3. අකුසල සංග්‍රහය (නීවරණ, අනුශය, සංයෝජන, කිලෙස.)

අකුශල සංග්‍රහයට ඇතුළත් ආසවාදි පස යට දැක්විණි. නීවරණාදි සතර මෙහි දක්වනු ලැබේ.

ෂඩ් නීවරණ

නීවරණ සය නම්: 1 කාමච්ඡන්‍ද නීවරණ, 2 ව්‍යාපාද නීවරණ, 3 ථීනමිද්ධ නීවරණ, 4 උද්ධච්ච කුක්කුච්ච නීවරණ, 5 විචිකිච්ඡා නීවරණ, 6 අවිජ්ජා නීවරණ යන මොහු යි.

සත්ත්‍ව සන්තානයෙහි නූපන් කුශල ධර්ම උපදවා ගන්නට හෝ උපන් කුශල ධර්ම නවත්වා ගන්නට හෝ නො දී වළකා ලන්නෝ නීවරණයෝ ය. ප්‍රඥා චක්‍ෂුස හෝ අවුරා ලන්නෝ නීවරණයෝ ය. ඔහු සදෙනෙකි.

1. කාම වූයේ ත් එම ඡන්‍ද වූයේත් එම කාමච්ඡන්‍ද. එම නීවරණ වූයේ කාමච්ඡන්‍ද නීවරණ. මෙයින් පඤ්චකාමගුණික රාගය කියන ලදි. රූපා රූප රාග හැරැ සෙසු සියලු රාග-ලොභ මෙහි ඇතුළත් ය. ධ්‍යානයට ප්‍රතිපක්‍ෂ වන්නේ කාම රාගය යි.

2. ව්‍යාපාද නම් චිත්ත විකෘති සංඛ්‍යාත ද්වේෂය, එම නීවරණ වූයේ ව්‍යාපාද නීවරණ දශවිධ ආඝාත යි.

3. ථීනය හා මිද්ධයම නීවරණ වූයේ ථීනමිද්ධ නීවරණ.

4. උද්ධච්චය හා කුක්කුච්චය ම නීවරණ වූයේ උද්ධච්ච කුක්කුච්චම නීවරණ.

සෙසු තැන්හි මෙන් එක් එක් ධර්මය නො ගෙනැ මෙහි ධර්ම යුගල යුගල කුමක් හෙයින් ගන්නා ලද්දේ ද? ඔවුන්ගේ කෘත්‍ය හා ප්‍රත්‍යය හා ප්‍රතිපක්‍ෂ ධර්ම හා සමාන බැවිනි. ඒ එසේ මැයි. ථීනයෙහි කෘත්‍යය ලීනත්‍වය. මිද්ධයෙහි ද එසේ ය. ථීනයෙහි ප්‍රත්‍යය තන්‍දිය හා විජම්භිකා ය. මිද්ධයෙහි ද එසේ ය. ථීනයෙහි විපක්‍ෂ ධර්මය වීර්යය. මිද්ධයෙහි ද එසේ ය. උද්ධච්චයෙහි කෘත්‍යය අව්‍යූපශමය. කුක්කුච්චයෙහි ද එසේ ය. උද්ධච්චයෙහි ප්‍රත්‍යය ඥාති බ්‍යසනාදි විතර්කණය. කුක්කුච්චයෙහි ද එසේ ය. උද්ධච්චයෙහි ප්‍රතිපක්‍ෂ ධර්මය සමථය. කුක්කුච්චයෙහි ද එසේ ය. මෙසේ කෘත්‍ය ප්‍රත්‍යය විපක්‍ෂ ධර්මයන්ගේ සමානත්‍වයෙන් මේ ධර්ම යුගල එක්කොට දක්වන ලදි.

“කිච්චාහාර විපක්ඛානං එකත්තං එකමෙත්‍ථ හි

කතමුද්ධච්ච කුක්කුච්චං ථීනමිද්ධං ච තාදිනා

.

ලීනතා සන්තතාකිච්චං තන්‍දිඤාතිවිතක්කණං

හෙතු විරිය සමථා ඉමෙ තෙසං විරොධිනො”

අර්ථ සුගම යි. ආහාර නම් ප්‍රත්‍යය - හේතු යි සේ යි.

5. විචිකිච්ඡා ම නීවරණ වූයේ විචිකිච්ඡා නීවරණ.

6. අවිජ්ජාම නීවරණ වූයේ අවිජ්ජා නීවරණයි.

මෙහි නීවරණ සයක් වුව ද වස්තු වශයෙන් ගත් කල්හි ලෝභ, දෝස, ථීන, මිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා අවිජ්ජා යි අටෙකි.

