3. රූප සමුද්දේසය (සූවිසි උපාදාය රූප. පඤ්චපසාද.)

අට විසි රූප අතුරෙන් මහාභූත රූප සතර හැරැ සෙසු සූවිස්ස උපාදාය රූප නමැයි යට කියන ලදි. චිත්තය ඇසුරුකොට පවත්නවුන්ට චෛතසික ය යි ද ද්‍රව්‍ය ඇසුරු කොට පවත්නවුන්ට ගුණ ය යි ද කියන්නා සේ මහාභූත රූප ඇසුරු කොට පවත්නවුන්ට උපාදාය රූපය යි කියනු ලැබේ. දැඩි ව ගෙන, පවත්නා රූප උපාදාය රූප යි. කුමක් දැඩිව ගෙන ද? මහාභූත රූප දැඩි ව ගෙන. ඇසුරු කොට ය යි සේ යි. උපාදාය රූප වනාහි මහාභූත රූපයන් ඇසුරු කොට ම පවත්නේ ය.

සූවිසි උපාදාය රූප අතුරෙන් චක්ඛු, සෝත, ඝාණ, ජිව්හා, කාය යන පස ප්‍රසාද රූප නම් වේ. ප්‍රසාද රූප නම් කැටපතෙහි ප්‍රසාද මණ්ඩප හෙවත් ඔපය සේ කර්මයෙන් ජනිත භූත රූපයන්ගේ ප්‍රසාද ගතිය හෙවත් ඔපයයි.

1. චක්‍ෂුඃ ප්‍රසාදය.

ප්‍රඥා චක්‍ෂු මාංසචක්‍ෂු ය යි චක්‍ෂු දෙ වැදෑරුම් වේ. ප්‍රඥා චක්‍ෂු නම් නුවණැස ය. හේ වනාහි බුද්ධ චක්ඛු සමන්ත චක්ඛු ඤාණ චක්ඛු, දිබ්බ චක්ඛු, ධම්ම චක්ඛු ය යි පඤ්චවිධ ය. මා ශ චක්‍ෂු නම් මසැස ය. හෙ ද වනාහි සසම්භාර චක්ඛු පසාද චක්ඛු ය යි දෙ වැදෑරුම් වේ. සසම්භාර චක්ඛු නම් ඇස්වළෙහි පිහිටි යට ඇස්වළ ඇටින් ද මතු බැම ඇටින් ද දැලයේ අක්‍ෂිකූටයෙන් ද ඇතුළ මත්‍ථලුඞ්ගයෙන් ද පිටත අක්‍ෂිලෝමයෙන් ද පරිච්ඡින්න වූ මාංශ පිණ්ඩය යි. එහි සැකෙවින් බලත්හොත් සතරමහාභූත වර්ණ ගන්‍ධ රස ඕජා සම්භව සණ්ඨාණ ජීවිත භාව කායප්‍රසාද චක්‍ෂුඃප්‍රසාද යන තුදුස් සම්භාරයෙක් ඇත්තේ ය. විස්තර වශයෙන් බලත්හොත් සසම්භාර සුසාලිසෙක් ඇත්තේ ය. ඒ මෙ සේ යි. සතරමහාභූත වණ්ණ ගන්‍ධ රස ඕජා සණ්ඨාන සම්භව යන දසය කර්ම චිත්ත සෘතු ආහාර වශයෙන් සිව් ආකාරයෙකින් ලැබෙන බැවින් සතළිසෙකි. කර්මජ වූ ජීවිත භාව කායප්‍රසාද චක්‍ෂුඃප්‍රසාද යන සතර සමග සුසාළිස ය. එහි සෙම උත්සන්න විට සුදු ය. පිත උත්සන්න විට කළු ය. ලේ උත්සන්න විට රතු ය. පෘථිවි උත්සන්න විට තද ය. අප් උත්සන්න විට වැගිරේ. තේජස් උත්සන්න විට දැවිල්ල ය. වායු උත්සන්න විට භ්‍රමණය යි.

