6. මිශ්‍රක සංග්‍රහය. (ආහාර)

චතුර්විධ ආහාර.

චතුර්විධ ආහාර නම්: 1 කබලීකාරාහාර, 2 ඵස්සාහාර, 3 මනොසංචෙතනාහාර 4 විඤ්ඤාණාහාර යන මොහු ය.

ඔජට්ඨමක රූපාදිය ආහරණය කරන්නෝ - ගෙනැ දෙන්නෝ ආහාරයෝ ය. ඒ එසේ මැ යි. කබලීකාරාහාරය ඔජට්ඨමක රූප ආහරණය කෙරේ. ඵස්සාහාරය වේදනාව ආහරණය කෙරේ. මනොසංචෙතනාහාරය විඤ්ඤාණය ආහරණය කෙරේ. විඤ්ඤාණාහාරය නාම රූප ආහරණය කෙරේ. විස්තර මෙසේ ය:

1. කබලීකාරාහාර නම්: අටවිසි රූපයන්ට ඇතුළත් ඔජා සංඛ්‍යාත ආහාර රූපය යි. එය පෘථිවි, අප්, තේජස්, වායු, වර්ණ, ගන්‍ධ, රස, ඔජස් යන රූප අට ආහරණය කෙරේ. සාලි බීජයෙන් නැගෙන සාලි අංකුරය පෘථිවි අප් රස ලැබීමෙන් නො සිඳී පවත්නේ ය. ක්‍රමයෙන් වර්ධනය ද වන්නේය. එ මෙන් කර්මයෙන් උපදනා ප්‍රතිසන්‍ධි රූප වනාහි සෘතු ආහාර ප්‍රත්‍යය ලැබීමෙන් පවත්නේ ය. වර්ධනය වන්නේ ය. සෘතුජ රූපයාගේ ද පැවැත්මට හා වර්ධනයට ආහාර රූප උපස්ථම්භක ය. තවද කර්මයෙන් ජනිත රූපයට ආහාර වනාහි ජනක මාතාවගෙන් උපන් දරුවාට කිරි මව මෙන් ද ගෙට රුකුල මෙන් ද උපස්ථම්භක වන බව දත යුතු.

2. ඵස්ස නම්: දෙපණස් චෛතසිකයන්ට ඇතුළත් ඵස්ස චෛතසිකය යි. එය වේදනාව ආහරණය කරන බැවින් ඵස්සාහාරය යි කියනු ලැබේ. “ඵස්ස පච්චයා වෙදනා” යනු සලකනු. පක්‍ෂීහු තම තුඩින් ආහාර ගෙන කා ජීවත් වෙති. තුඩ නැත් නම් ඔවුන්ට ආහාර ගත නො හැකිය. ආහාර නැත්නම් ජීවත්විය නො හැකි ය. එ මෙන් සිතෙහි ඵස්ස නැත්නම් වේදනා නො ලැබේ. වේදනා නැත් නම් සත්ත්‍වයන්ගේ පැවැත්මෙක් නො වේ. සත්ත්‍වයෝ ඵස්සයෙන් ආරම්මණ රස ගෙනැ වේදනා සංඛ්‍යාත උපභෝග පරිභෝග සම්පාදනය කොටැ තෘෂ්ණා විපුලත්‍වයට පැමිණ කර්ම, විපාක, ක්ලේශ සංඛ්‍යාත ත්‍රිවිධ වෘත්තය පුරත්.

මනොසංචෙතනා නම්: දෙපණස් චෛතසිකයන්ට ඇතුළත් චේතනා චෛතසිකය යි. කර්මය යි කියනු ලබන්නේ මේ ය. “චෙතනාහං භික්ඛවෙ කම්මං වදාමි” යනු සලකනු. එය ප්‍රතිසන්‍ධි විඥානය ආහරණය කරන බැවින් මනොසංචෙතනාහාර ය යි කියනු ලැබේ. “සංඛාර පච්චයා විඤ්ඤාණං” යනු සලකනු. මෙහි සංඛාර නම් කුශලා කුශල කර්ම සංඛ්‍යාත චේතනා ය. විඤ්ඤාණ නම් ප්‍රතිසන්‍ධි චිත්ත ය යි. පක්‍ෂීහු පියාපත් පැහැරීමෙන් අතර බිම නො හී රුකින් රුකට වනයෙන් වනයට යමින් ජීවත් වෙති. පියාපත් නැත්නම් ඔවුන්ට යා නො හැකිය. නො යා හැකි නම් ජීවත් වීමෙක් නො වේ. සත්ත්‍වයෝ ආයූහන ලක්‍ෂණ වූ චේතනාව කර්මත්‍වයට පමුණුවා එයින් භවයෙන් භවයට යෙමින් සැරිසරති. චේතනාව නැත්නම් කර්ම වෘත්තය නැත. කර්ම වෘත්තය නැත්නම් විපාක වෘත්තය නැත. විපාක වෘත්තය නැත්නම් ක්ලේශ වෘත්තය නැත. එ විට භව ප්‍රවෘත්තිය ම නො වන්නේ ය.

