2. රූප සමුද්දේශය (සතර මහාභූතරූප)

පඨවිධාතු ආපොධාතු තෙජොධාතු වායොධාතු යන සතර, මහාභූතරූපයෝ ය යි යට කියන ලදි. මොවුන්ට මහාභූත යන නාමය (අ) මහන්ත පාතුභාව, (ආ) මහාභූත සාමාන්‍ය, (ඉ) මහාපරිහාර (ඊ) මහා විකාර, (උ) මහන්ත භූත යන අර්ථ පඤ්චකය වශයෙන් ලැබේ.

(අ) මහත් වැ පහළ වන්නෝ මහාභූතයෝ ය. අනුපාදින්නක වශයෙන් චක්‍රවාට පර්වත පෘථිවි සන්‍ධාරක ජල, ජල සන්‍ධාරක වායු ආදී වැ ද උපාදින්නක වශයෙන් මත්ස්‍ය කච්ඡප දෙව දානවාදී වැ ද මොව්හු මහත් වැ පහළ වෙති. එබැවින් “මහන්තානි හුත්වා භවන්ති පාතුභවන්තීති මහා භූතානි” යනු වශයෙන් මහාභූත නම් වෙති.

(අ) මහාභූත බඳු වූවෝ මහා භූතයෝ ය. මායාකාර යක්‍ෂ යක්‍ෂීහු ලොව මහාභූතයෝ ය. මායාකාරයෝ නො රන් ආදිය රන් ආදි කොට දක්වති. එ මෙන් මොව්හු තුමූ නො නිල්වන් ආදිය නිල්වන් ආදි කොට දක්වති. යක්ෂයෝ යමෙකුට ආවේශ වූ නම් ඌ ඔහුගේ ඇතුළ පිට කො තැන ඇත් දැයි සොයා ගත නො හැකි ය. එමෙන් මොව්හු ඔවුනොවුන් පිළිබඳ ඇතුළ පිට කොතැන ඇත් දැයි සොයා ගත නො හැකි ය. යක්‍ෂීහු ස්වකීය බිහිසුණු බව වළහා නානා සිත්කලු වෙසින් මිනිසුන් මුළා කරති. එමෙන් මොව්හු ද ස්වකීය කර්කශත්‍වාදි ගුණ වළහා නානා සිත්කලු ලෙසින් ලොව මුළා කරති. මෙසේ මායාකාර යක්‍ෂ යක්‍ෂී සඞ්ඛ්‍යාත මහාභූතයන් බඳු බැවින් මේ සතර “මහාභූත සාමඤ්ඤානි මහාභූතානි” යන වශයෙන් මහා භූත නම් වේ.

(ඉ) මහත් වූ ප්‍රත්‍යයයෙන් පරිහරණය කටයුත්තෝ මහා භූතයෝ ය. මොව්හු දිනපතා යොදනු ලබන සාසච්ඡාදනාදි (කෑම ඇඳීම් ආදී) ප්‍රත්‍යයයෙන් පවත්නෝ ය. එබැවින් “මහාපරිහාරානි භූතානි මහාභූතානි” යනු වශයෙන් මහාභූත නම් වෙති.

(ඊ) මහත් වූ විකාර ඇත්තෝ මහාභූතයෝ ය. අනුපාදින්න උපාදින්න සියලු මහාභූතයෝ විකාරයට පත් වෙති. කල්පාන්තයෙහි අනුපාදින්නයන්ගේ ද ධාතුක්‍ෂොභයෙහි උපාදින්නයන්ගේ ද විකාර මහත්ත්‍වය ප්‍රකට ය. මෙ සේ “මහා විකාරාති භූතානි මහාභූතානි” යනු වශයෙන් මහාභූත නම් වෙති.

(උ) මහත් වූ ව්‍යායාමයෙන් පරිග්‍රහණය කළ යුත්තෝ මහාභූතයෝ ය. මොව්හු මහත් ව්‍යායාමයෙන් පරිග්‍රහ කළ යුතු බැවින් “මහතා වායාමෙන පරිග්ගහෙතබ්බත්තා භූතානි විජ්ජමානත්තා මහා භූතානි” යනු වශයෙන් මහා භූත නම් වෙත්.

ඔවුන්ගේ ලක්‍ෂණාදිය මෙ සේ දත යුතු.

1. පඨවි ධාතු.

