ඨි යදා පුණ්ණා එකො වායුවරො සියා

අග්ගිනාභස්සරා හෙට්ඨා ආපෙන සුභකිණ්ණතො

වෙහප්ඵලතො වාතෙන එවං ලොකො විනස්සති”

අර්ථ සුගම යි.

බ්‍රහ්මපුරොහිතයන්ගේ ආයුෂ අසංඛ්‍යකල්පයෙන් අර්ධයෙකි. මහාබ්‍රහ්මයන්ගේ ආයුෂ එක් අසඞ්ඛ්‍යකල්පයෙකි. පරිත්තාභ බඹුන්ට මහාකල්ප දෙකෙකි. අප්පමාණාභයන්ට සතරෙකි. ආභස්සරයන්ට අටෙකි. පරිත්තසුභයන්ට සොළොසෙකි. අප්පමාණසුභයන්ට දෙතිසෙකි. සුභකිණ්ණයන්ට සූසැටෙකි. වෙහප්ඵලයන්ට හා අසඤ්ඤසත්තයන්ට මහාකල්ප පන්සියෙකි. අවිහයන්ට දහසෙකි. අතප්පයන්ට දෙදහසෙකි. සුදස්සයන්ට සාරදහසෙකි. සුදස්සීන්ට අටදහසෙකි. අකනිට්ඨකයන්ට සොළොස් දහසෙකි.

ආකාසානඤ්චායතන විපාක චිත්තය ආකාසානඤ්චායතන භූමියෙහි ද, විඤ්ඤාණඤ්චායතන විපාකචිත්තය විඤ්ඤාණඤ්චායතන භූමියෙහි ද, ආකිඤ්චඤ්ඤායතන විපාක චිත්තය ආකිඤ්ඤයතන භූමියෙහිද, නේවසඤ්ඤානාසඤ්ඤායතන විපාක චිත්තය, නේවසඤ්ඤානාසඤ්ඤායතන භූමියෙහි ද ප්‍රතිසන්‍ධි භවඞ්ග චුතිවශයෙන් පවත්නේය.

එහිදු ආකාසානඤ්චායතන බඹුන්ට මහාකල්ප විසිදහසෙක් ද, විඤ්ඤාණඤ්චායතන බඹුන්ට සතළිස් දහසෙක් ද ආකිඤ්චඤ්ඤායතන බඹුන්ට සැටදහසෙක් ද, නේවසඤ්ඤානාසඤ්ඤායතන බඹුන්ට සුවාසූ දහසෙක් ද ආයුෂ වන්නේ ය.

“පටිසන්‍ධිභවඞ්ගඤ්ච තථා වචනමානසං

එකමෙව තථෙවෙක විසයං චෙකජාතියං”

ප්‍රතිසන්ධි සිත ද භවඞ්ග සිත ද චුති සිත ද එක ජාතියෙහි කර්ම කර්මනිමිති ගතිනිමිතීන් අතුරෙන් එකකම අරමුණු කොට ඇති එක ම සිතෙකි. එ බෙහෙත ම දෙවයි වෙදා කී කල්හි දුන් බෙහෙත ම නො වැ ඒ සමාන ම බෙහෙතක් දෙන්නා සේ එක ම සිත යයි කී කල්හි ඒ සමානම සිතක් බව ගන්නේය.

ප්‍රශ්න.

  1. පඨමජ්ඣාන විපාකය කො තැන්හි ප්‍රතිසන්‍ධි වන්නේද?
  2. ද්විතීයධ්‍යාන භූමියෙහි ප්‍රතිසන්ධි කිමෙක් ද එයට හේතු දක්වනු.
  3. රූපප්‍රතිසන්ධි කොහි ලැබේ ද?
  4. රූපාරූපභූමින්හි ආයු නියමය දක්වනු.
  5. කල්ප පිළිබඳ විස්තරයක් දෙනු.