මේ සසම්භාර චක්‍ෂුව ඇසුරු කොටැ පවත්නා මහාභූතයන්ගේ ප්‍රසාදය ප්‍රසාද චක්‍ෂු ය. චක්‍ෂුඃප්‍රසාද රූපය නම් මේ යි. එය වනාහි සසම්භාර චක්‍ෂුව පිළිබඳ ශ්වේත මණ්ඩලයෙන් පරික්‍ෂිප්ත වූ කෘෂ්ණ මණ්ඩලය (කළුඉංගිරියාව) මැද පුළුන් පෙති සතක පැතිර සිටින තෙලිත්තක් සේ ඇස් පටල සත පැතිර සිටින්නේ ය. කිරි මවුන් සතර දෙනෙකු විසින් ධැරීම් නැහැවීම් සැරසීම් පවන්සැලීම් යන මෙයින් උවටැන් කරනු ලබන ක්‍ෂත්‍රිය කුමරකු මෙන් පඨවි ආදී සතර මහා භූතයන් විසින් සන්‍ධාරණ බන්‍ධන පරිපාචන සමුදීරණ කෘත්‍යවලින් උවටැන් කරනු ලබන්නේ ය. සෘතු චිත්ත ආහාරයෙන් උපස්ථම්භනය කරනු ලබන්නේ ය. ආයුෂයෙන් පාලනය කරනු ලබන්නේ ය. වර්ණ ගන්‍ධ රසාදීන් විසින් පිරිවරන ලද්දේ ය. ප්‍රමාණයෙන් උකුණු හිසක් පමණ ය. චක්‍ෂුර් විඥානාදි චිත්තයන්ට වස්තු ද ද්වාර ද වන්නේ ය. එහි ලක්‍ෂණය රූප හැපීමට සුදුසු භූතප්‍රසාදය යි, නොහොත් දට්ඨු කාමතා නිදාන කම්ම සමුට්ඨාන භූත ප්‍රසාදය යි. රසය රූපයන් විඳැ ගැන්ම යි. පච්චුපට්ඨාන චක්‍ෂුර්විඥානයට ආධාරභාවය යි. පදට්ඨානය දට්ඨුකාමතා නිදාන කර්මජභූතයි. සෙස්සෙහි දු විස්තරය මෙසේ දත යුතු යි.

2. ශොත්‍ර ප්‍රසාදය.

සසම්භාර සොත පසාද සොත ය යි. ශෝත්‍රය දෙ වැදෑරුම් වේ. සසම්භාර සෝත නම් කන ය. කන්බිල ඇතුළෙහි ඇඟිලි මුදුවක් බඳු තුනී තඹවන් රෝමයෙකි. එය ඇසුරු කොටැ පඨවි ආදි ධාතූන් විසින් උවටැන් කරන ලද සෘතු ආදීන් විසින් උපස්තම්භ කරන ලද ආයුෂයෙන් පාලනය කරනු ලබන වර්ණාදීන් විසින් පරිවෘත වූ ශ්‍රෝතප්‍රසාද රූපය පිහිටියේ ය. එය සෝතවිඤ්ඤාණාදී චිත්තයන්ට වස්තු හා ද්වාර වන්නේ ය. එහි ලක්‍ෂණය ශබ්ද හැපීමට සුදුසු භූත ප්‍රසාදය යි. නොහොත් සෝතුකාමතානිදාන කම්මසමුට්ඨාන භූත ප්‍රසාදය යි රූපය ශබ්ද විඳැ ගැන්මයි. පච්චුපට්ඨානය සෝතවිඤ්ඤාණයට ආධාර භාවයයි. පදට්ඨානය සෝතුකම්‍යතා නිදාන කර්මජ භූත යි. “සුණාති, සුණන්ති එතෙ නාති වා සොතං” යනු විග්‍රහ හෙයින් ශබ්දය අසන්නේ හෝ මෙයින් ශබ්දය අසත් නු යි හේ සොත නමි.

3. ඝ්‍රාණප්‍රසාද.

මෙ ද සසම්භාර ඝ්‍රාණය ප්‍රසාද ඝ්‍රාණය යි ද්විවිධ වේ. සසම්භාර ඝ්‍රාණ නම් නාසිකාව ය. නාසිකා බිලය ඇතුළෙහි එළුකුරයෙක සටහන් ඇති තැනෙකි. එය ඇසුරු කොටැ පඨවි ආදින් විසින් උවටැන් කරන ලද සෘතු ආදීන් විසින් උපස්ථම්භක ආයුෂයෙන් පාලිත වර්ණාදීන් පරිවෘත ඝ්‍රාණ ප්‍රසාද රූපය පිහිටියේ ය. එය ඝාණවිඤ්ඤාණාදි චිත්තයන්ට වස්තු හා ද්වාර වන්නේ ය. එහි ලක්‍ෂණය ගන්ධ ස්පර්ශයට සුදුසු භූත ප්‍රසාදය යි හෙවත් ඝායිතුකාමතා නිදාන කම්ම සමුට්ඨාන භූත ප්‍රසාදය යි. රසය ගඳ සුවඳ විඳැගැන්ම යි. පච්චුපට්ඨාන ඝාණ විඤ්ඤාණයට ආධාරභාවය යි. පදට්ඨානය සොතු කාමතා නිදාන කර්මජභූතය “ඝායති ඝායන්ති එතෙනාති වා ඝාණං” ආඝ්‍රාණය කරන්නේ හෝ මෙයින් ගඳ සුවඳ ආඝ්‍රාණය කරත් නු යි හෝ ඝ්‍රාණ නමි.

