7. බෝධිපාක්‍ෂික සංග්‍රහය.

මිශ්‍රක සංග්‍රහයට ඉක්බිති බෝධිපාක්‍ෂික සංග්‍රහය දක්වනු ලැබේ. ඒ වනාහි සතිපට්ඨාන, සම්මප්පධාන, ඉද්ධිපාද, ඉන්ද්‍රිය, බල, බොජ්ඣංග මග්ග වසයෙන් කොටස් සතකට බෙදන ලද්දේ ය. එහි දු සතිපට්ඨාන සතරෙකි. සම්මප්පධාන සතරෙකි. ඉද්ධිපාද සතරෙකි. ඉන්ද්‍රිය පසෙකි. බල පසෙකි. බොජ්ඣංග සතෙකි. මාර්ගාඞ්ග අටෙකි. සියල්ල සත්තිසෙ (37) කි. සත්තිස් බෝධිපාක්‍ෂික ධර්ම යනු මේ යි.

බෝධි යනු සෝවාන් ආදි සතර මාර්ග සිත්හි යෙදෙන ප්‍රඥාවට නමෙකි. “බෝධි වුච්චති චතූසු මග්ගෙසු ඤාණං.” යනු එහෙයින් කියන ලදි. මේ සතර මාර්ගඥානය දුක්ඛාදි චතුස්සත්‍යය අවබෝධ කරයි. එ බැවින් එය බෝධි ය යි කියනු ලැබේ. “චත්තාරි සච්චානි බුජ්ඣතී ති බොධි” යනු විග්‍රහ යි. පක්‍ෂ නම් කොට්ඨාසය-සම්භාරය, බෝධි වෘක්‍ෂයෙහි වූවෝ බෝධිපාක්‍ෂිකයෝ ය. ඔහු නම් සති ආදි සත්තිස් ධර්මයෝ ය. නිවන් අරමුණු කරන-සෝවාන් ආදි සතර මාර්ග සිත්හි යෙදෙන සති ආදි සමූහය බෝධිපාක්‍ෂික නමින් මෙහි දැක්වෙන බව දත යුතු යි. ඔව්හු කොටස් වසයෙන් සතෙකි. විස්තර වශයෙන් සත්තිසෙකි. මෙහි ඇතැම් චෛතසික ඒ ඒ කෘත්‍ය වශයෙන් නම් කීපය බැගින් ලබන බව සැලකිය යුතු යි.

සතර සතිපට්ඨාන

සතිපට්ඨාන සතර නම්:

  1. කායානුපස්සනා සතිපට්ඨානය,
  2. වේදනානුපස්සනා සතිපට්ඨානය,
  3. චිත්තානුපස්සනා සතිපට්ඨානය
  4. ධම්මානුපස්සනා සතිපට්ඨානය යන මොහු යි.

සති නම් සිහිය යි - එ නම් දෙපණස් චෛතසිකයන් අතුරෙහි දැක්වුණු සති චෛතසිකය යි. පට්ඨාන නම් ප්‍රමුඛ ව, ප්‍රධාන වැ සිටින්නේ යි-සම්ප්‍රයුක්තයන් අතුරෙහි ප්‍රධාන වැ නොයෙක් අරමුණුවල සිත දුවන්නට ඉඩ නො දී පවත්නේ යි. සති ම පට්ඨාන වූයේ සතිපට්ඨාන ය. සිත නොයෙක් අරමුණුවල දුවන්නට ඉඩ නො දී එක ම අරමුණක බැඳැ මෙන් පවත්වන සතිය සතිපට්ඨානය යි කී නියා යි. ඒ වනාහි අරමුණු වශයෙන් චතුර්විධ වේ.

1. ආශ්වාස ප්‍රශ්වාසාදි රූපකායයෙහි ඒ කය අනු වැ බැලීම් වශයෙන් පවත්නා සතිපට්ඨානය කායානුපස්සනා සතිපට්ඨානය. කයෙහි කය අනු වැ බැලීම ආශ්වාස ප්‍රශ්වාස වශයෙන්, ඉරියාපථ වශයෙන්, චතුසම්පජඤ්ඤ වශයෙන්, පටික්කූල මනසිකාර වශයෙන්, ධාතුමනසිකාර වශයෙන්, නව සීවථික වශයෙන් යැ යි තුදුස් ආකාරයෙකින් වන්නේ ය.

