2. අකුසල සංග්‍රහය (ආසව, ඔඝ, යොග, ගන්ථ උපාදාන)

යට දැක්වුණු චතුර්විධ සංග්‍රහය අතුරෙන් අකුශල සංග්‍රහය මෙහි දක්වනු ලැබේ. අකුශල වනාහි ආසව, ඕඝ, යොග, ගන්ථ, උපාදාන, නීවරණ, අනුසය, සංයෝජන, කිලෙස යන නව ප්‍රකාරයෙකින් සංග්‍රහ වන බව දත යුතු. එහි දු ආසව සතරෙකි. ඔඝ සතරෙකි, යොග සතරෙකි, ගන්ථ සතරෙකි, උපාදාන සතරෙකි, නීවරණ සතරෙකි, අනුසය සතරෙකි, සංයෝජන දසයෙකි, කිලෙස දසයෙකි.

චතුරාසව

ආසව සතර නම්: 1 කාමාසව, 2 භවාසව, 3 දිට්ඨාසව, 4 අවිජ්ජාසව යන මොහු ය. ආසව යනු ලෝකයෙහි පුප්ඵාසවාදියට නම් ය. පුප්ඵාසවාදිය සත් අට දවස තෙමේත් පරිවාසිත වෙයි. ධරන කුම්භ ද පරිවාසිත කෙරෙයි. මේ කාමාදි සතර ද අනාදිමත් කාලයෙක සත්ත්‍ව සන්තානයෙහි පරිවාසිත වෙයි. සත්ත්‍ව සන්තානය ද පරිවාසිත කරයි. එ බැවින් වීර පරිවාසිත වශයෙන් ආසව බඳු හෙයින් මේ සතර ආසවය යි කියන ලදි. “ආසමීයන්ති චීරං පරිවාසියන්තී ති ආසවා. ආසවන්ති චිරං පරිවාසෙන්ති තී ආසවා” යන විග්‍රහ වශයෙනි. තව ද පුප්ඵාසවාදිය තමා පරිභෝග කළවුන් මත් කරවයි. මේ සතර ද තමා අයතියන් මත් කරවයි. එ බැවින් “ආයවන්ති මදාපෙන්තී ති ආසවා” යි ආසව විය. තව ද ආසව යනු පූයාවට නමෙකි. පුයා වනාහි ව්‍රණ මුඛයෙන් වැගිරු ලේ කඩ දූෂණය කරයි. මේ සතර ද චක්‍ෂුරාදි සදොරින් වැගිරැ ෂඩාරම්මණ දූෂණය කරයි. එ බැවින් “ආසවන්ති විස්සන්‍දන්ති ආසවා” යි නම් විය. තව ද “භවතො ආභවග්ගං ධම්මතො ආගොත්‍රභූ සවන්ති ආරම්මණ කරණ වසෙන පවත්තන්තී ති ආසවා” යි කී හෙයින් භව වශයෙන් භවාග්‍රය දක්වා ද ධර්ම වශයෙන් ගොත්‍රභූ ඤාණය දක්වා ද අරමුණු කිරීම් වශයෙන් පවත්නේ හෝ ආසව යි. මෙහි සීමාව අභිවිධි ය. භවාග්‍ර නම් නේවසඤ්ඤානාසඤ්ඤායතන යි.

1. කාම නම් කාම තෘෂ්ණා ය. “කාමෙතී ති කාමො; කාමෙන්ති සම්පයුත්ත ධම්මා එතෙනාති කාමො” යි විග්‍රහ වශයෙන් නොහොත් කාම නම් කාම ගුණ මුඛයෙන් වදාළ සියලු කාමාවචර ධර්ම සංඛ්‍යාත වස්තු කාම යි. “කාමීයතෙ ති කාමො” යි විග්‍රහ වශයෙන්. ඒ අරමුණු කොට පවත්නා තෘෂ්ණාව කාරණොපචාර වශයෙන් මෙහි කාමයයි දත යුතු. කාම වූයේත් එම ආසව වූයේත් එම නු යි, කාමාසව.

2. භව වනාහි කර්මභව උප්පත්ති භවය යි ද්විවිධ වේ. මෙහි රූපාවචර අරූපාවචර කුශල ධර්ම කර්ම භව ය. එයින් නිපදනා රූපාවචර අරූපාවචර විපාක උප්පත්ති භව ය. ඒ ද්විවිධ භවය අරමුණු කොට පවත්නා තෘෂ්ණාව කාරණෝපචාර වශයෙන්. මෙහි භව ය භව වූයේත් එම ආසව වූයේ ත් එම නු යි භවාසව. භවාසව නම් රූපාරූප රාගය යි.