පඨවි නම් කවර දෙයක හෝ පවත්නා කැකුලු බවය-තද ගතිය. ධාතු නම් සත්ත්‍ව ජීව නොවූ මූල ස්වභාවය. ඉන්‍ද්‍රිය අනින්‍ද්‍රිය ප්‍රතිබද්ධ කො තැන්හි හෝ පවත්නා යම් තද බවෙක් ඇත්නම් එය පඨවි ධාතු රූපය යි දත යුතු. මෙය ඇතැම් තැනෙක ලක්ඛණ පඨවි යන නමින් හඳුන්වනු ලැබේ. එ බැවින්ම පඨවි ශබ්දයෙන් සසම්භාර පඨවි ආරම්මණ පඨවි සම්මති පඨවි ලක්ඛණ පඨවී යන අර්ථ සතරක් වාච්‍ය වන බව දත යුතු.

පඨවිංඛණෙය්‍ය” පොළොව සාරානම් යන මෙහි පඨවි ශබ්දයෙන් කියවෙන්නේ සසම්භාර පඨවිය යි. සසම්භාර පඨවි නම් වර්ණාදි සෙසු රූපයන් සමග මිශ්‍ර වූ ගස් වැල් ආදි යට ආධාර වූ මේ මහපොළොව යි. පඨවි කසිණය යි කී කල්හි ගැනෙන්නේ ආරම්මණ පඨවිය යි. මෙහි පඨවි ශබ්දයෙන් කසිණාරම්මණ මාත්‍රය කියැවේ. පඨවි දේවතාය යි කී කල්හි සම්මති පඨවිය කියවේ. පඨවි කසිණය වඩා බඹලොව උපන්නෝ පඨවි දෙවියෝය යි සම්මත බැවිනි. ලක්ඛණ පඨවි නම් යට දැක්වුණු පඨවි ධාතු ම ය.

“කතමං තං රූපං පඨවි ධාතු? යං කක්ඛලං ඛරිගතං කක්ඛලත්තං කක්ඛලභාවො අජ්ඣත්තං වා බහිද්ධාවා උපාදින්නං වා අනුපාදින්නං වා ඉදං තං රූපං පඨවි ධාතු” යි සර්වඥයන් වහන්සේ ද මෙය පැහැදිලි කරන සේක. ආධ්‍යාත්මික වූ හෝ බාහිර වූ හෝ කර්මජ වූ හෝ නු වූ හෝ යම් කැකුළු බවෙක් තද බවෙක් වේ නම් එය පඨවි ධාතු රූප නම් වේ යනු එහි අර්ථයි. පඨවි ධාතුයෙහි ලක්‍ෂණය කර්කශ බව ය. “කක්ඛල ලක්ඛණා පඨවි” යනු එහෙයින් කීහ. සෙසු ධාතූන්ගේ ලක්‍ෂණය බලා මෙය කක්ඛල ය යි කියන ලදුවත් මෘදුත්‍වය ද මෙහි ඇතුළත් බව සලකනු. මෙහි කෘත්‍යය නම් සෙසු සහජාත රූප පිහිටන බව ය. මෙයට පඨවි යන නම ව්‍යවහෘත වූයේත් ඒ අර්ථය ගෙනැ යැ. පථතීය ති පඨවි සහජාත රූපානං පතිට්ඨාන භාවෙන පක්ඛායති උපට්ඨාතී ති අත්‍ථො යනු ටීකා යි. “පුථු මහන්ති හුත්වා ජායති ති පඨවි” යනු කී හෙයින් මහත්ව හට ගන්නේය යන අර්ථයෙන් ද පඨවී නම් වේ. “ගන්‍ධවතීපෘථිවි” යයි ගන්‍ධවත්භාවය පෘථිවියෙහි ලක්‍ෂණය කොට නෛර්යානිකයෝ දුටහ.

2. ආපො ධාතු.