2. නවවිධ වේදනායෙහි ඒ වේදනා අනුව බැලීම් වශයෙන් පවත්නා සතිපට්ඨානය වේදනානුපස්සනා සතිපට්ඨානය යි. නවවිධ වේදනා නම්-සුඛ දුක්ඛ, උපේක්‍ෂා, සාමිස සුඛ, දුඃඛ, උපෙක්‍ෂා, නිරාමිස සුඛ, දුඃඛ උපෙක්‍ෂා යි.

3. සොළොස් වැදෑරුම් චිත්තයෙහි ඒ චිත්තය අනු වැ බැලීම් වශයෙන් පවත්නා සතිපට්ඨානය චිත්තානුපස්සනා සතිපට්ඨානය යි. සොළොස් වැදෑරුම් චිත්ත නම්-සරාග චිත්ත, වීතරාග චිත්ත, සදොස චිත්ත, වීතදොස චිත්ත, සමොහ චිත්ත, වීතමොහ චිත්ත, සංඛිත්ත චිත්ත, වික්ඛිත්ත චිත්ත, මහග්ගත චිත්ත, අමහග්ගත චිත්ත, සඋත්තර චිත්ත, අනුත්තර චිත්ත, සමාහිත චිත්ත, අසමාහිත චිත්ත, විමුත්ත චිත්ත, අවිමුත්ත චිත්ත යි.

4. පස්වැදෑරුම් ධර්මයෙහි ඒ ධර්මය අනු වැ බැලීම් වශයෙන් පවත්නා සතිපට්ඨාන ධම්මානුපස්සනා සතිපට්ඨානය යි. පස් වැදෑරුම් ධර්ම නම්-පඤ්චනීවරණ, පඤ්චස්කන්‍ධ, ද්වාදසායතනා සත්තබොජ්ඣඞ්ග-චතුරාර්ය සත්‍ය යි. විස්තර සතිපට්ඨාන සූත්‍රයෙහි ය.

මේ සතිය සීලවිසුද්ධි ආදි ආරම්භයෙහි පටන් ලෞකික ය. මාර්ගයෙහි ලෝකෝත්තරය යි දත යුතු.

සතර සම්‍යක් ප්‍රධාන

සම්‍යක් ප්‍රධාන සතර නම්:-

  1. උපන් අකුසල ධර්ම ප්‍රහාණය කැරැ ගැන්ම පිණිස කරනු ලබන වීර්යය.
  2. නූපන් අකුශල ධර්ම නූපදවා ගැන්ම පිණිස කරනු ලබන වීර්යය.
  3. නූපන් කුශල ධර්ම උපදවා ගැන්ම පිණිස කරනු ලබන වීර්යය.
  4. උපන් කුශල ධර්ම වර්ධනය කැරැ ගැන්ම පිණිස කරනු ලබන වීර්යය යන මොහු යි.

සම්‍යක් ප්‍රධාන නම් යහපත් වීර්යය යි. දෙපණස් චෛතසික අතුරෙන් විරිය චෛතසිකය යි. මෙහි ප්‍රධාන යන්නෙන් වීර්යය කියනු ලැබේ. කෙ බඳු වීර්යයෙක් ද? “ඒකාන්තයෙන් මාගේ ශරීරයෙහි සම් ඇට නහර ඉතිරි වේවා, මස් ලේ වියලේවා, පුරුෂ ශක්තියෙන්, පුරුෂ පරාක්‍රමයෙන් යම් ගුණයක් ලබා ගත හැකි ද? ඒ නො ලබා වීර්යයාගේ නැවැත්මෙක් නො වේ” ය යි මෙසේ උපදනා නො පසු බස්නා වීර්යය යි. එය එකක් ම වුව ද කෘත්‍ය වශයෙන් චතුර්විධ වේ.