3. දිට්ඨි නම් දෙ සැට මිථ්‍යාදෘෂ්ටිය යි. දිට්ඨි වූයේ ත් එම ආසව වූයේත් එම නු යි දිට්ඨාසව. මෙයින් දිට්ඨි චෛතසිකය කියවිණි.

4. චතුස්සත්‍යයෙහි හා පූර්වාන්ත අපරාන්ත පූර්වාපරාන්ත ප්‍රතීත්‍ය සමුත්පාදයෙහි හා නො දැන්ම අවිජ්ජා ය. අවිජ්ජා වූයේ ත් එම ආසව වූයේ ත් එම නු යි අවිජ්ජාසව. අවිජ්ජාසව නම් මෝහය යි.

චතුරොඝ

ඔඝ සතර නම්: කාමොඝ, භවොඝ, දිට්ඨොඝ, අවිජ්ජොඝ යි. ඔඝ යනු දිය වතුරට හෙවත් ජල ප්‍රවාහයට නමි. එහි වැටුණ වුන් මැඩැ නසා ලන හෙයින් “අත්තනි පතිතං ජනං අනස්සාසිකං කත්‍වා අජ්ඣොත්‍ථරන්තො හන්ති මාරෙතී ති ඔඝො” යනු විග්‍රහ යි. කාමාදී මේ සතරද අසුවුණවුන් සසර සයුර හෙළා නසා ලන හෙයින් ඔඝ නම් විය. කාම භව දිට්ඨි අවිජ්ජා යන මොවුන්ගේ අර්ථ යට කී සේ ය.

චතුයොග

යොගසතර නම්: කාමයොග, භවයොග, දිට්ඨියොග, අවිජ්ජායොග යි. යොග යනු. යොදනුවනට නමෙකි. කාමාදීහු සත්ත්‍වයන් භව යන්ත්‍රයෙහි යොදන්නෝ ය. එයින් සත්ත්‍වයෝ මිදී ගත නොහී කැකෑරෙමින් සිටිත්. කාමාදීන්ගේ අර්ථ යට කී සේ ය.

සෙසු අකුසල ඇත ද මොව්හු ප්‍රධාන වශයෙන් මේ ආසව ඔඝ යොග වෙති යි දත යුතු. මේ තුන් තන්හිම කාම භව වශයෙන් දැක්වුණේ තද් වස්තුක තෘෂ්ණාව ය. එ බැවින් ආසව ඔඝ යොග සතර බැගින් දැක්වුව ද වස්තු වශයෙන් බලත් හොත් ලැබෙන්නේ ලොභ දිට්ඨි අවිජ්ජා යන අකුශල චෛතසිකත්‍රය යි.

චතුර් ග්‍රන්ථ

ග්‍රන්ථ සතර නම්: 1 අභිජ්ඣා කාය ගන්ථ, 2 ව්‍යාපාද කාය ගන්ථ 3 සීලබ්බත පරාමාස කාය ගන්ථ, 4 ඉදං සච්චාභිනිවෙස කාය ගන්ථ යන මොහු යි.

ගන්ථ යනු ගොතනුවනට - ගැටගසන්නවුනට නමෙකි. කාය ශබ්දයෙන් රූප කාය හා නාම කාය කියනු ලැබේ. නාම කායයෙන් රූප කායය ද අතීත කායයෙන් වර්තමාන කායය ද වර්තමාන කායයෙන් අනාගත කායය ද ගොතන්නෝ ගැටගසන්නෝ කාය ගන්ථයෝ ය. ඔහු සතර දෙනෙකි.

1. අභිජ්ඣා යනු දැඩි ලෝභය යි. මෙහි වනාහි කාම රාග රූප රාග අරූප රාග සංඛ්‍යාත සියලු තෘෂ්ණාව ගනු ලැබේ. ලෝභය කාය ගන්ථයෙකි.

2. ව්‍යාපාද යනු ද්වේෂය යි. දෝසය කාය ගන්ථයෙකි.

3. සසර දුකින් මිදෙන්නට මාර්ග නො වූ ගොසීල ගොව්‍රතාදිය එයට මාර්ගය යි පර වශයෙන් ආමර්ශනය කිරීම-වරදවා ගැන්ම සීලබ්බත පරාමාසය යි. පර වශයෙන්-යථා ස්වභාව වූ සත්‍යයට විරුද්ධ වශයෙන් මෙයින් දිට්ඨිය කී නියා දත යුතු.