4. විඤ්ඤාණ නම්: ප්‍රතිසන්‍ධි චිත්තය යි. එය නාම රූප ආහරණය කරන බැවින් විඤ්ඤාණාහාර ය යි කියනු ලැබේ. ප්‍රතිසන්‍ධි චිත්තය ඵස්සාදි චෛතසිකයන්ගෙන් යුක්ත ය. එසේ ම ඒ සමග කාම රූප භවයෙහි කර්මජ රූප ද ඇත්තේය. ප්‍රතිසන්‍ධි චිත්තය නැත්නම් ඵස්සාදිය ද ඒ සමග පවත්නා රූප ද නැත. එ බැවින් ප්‍රතිසන්‍ධි චිත්තය නාම රූපයන්ගේ පැවැත්මට ප්‍රත්‍යය වේ. මෙහි ඒ බව ම ආහාරත්‍වයෙන් කීය. “විඤ්ඤාණපච්චයා නාමරූපං” යනු සලකනු. පක්‍ෂීහු තම තමන්ගේ ඇසින් ගොදුරු ඇති තැන් හෝ ඒ ඒ දිසාභාග හෝ බලා දැනැ දිවි පවත්වා ගනිති. ඇස නැත්නම් ඔවුන්ට ඒ ඒ තැන් දැකැ ගැන්මෙක් නොවේ. නොදක්නවුන්ට දිවි රැකැ ගැන්මෙක් නොවේ. එසේ ම සම්ප්‍රයුක්ත ඵස්සාදීහු ආරම්මණ විජානන ලක්‍ෂණ විඥානයෙන් ඒ ඒ අරමුණු ලබති. විඥානය නැත්නම් ඵස්සාදීහු කැල ම එහි නැත. රූප ද එහි නැත. විඥානයෙන් ම ඒ නාම රූප එහි ඇත. එබැවින් විඤ්ඤාණය නාම රූප ආහරණය කරන බැවින් විඤ්ඤාණාහාරය යි වදාළෝ ය.

අධ්‍යාත්ම සන්තතියට විශේෂ ප්‍රත්‍යය වන බැවින් මේ සතර පමණක් ආහාරය යි දැක්විණි. දැක්වුණු පිළිවෙල දේශනා ක්‍රමය විනා උත්පත්ති ක්‍රමය නො වේ ය යි දත යුතු.

සැලකිය යුතු විශේෂ.

ධ්‍යානාඞ්ග, බල, මාර්ගාඞ්ගාදිය පිළිබඳ මතු දැක්වෙන කරුණු විශේෂයෙන් සැලකිය යුතු. ඒ ඒ සිත්හි යෙදෙන චෛතසික සිතා බලනු.

1. විතක්ක, විචාර, පීති, එකග්ගතා, සෝමනස්ස, දෝමනස්ස, උපෙක්ඛා යන මේ සත ධ්‍යානාඞ්ග යයි යට දක්වන ලදි. එහෙත් චක්ඛු විඤ්ඤාණ පංච විඤ්ඤාණ සිත්හි පවත්නා එකග්ගතා ද වේදනා ද ධ්‍යානාඞ්ග නො වන බව දත යුතු. ඒ සිත්හි විතර්ක නැති බැවිනි. විතර්ක නැති සිත්හි පවත්නා එකග්ගතාව ද වේදනාව ද දුර්බල බැවින් ධ්‍යානාඞ්ග නො වේ. ධ්‍යානයෙහි ප්‍රධාන වන්නේ විතර්කය යි. ඒ මෙහි නැති. “විතක්ක පච්ඡිමකං ඣානං” විතර්කය පශ්චිම කොටැ ඇත්තේ ධ්‍යානය යනු එ හෙයින් කියන ලදි.