සප්තානුසය

අනුසය සත නම්: 1 කාමරාගානුසය, 2 භවරාගානුසය, 3 පටිඝානුසය, 4 මානානුසය, 5 දිට්ඨානුසය, 6 විචිකිච්ඡානුසය, 7 අවිජ්ජානුසය යන මොහු යි.

අනුසයයෝ නම් අනුරූප කාරණයක් ඇති කල්හි උපදින්නෝ ය. “අනුසෙන්තීති අනුසයා” යන විග්‍රහ වශයෙනි. මාර්ග ඥානය නො ලබන තාක් අතර ක්‍ෂයත්‍වයට නො පැමිණැ කාරණයක් ඇති කල්හි නැවත නැවත උපදින්නෝ හෝ අනුසයයෝ ය. “අනු අනුසෙන්තීති අනුසයා” යන විග්‍රහ වශයෙනි. මෙහි ඉපදීම නම් ඉපදීමට සුදුසු බවය. ස්වරූප වශයෙන් ඉපදීම ම නො වේ. තව ද පරියුට්ඨාන, වීථික්කම අවස්ථාවන්ට නොපැමිණැ සිතෙහි නිදියෙන ආකාරයෙන් හෝ පවත්නෝ අනුසයයෝ ය. අනුසයාවස්ථා, පර්යුත්‍ථානාවස්ථා, ව්‍යාතික්‍රමාවස්ථා ය යි ක්ලේශයන්ගේ අවස්ථා තුනෙකි. අනුසයාවස්ථා නම් යට දැක්වූ පරිදි මාර්ග ඥානයකින් කෙලෙස් ක්‍ෂය කරන තාක් නො සිඳී කාරණයක් පැමිණි කල්හි නැගී ඒමෙහි බලය ඇති වැ කාරණයක් නැති කල්හි සම්ප්‍රයුක්ත ධර්ම මෙන් ජවන සමග ඉදිරිපත් නො වී සිතෙහි නිදියන කලක් මෙන් පවත්නා අවස්ථාව යි. කෙතෙක් ලෞකික ගුණ ලැබුව ද ඔවුන්ගේ අනුසයාවස්ථාව නො සිඳෙයි. පර්යුත්‍ථාන අවස්ථා නම් සිතෙහි ඒ ඒ කෙලෙස් ජවනයන් සමග පවත්නා අවස්ථාව යි. ව්‍යතික්‍රම අවස්ථා නම් කාමරාගාදිය ඉපිද කායාඞ්ග වාචාඞ්ග චලනය කරන අවස්ථා යි. එබඳු අනුසයයෝ සත් දෙනෙකි.

1. කාම රාගයම අනුසය වූයේ කාමරාගානුසය.

2. භව රාගයම අනුසය වූයේ භවරාගානුසය.

මේ දෙකින්ම ලෝභය කියන ලදැයි දත යුතු.

3. පටිඝය ම අනුසය වූයේ පටිඝානුසය. පටිඝ නම් ද්වේෂය.

4. මානය ම අනුසය වූයේ මානානුසය.

5. දිට්ඨියම අනුසය වූයේ දිට්ඨානුසය.

6. විචිකිච්ඡාව ම අනුසය වූයේ විචිකිච්ඡානුසය.

7. අවිජ්ජාම අනුසය වූයේ අවිජ්ජානුසය. අවිජ්ජා නම් මෝහ.

මෙහි අනුසය සතක් වුව ද වස්තු වශයෙන් ගත් කල්හි ලෝභ, දෝස, මාන, දිට්ඨි, විචිකිච්ඡා, මෝහ ය යි සයෙකි.

දස සංයෝජන

සංයෝජන දසය නම්: 1 කාම රාග සංයෝජන, 2 රූප රාග සංයෝජන, 3 අරූප රාග සංයෝජන, 4 පටිඝ සංයෝජන, 5 මාන සංයෝජන, 6 දිට්ඨි සංයෝජන 7 සීලබ්බත පරාමාස සංයෝජන, 8 විචිකිච්ඡා සංයෝජන, 9 උද්ධච්ච සංයෝජන, 10 අවිජ්ජාසංයෝජන යන මොහු යි. මේ සූත්‍රාන්ත ක්‍රමයෙනි.

භව යන්ත්‍රයෙහි සත්ත්‍වයන් බැඳැ ලන්නෝ සංයෝජනයෝ ය. මෙයින් බැඳීම නිසා සත්ත්‍වයෝ සසර සැරිසරමින් ඇවිදිති. ඔහු සූත්‍රාන්තික ක්‍රමය, අභිධර්ම ක්‍රමය යි විවිධ ය. සූත්‍රාන්තික ක්‍රමයට අයත් දසය යට දක්වන ලදි.