4. “මේ ම ය සස්. සෙස්ස හිස්” යි මිත්‍ථ්‍යාභි නිවේසය වරදවා සැලකීම ඉදං සච්චාභිනිවෙසය යි. මෙයිනිදු දිට්ඨිය කියන ලදි. ගන්ථ සතරෙක් වුව ද වස්තු වශයෙන් ගත් කල්හි ලෝභ දෝස දිට්ඨි යි තුනෙකි.

චතුරූපාදාන

උපාදාන සතර නම්: 1 කාමූපාදාන, 2 දිට්ඨුපාදාන, 3 සීලබ්බතුපාදාන, 4 අත්තවාදූපාදාන යන මොහු යි.

“භුසං ආදියන්ති අමුඤ්චිත්‍වා ගණ්හන්තී ති උපාදානාති”. නාගයා මැඩියා මෙන් අරමුණ ලිහිල් වැ යා නොදී දැඩි වැ ගන්නෝ උපාදානයෝ ය. මෙහි උප ශබ්ද දෘඪාර්ථ යි උපාදාන සතරෙකි.

1. කාම නම් ක්ලේශකාම යි හෙවත් කාම තෘෂ්ණාව යි. කාම ම උපාදාන වූයේ කාමූපාදාන යි. වස්තු කාමය හෝ දැඩි වැ ගන්නේ කාමූපාදාන යි. භෙද කාම තෘෂ්ණාව යි. ලෝභය උපාදානයෙකැ යි කී සේ ය.

2. සීලබ්බතඅත්තවාද හැරැ සෙසු සියලු මිථ්‍යාදෘෂ්ටි මෙහි දිට්ඨි ශබ්දයෙන් ගනු ලැබේ. දිට්ඨි ම උපාදාන වූයේ දිට්ඨුපාදාන යි. ත්‍රිවිධ මහා දෘෂ්ටි හෝ දෙසැට දෘෂ්ටි හෝ අන්‍ය වූ ත් ලොවැ මිත්‍යාග්‍රාහ වේ නම් ඒ හෝ දිට්ඨුපාදාන ය යි කී සේ ය.

3. ගො කක්කරාදීන්ගේ ඒ ඒ ප්‍රකෘති චාරිත්‍ර සීල ය. එය සමාදන් වැ ගන්නා ලද්දේ වත ය. ඒ සීල හා වත සංසාර විමුක්තියට මාර්ගය යි දැඩි වැ ගන්නේ සීලබ්බතූපාදානය. මෙයිනුදු දිට්ඨියෙක් ම කියන ලදි.

4. අත්ත නම් අන්‍ය තීර්ථකයන් විසින් ආත්ම, ජීව, පුද්ගලාදි වශයෙන් කල්පනා කොටැ ගන්නා ලද කායෙශ්වර යි. එය කියන්නේ-පසස්නේ යමකින් ද එය අත්තවාද යි. එම උපාදාන වූයේ අත්තවාදූපාදාන යි. එනම් විංශද්විධ ස්වකාය දෘෂ්ටිය යි. රූපය ආත්මය, රූපවත් වූයේ ආත්මය, ආත්මයෙහි රූපය රූපයෙහි ආත්මය වේදනාව ආත්මය, වේදනාවත් වූයේ ආත්මය, ආත්මයෙහි වේදනාය, වේදනායෙහි ආත්මය, සංඥාව ආත්මය, සංඥාවත් වූයේ ආත්මය, ආත්මයෙහි සංඥාය, සංඥායෙහි ආත්මය, සංස්කාර ආත්මය, සංස්කාරවත් වූයේ ආත්මය, ආත්මයෙහි සංස්කාරය, සංස්කාරයෙහි ආත්මය, විඥානය ආත්මය, විඥානවත් වූයේ ආත්මය, ආත්මයෙහි විඥානය, විඥානයෙහි ආත්මය යනු විංසතිවිධ සක්කාය දිට්ඨියි මෙ ද දිට්ඨි විශේෂයකි. උපාදාන සතරක් වුව ද වස්තු වශයෙන් බලත්හොත් තණ්හා දිට්ඨි ය යි දෙකෙකි.

ප්‍රශ්න.

  1. අකුසල කී ආකාරයෙකින් සංගෘහිත ද? ඒ කවරේ ද?
  2. ආසව යනු කිම? ඒ කී වැදෑරුම් ද? අර්ථ වශයෙන් කෙතෙක් ද?
  3. ඔඝ යොග යනු කිම? ඒ කවරේ ද?
  4. ගන්ථ යනු කිම? ඒ කවරේ ද?
  5. උපාදාන යනු කිම? සතර උපාදාන විස්තර කරනු. වස්තු වශයෙන් ඒ කෙතෙක් ද?