2. සද්ධා, විරිය, සති, සමාධි, පඤ්ඤා, හිරි, ඔත්තප්ප, අහිරික, අනොත්තප්ප යන මේ නවය බලය යි යට කියන ලදි. එහෙත් දෙපස් විඤ්ඤාණ, මනොධාතුත්තික, සන්තීරණත්තික යන මේ සොළොස් සිත්හි පවත්නා සමාධි බල නො වේ. ඒ සිත්හි විරිය නැති බැවිනි. විරිය නැති සිත්හි එකග්ගතා යෙදුණ ද එය දුර්බල බැවින් බල නො වේ. “විරියං පච්ඡිමකං බලං” වීර්යය පශ්චිම කොටැ ඇත්තේ බලය යනු එ හෙයින් කියන ලදි.

3. සම්මාදිට්ඨි සම්මාසඞ්කප්ප ආදි දොළොස මාර්ගාඞ්ග යයි යට කියන ලදි. එහෙත් අහේතුක සිත්හි පවත්නා එකග්ගතා මාර්ගාඞ්ග නො වේ. අහේතුක සිත්හි හේතු නැති බැවිනි. “හේතු පච්ඡිමකං මග්ගං” හේතු පශ්චිම කොටැ ඇත්තේ මාර්ගාඞ්ග යයි එහෙයින් කියන ලදි.

4. එකග්ගතාව විචිකිච්ඡා සම්පයුත්ත චිත්තයෙහි ද ඇත්තේ ය. එහෙත් ඒ එකග්ගතාව අධිමෝක්‍ෂ රහිත වැ යෙදෙන බැවින් මිච්ඡාසමාධි, සමාධින්‍ද්‍රිය, සමාධිබල බවට නො පැමිණෙයි. අධිමෝක්‍ෂ රහිත තන්හි පවත්නා එකග්ගතා චිත්ත ස්ථිති මාත්‍රය ය. සමාධි බල, ඉන්ද්‍රිය වීමට සමර්ථ නැති.

5. ඡන්‍ද, විරිය, චිත්ත, විමංසා ය යි අධිපති සතරෙක් යට දක්වන ලදි. මොව්හු ද්විහේතුක ත්‍රිහේතුක ජවන්හි ම යෙදෙති. මොමූහ ජවන් දෙකෙහි ද හසන ජවනයෙහි ද නො යෙදෙති. යෙදෙන්නෝ ද පූර්වාභිසංස්කාර වශයෙන් ද පූර්වාගමන වශයෙන් ද ලැබෙන පරිදි යෙදෙති. වීමංසාධිපති ද්විහේතුක ජවන්හි කැලම නැති. මේ සතරම ඇති කල්හි දු අධිපති වන්නේ එකෙක් මැ ය. දෙදෙනෙක් හෝ වැඩියෙක් හේ අධිපති නො වතෙි. වතොත් අධිපති යන අර්ථ ම ව්‍යර්ථ වේ.

“ඡ හෙතු පංච ඣානඞ්ගා මග්ගඞ්ගා නව වත්‍ථුතො

සොළසින්ද්‍රිය ධම්මා ච බලධම්මා නවෙරිතා

.

චත්තාරොධිපති වුත්තා තථාහාරා ති සත්තධා,

කුසලාදිසමාකිණ්ණො වුත්තො මිස්සකසඞ්ගහො.”

වස්තු වශයෙන් හේතු සයෙකි. ධ්‍යානාඞ්ග පසෙකි. සොම්නස්, දොම්නස් උපේක්‍ෂා වේදනා වශයෙන් එකක් ම බැවිනි. මාර්ගාඞ්ග නවයෙකි. ඉන්ද්‍රිය සොළසෙකි. බල නවයෙකි. අධිපති සතරෙකි. ආහාර සතරෙකි. මෙසේ කුසලාදීන් සමාකීර්ණ වූ මිශ්‍රක සංග්‍රහය සත් ආකාර වේ.

ප්‍රශ්න.

  1. ආහාර සතර දක්වා පැහැදිලි කරනු. මේ සතර පමණක් ආහාර නමින් දැක්වුණේ කිම?
  2. “එකග්ගතා ධ්‍යානාඞ්ගයෙකි.” කවර සිත්හි යෙදෙන එකග්ගතා කුමක් හෙයින් ධ්‍යානාඞ්ග නො වේ ද?
  3. “එකග්ගතා බල ධර්මයෙකි.” කවර සිත්හි යෙදෙන එකග්ගතා කුමක් හෙයින් බල නම් නො වේ ද?
  4. “එකග්ගතා කුමක් හෙයින් මාර්ගාඞ්ග නො වේ ද?
  5. අධිපති සතර අධිපති වන තැන් දක්වනු. මේ සතරම එක විට අධිපති වේ ද?