1. උපන් අකුශල ධර්ම ප්‍රහාණය කැරැ ගැන්ම පිණිස වීර්ය කිරීමනම්:- “අසුවල් කල අසුවල් දේශයෙහි දී අසුවල් තැන දී මට මෙබඳු අකුශලයෙක් සිදු විය. නිවන් හිම් කොටැ මම තවද එ බඳු අකුශලයක් නොකරමි”යි මෙසේ උපන් අකුසල් දුරු කැරැ ගැන්ම පිණිස ශීල පූරණ, සමථ, විදර්ශනා භාවනායෙහි දැඩි ව්‍යායාම කිරීම යි. උපන් අකුසල් ඒ ඒ ඇසිල්ලෙහි ම නිරුද්ධ වෙයි. එහි ප්‍රහාණය කිමෙක් දැ යි නො සිතිය යුතු. ඒ ඒ උපන් අකුසල් ගැන සිතා එ බඳු අකුසල් මතු නොකරන සේ උත්සාහ කිරීමයි මේ කීයේ.

2. නූපන් අකුශල ධර්ම නූපදවා ගැන්ම පිණිස වීර්ය කිරීම නම්-ස්ව සන්තානයෙහි මේ තාක් නූපන්-අනුන් කරනු දුටු විරූ හෝ ධර්මයෙහි ඇසූ විරූ හෝ අකුසල වේ නම් එ බන්දක් මම කිසි කලෙක නූපදවමි යි උත්සාහ කිරීම ය.

3. නූපන් කුශල ධර්ම උපදවා ගැන්ම පිණිස වීර්ය කිරීම නම්, චතුර්භූමක කුශල අතුරෙන් හෝ සප්ත විසුද්ධි අතුරෙන් හෝ යමක් තමා මේ තාක් නො ලද්දේ නම් කල් නො ඉක්මැ ඒ ලැබ ගැන්ම පිණිස උත්සාහ කිරීම ය.

4. උපන් කුශල ධර්ම වර්ධනය කැරැ ගැන්ම පිණිස වීර්ය කිරීම නම්, “ශීලා දී වූ මාගේ යම් කුශල ධර්ම කෙනෙක් වෙත් ද එය මාර්ග ඥානය ලබන තාක් මාගේ යයි කිය නො හැකිය. හෙට හෝ අනිද්දා හෝ මතු ජන්මයෙහි හෝ බිඳී යා හැකිය.” මෙසේ සිතා තම සතන්හි උපන් කුශල ධර්ම අකොප්‍ය වන සේ පවත්වා ගන්නට උත්සාහ කිරීම යි. නොහොත් තමහට ඉපිද තිබෙන ත්‍රෛභූමක කුශල ධර්ම බඳු අන්‍ය වූත් කුශල ධර්ම උපදවා ගැන්ම පිණිස වීර්ය කිරීම යි. ලෝකෝත්තර කුශල වරක් උපන්නොත් එබන්දෙක් නැවත උපදිය යනු කැලම නැති.

මෙ ද ගොත්‍රභූ තාක් ලෞකික ය. මාර්ගයෙහි ලෝකොත්තර යි. මාර්ගයෙහි වීර්යය සතර කෘත්‍යය ම එක විට සිද්ධ කෙරේ.

ප්‍රශ්න.

  1. බෝධිපාක්‍ෂික ධර්ම යන්නෙහි අර්ථය පැහැදිලි කරනු.
  2. බෝධිපාක්‍ෂික ධර්ම කෙතෙක් ද? එය කොටස් කීයකට බෙදිණි ද? ඒ කවරේ ද?
  3. සතර සතිපට්ඨාන කවරේ ද? සතිපට්ඨාන යන්නෙහි අර්ථය පැහැදිලි කරනු.
  4. සම්‍යක් ප්‍රධාන සතර දක්වනු.
  5. සම්‍යක් ප්‍රධාන යන්නෙහි අර්ථය පැහැදිලි කොට එය චතුර්විධ වීමේ හේතු දක්වනු.