4. ජිහ්වා ප්‍රසාදය.

මෙ ද සසම්භාර ජිහ්වාය ප්‍රසාද ජිහ්වාය යි ද්විවිධ වේ. සසම්භාර ජිහ්වා නම් දිව ය. ඒ දිව මැද මතුයෙහි උපුල් පෙති අගක් බඳු සටහනෙකි. එහි පඨවි ආදීන් විසින් උවටැන් කරන ලද සෘතු ආදීන් විසින් උපස්ථම්භිත ආයුෂයෙන් පාලිත වර්ණාදීන් පරිවෘත ජිහ්වා ප්‍රසාදය පිහිටියේ ය. එය ජිහ්වා විඤ්ඤාණාදි චිත්තයන්ට වස්තු හා ද්වාර වන්නේ ය. එහි ලක්‍ෂණය රසාස්වාදයට සුදුසු භූත ප්‍රසාදය යි නො හොත් සායිතුකාමතානිදාන කම්මසමුට්ඨාන භූත ප්‍රසාදය යි. රසය රස විඳැ ගැන්ම යි. පච්චුපට්ඨානය ජිහ්වා විඤ්ඤාණයට ආධාරභාවය යි. පදට්ඨානය සායිතුකාමතා නිදාන කර්මජ භූත යි. ජීවිත නිමිත්ත වූ රසය ජීවිත ය යි කියනු ලැබේ. ඒ ජීවිතය අවහානය කරන්නේ කැඳවන්නේ ජිහ්වා යි. “ජීවිත නිමිත්තං රසො ජීවිතං, තං අව්හතී ති ජිව්හා” යනු විග්‍රහ යි.

5. කායප්‍රසාදය.

හෙ ද සසම්භාරකාය ප්‍රසාදකාය ය යි දෙ වැදෑරුමි. සසම්භාර කාය නම් ශරීරය යි. මහත් කපු පුලුන් පටලයෙකැ ඉසි තෙලක් සේ ප්‍රසාදකාය වනාහි පාචක තේජස පිහිට තැන ද කෙස් ලොම් නිය අග හා වියලි සම ද හැර සෙසු සියලු සසම්භාර කායයෙහි පැතිරැ ඇත්තේ ය. එද පඨවි ආදීන් විසින් උවටැන් කරන ලද්දේ ය. සෘතු ආදීන් විසින් උපස්ථම්භිත ය. ආයුෂ විසින් පාලිත ය. වර්ණාදීන් විසින් පරිවෘත ය. කාය විඤ්ඤාණාදි චිත්තයන්ට වස්තු හා ද්වාර වන්නේ ය. එහි ලක්‍ෂණය ස්පර්ශයට සුදුසු භූත ප්‍රසාද ය යි. නොහොත් ඵුසිතු කාමතා නිදාන කම්මසමුට්ඨාන භූත ප්‍රසාදය යි. රසය පහස් විඳැ ගැන්ම යි. පච්චුපට්ඨානය කාය විඤ්ඤාණයට ආධාරභාවය යි. පදට්ඨානය ඵුසිතු කාමතා නිදාන කර්මජභූත යි. “කුච්ඡිතානං ආයො කායො” යනු විග්‍රහ බැවින් ලාමක වූ කෙසාදීන්ට හෝ පාපධර්මයන්ට උත්පත්ති ස්ථාන වූයෝ කාය ය යි දත යුතු.

ප්‍රශ්න.

  1. ප්‍රසාද රූප කෙතෙක් ද? කවරහු ද? එය කොයින් ලැබේ ද?
  2. චක්‍ෂුඃ ප්‍රසාද රූපය පහදා දක්වනු.
  3. ශොත්‍ර ඝ්‍රාණ ජිහ්වා ලක්‍ෂණ දක්වනු.
  4. කාය ප්‍රසාදය කිම?
  5. ශරීරයෙහි ප්‍රසාද රූප නැති තැන් ඇත්නම් දක්වනු.