අප් නම් කවර දෙයක හෝ පවත්නා ද්‍රව ස්වභාවය වැගිරෙන ගතිය. ධාතු නම් සත්ත්‍ව ජීව නො වූ මූල ප්‍රකෘතිය. ඉන්‍ද්‍රියානින්‍ද්‍රිය ප්‍රතිබද්ධ කො තැනක හෝ පවත්නා ද්‍රව ස්වභාවය-වැගිරෙන ගතිය-ස්නේහත්‍වය අප් ධාතු ය යි දත යුතු. මෙයට ඇතැම් තැනෙක ලක්‍ෂණ අප් ය යි කියවේ. එ බැවින් අප් ශබ්දයෙන් සසම්භාර ආප, ආරම්මණ ආප සම්මති ආප ලක්‍ෂණ ආප යන අර්ථ සතරක් වාච්‍ය වේ. සසම්භාර ආප නම් වර්ණාදියෙන් මිශ්‍රිත ගංගා සමුද්‍රාදියෙහි ජලය යි. ආරම්මණ ආප නම් ආපොකසිණ නිමිත්ත යි. සම්මති ආප නම් ආපො කසිණ වඩා බඹලෝ උපන්නවුන්ට ආපො දෙවියෝ ය යි කියති. එයයි. ලක්‍ෂණ ආප නම් යට දැක්වුණු අප් ධාතුව යි. “කතමං ත රූපං ආපොධාතු? යං ආපො ආපො ගතං සිනෙහො සිනෙහගතං බන්‍ධනත්තං රූපස්ස ඉදං තං රූපං ආපොධාතු” යි සර්වඥයන් වහන්සේ මෙය වර්ණනා කරන සේක. යම් අප් ගතියෙක් ස්නේහ ගතියෙක් රූපයන්ගේ බන්‍ධන ස්වභාවයෙක් වේ නම් එය අප් ධාතු නම් වේ යනු එහි අර්ථ යි. අප් ධාතුයෙහි ලක්‍ෂණය ද්‍රව බව හෝ වැගිරෙන බව යි. කෘත්‍යය ආබන්‍ධනය යි. හෙවත් සහජාත රූප එකට බඳනා බවයි. අප් ධාතු නැත්නම් රූප එකට බැඳී නොපවත්නේ ය. විසිර යන්නේ ය. දූවිල්ලට ජලය ඉස බලනු. මෙයට අප් යි ව්‍යවහෘත වූයේ මේ අර්ථය ගෙනැ යැ, “ආපෙති සහජාත රූපානි බ්‍යාපෙත්‍වා තිට්ඨතීති ආපො තානි වා අවිප්පකිණ්ණානි කත්‍වා භූසො ජාති රක්ඛ තී ති ආපො” යනු ටීකා යි. අප් ධාතුව ස්පර්ශ කළ නො හැකි ය. ජලය ඇල්ලීමෙහි දී එහි පවත්නා පඨවි තේජෝ වායු ම ස්පර්ශ වේ. අප් ස්පර්ශ නොවේ. “ශීත ස්පර්ශවත්‍යආපඃ” සිහිල් පහස් ඇතියේ අප් ය යන තාර්කික මතය ප්‍රතිෂ්ඨා රහිත ය. ශීත වනාහි තෙජසෙහි ම විශේෂයක් බැවිනි.