අභිධර්ම ක්‍රමයට අයත් සංයෝජන දසය මෙසේය.

1 කාමරාග සංයෝජන, 2 භව රාග සංයෝජන, 3 පටිඝ සංයෝජන, 4 මාන සංයෝජන, 5 දිට්ඨි සංයෝජන, 6 සීලබ්බත පරාමාස සංයෝජන, 7 විචිකිච්ඡා සංයෝජන, 8 ඉස්සා සංයෝජන, 9 මච්ඡරිය සංයෝජන, 10 අවිජ්ජා සංයෝජන

1. කාම රාගය ම සංයෝජන වූයේ කාම රාග සංයෝජන ය. සෙස්ස ද මෙසේ යි. කාම රාග, රූප රාග, අරූප රාග, භවරාග යන්නෙන් ලෝභය ද, පටිඝ යන්නෙන් ද්වේෂය ද, මාන යන්නෙන් මානය ද, දිට්ඨි, සීලබ්බතපරාමාස යන්නෙන් දිට්ඨිය ද, විචිකිච්ඡා, උද්ධච්ච, ඉස්සා, මච්ඡරිය යන්නෙන් ඒ ඒ ධර්මය ද, අවිජ්ජා යන්නෙන් මෝහය ද වස්තු වශයෙන් ගැනෙන බැවින් සංයෝජන නවයැයි දතයුතු. ඔවුන්ගේ ආකාර යට දක්වන ලදි. මච්ඡරිය වනාහි ආවාස මච්ඡරිය, කුල මච්ඡරිය, ලාභ මච්ඡරිය, වණ්ණ මච්ඡරිය, ධම්ම මච්ඡරිය යි පංචවිධ වේ. මෙයින් සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බතපරාමාස, කාම රාග, ව්‍යාපාද යන පස ඕරම්භාගිය සංයෝජන ය යි ද, රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිජ්ජා යන පස උද්ධම්භාගිය සංයෝජනය ය යි ද කියන ලදි.

දස ක්ලේශ

ක්ලේශ දශය නම්: 1. ලෝභ, 2. දෝස, 3. මෝහ 4. මාන, 5. දිට්ඨි, 6. විචිකිච්ඡා, 7. ථීන, 8. උද්ධච්ච, 9. අහිරික 10. අනොත්තප්ප යන මොහු යි.

සිත කෙලෙසන්නෝ-පෙළන්නෝ-තවන්නෝ ක්ලේශයෝ ය. මොවුන් කරණ කොටැ සත්ත්‍වයෝ මලින භාවයට-නිහීන භාවයට යෙත් නු යි හෝ ක්ලේශයෝ ය. ඔව්හු දස දෙනෙකි. ඔවුන්ගේ ආකාර යට දැක්වුණු බැවින් මෙහි විස්තර නො කරමු.

“ආසවොඝා ච යොගා ච තයො ගන්ථා ච වත්‍ථුතො

උපාදානා දුවෙවුත්තා අට්ඨ නීවරණා සියුං

ඡළෙ වානුසයා හොන්තීනව සංයෝජනා මතා

කිලෙසා දස වුත්තොයං නවධා පාප සංගහො”

ආසව, ඔඝ, යෝගයෝ ද ග්‍රන්ථයෝ ද වස්තු වශයෙන් තුන් දෙන ය, උපාදානයෝ දෙදෙන ය, නීවරණ අට ය, අනුසය සය, සංයෝජන නව ය, ක්ලේශ දශ ය. මෙසේ අකුශල සංග්‍රහය නවවිධ කොට දක්වන ලද්දේ ය.

ප්‍රශ්න.

  1. නීවරණ සය පැහැදිලි කොට එය අට වන සැටි දක්වනු. ථීනමිද්ධ හා උද්ධච්ච කුක්කුච්ච හා එක් කොටැ දැක්වුණේ කිම?
  2. අනුසය යනු කිම? ඔහු කවරහුද? එක් එක් අනුසයෙක අර්ථ පැහැදිලි කොට එය සය වන සැටි දක්වනු. ක්ලේශයන්ගේ ත්‍රිවිධ අවස්ථා කවරේ ද?
  3. දස සංයෝජන සුත්‍ර ක්‍රමයෙන් හා අභිධර්ම ක්‍රමයෙන් දක්වනු කුමක් හෙයින් ඔහු සංයෝජන නම් වූ ද?
  4. දශ ක්ලේශ දක්වනු.
  5. අකුශල සංග්‍රහයෙහි තණ්හා දිට්ඨි කවර කවර නම්වලින් දැක්විණිද?