3. තේජෝ ධාතු

තේජස් නම් කවර දෙයක හෝ පවත්නා උණුසුම් ස්වභාවය - දිලිසෙන ස්වභාවය - තියුණු ගති ය - පරිපාචකත්‍වය යි. ධාතු ශබ්දයෙහි අර්ථ කී සේ ම ය. ඉන්‍ද්‍රියානින්‍ද්‍රිය ප්‍රතිබද්ධ කො තැනෙක හෝ පවත්නා උණුසුම් ආදි ස්වභාව තේජෝ ධාතු රූපය යි දත යුතු. මේ ඇතැම් තැනෙක ලක්ඛණ තේජය යි කියනු ලැබේ. තේජ ශබ්දයෙන් ද වහනි සංඛ්‍යාත සසම්භාර තේජ ද තේජෝකසිණ සංඛ්‍යාත ආරම්මණ තේජ ද තේජෝදෙව සංඛ්‍යාත සම්මති තේජ ද තේජෝ ධාතු සංඛ්‍යාත ලක්ඛණ තේජද වාච්‍ය වන බව දත යුතු. “කතමං තං රූපං තේජෝ ධාතු? යං තේජෝ තේජෝගතං උස්මා උස්මගතං උසුමං උසුමගතං අජ්ඣත්තං වා බහිද්ධා වා උපාදින්නං වා අනුපාදින්නං වා ඉදං තං රූපං තේජෝ ධාතු” යි ධර්මරාජයාණෝ මෙය විස්තර කරති. ආධ්‍යාත්මික වූ හෝ බාහිර වූ හෝ කර්මජ වූ හෝ කර්මජ නොවූ හෝ තේජෝ ගතියෙක් උස්ම ගතියෙක් වේ නම් එය තේජෝ ධාතුව යි යනු එහි අර්ථ යි. තේජසෙහි ලක්‍ෂණය උෂ්ණත්‍වය යි කෘත්‍යය පරිපාවකත්‍වය යි. හෙවත් පැසවන බව යි. මේ අර්ථය ශීතයෙහි ද ඇති බැවින් ශීතය තේජෝ විශේෂයකැයි දක්වති. “තේජෝ එව හි සීතං” තේජස ම ශීතය යි මූල ටීකායෙහි ද “මන්‍දෙ හි උණ්හත්තෙ සීතබුද්ධි” උෂ්ණය මද වූ කල ශීතය යන බුද්ධිය වේ යනු විභාවිනියෙහි ද කියන ලදි. “උෂ්ණස්පර්ශවත් තෙජඃ” උණු පහස් ඇත්තේ තේජසය යන තාර්කික මතය මෙයින් බිඳි යෙයි. වරෙක ශීත වරෙක උෂ්ණ වශයෙන් ද වරෙක උෂ්ණ වරෙක ශීත වශයෙන් ද වැටහිය හැකි බැවින් බෞද්ධ මතය ස්ථිර වේ. “සීතභාවො ච දහති පරිපාවෙති තම්භාවං ගමෙති යෙව” සීත භාවය ද උෂ්ණභාවය මෙන් පරිපාචකමය යි ටීකායෙක දක්වා තිබේ.

4. වායො ධාතු.

ඉන්‍ද්‍රිය අනින්‍ද්‍රිය ප්‍රතිබද්ධ කො තැනෙක හෝ පවත්නා සැලෙන ස්වභාවය - විත්‍ථම්භන ගතිය වායොධාතු රූපය යි. වායු ශබ්දයෙන් ද වාත සංඛයාත සසම්භාර වායු ද වායු කසිණ සංඛ්‍යාත ආරම්මණ වායු ද වායුදෙව සංඛ්‍යාත සම්මත වායු ද වායු ධාතු සංඛ්‍යාත ලක්‍ෂණ වායු ද වාච්‍ය වන බව දත යුතු. “කතමං තං රූපං වායො ධාතු? යං වායො වායො ගතං ථම්භිතත්තං රූපස්ස අජ්ඣත්තං වා බහිද්ධා වා උපාදින්නං වා අනුපාදින්නං වා ඉදං තං රූපං වායො ධාතු” යම් වායු ගතියෙක් සුළං පිරුණු උප්පල නාලතවාදීන්ගේ මෙන් යම් පිපෙන බවෙක් වේ නම් ආධ්‍යාත්මික වූ හෝ බාහිර වූ හෝ උපාදින්න වූ හෝ අනුපාදින්න වූ හෝ එය වායො ධාතු රූප නමැ යි බුදුරජාණන් වහන්සේ වදාළ සේක. වායුයෙහි ලක්‍ෂණය විත්‍ථම්බනය යි. කෘත්‍යය සැලෙන බව යි. “වායති සහජාත ධම්මෙ අපතමානෙ කත්‍වා වහතී ති වායො” යනුයෙන් සහජාත රූප නො වැටෙන සේ උසුලා සිටින්නේ වායු යි ද කියනු ලැබේ. “රූප රහිත ස්පර්ශවාන් වායුඃ” රූප නැති වැ ස්පර්ශ ඇත්තේ වායු ය යනු තාර්කික මත යි.

ප්‍රශ්න.

  1. මහාභූත රූප සතර දක්වා ඔවුන්ට ඒ නම යෝග්‍ය වන පරිදි විස්තර කරනු.
  2. පඨවි ධාතු රූපය ලක්‍ෂණාදි වශයෙන් දක්වනු.
  3. අප් ධාතුරූපය පැහැදිලි කරනු. එය කුමක් හෙයින් ස්පර්ශ නොවන්නේ ද?
  4. තේජො ධාතු රූපය දර්ශනාන්තර හා සසඳා දක්වනු.
  5. වායො ධාතු රූපය බුදුහු කෙසේ පැහැදිලි කළසේක් ද? එහි ලක්‍ෂණ හා කෘත්‍ය දක්වනු.