1. ප්‍රත්‍යය හා ප්‍රත්‍යයොත්පන්න

ප්‍රත්‍යය, ධර්මය, ප්‍රත්‍යයොත්පන්න ධර්මය යි ධර්ම දෙ කොටසෙකි. ප්‍රත්‍යය ධර්ම නම් යම් කිසිවෙක පැවැත්මට හෝ නිපැත්තමට උපකාර වන හේතු ධර්ම යි. හේතු කාරණ, බීජ යනාදිය එයට පර්යාය නාම යි. ප්‍රත්‍යයොත්පන්න ධර්ම නම් එම ප්‍රත්‍යයයෙන් පවත්නා වූ හෝ නිපදින්නා වූ ඵල ධර්ම යි. සංඛත සංඛාර යනාදිය එයට පර්යාය නාම යි. ජලයෙන් වෘක්‍ෂ ලතා පවතී. මෙහි ජලය ප්‍රත්‍යය ය. වෘක්‍ෂ ලතා ප්‍රත්‍යයොත්පන්න ය. වෘක්‍ෂ ලතාවන්ට ජලය ප්‍රත්‍යය වූයේ පැවැත්මට ය. නිපැත්මට නොවේ. බීජයෙන් අඞ්කුර සෑදේ. මෙහි බීජය ප්‍රත්‍යය ය. අඞ්කුර ප්‍රත්‍යයොත්පන්න ය. බීජය අඞ්කුරයට ප්‍රත්‍යය වූයේ නිපැත්මට ය. පැවැත්මට නො වේ. මෙසේ ඵලයක පැවැත්මට හෝ නිපැත්මට උපකාර වන්නේ ප්‍රත්‍යය යයි ද පවත්නා වූ හෝ නිපදෙන්නා වූ ඵලය ප්‍රත්‍යයොත්පන්නය යි ද දතයුතු.

වරෙක ප්‍රත්‍යයොත්පන්නයක් පසු වරෙක ප්‍රත්‍යයයක් විය හැකි ය. එවිට එය ප්‍රත්‍යයය යි ම කියනු ලැබේ. බීජයෙන් වෘක්‍ෂ සෑදේ. මෙහි බීජය ප්‍රත්‍යය ය. වෘක්‍ෂ ප්‍රත්‍යයොත්පන්න ය. ඒ වෘක්‍ෂයෙන් බීජ සෑදේ. මෙහි වෘක්‍ෂය ප්‍රත්‍යය ය. බීජ ප්‍රත්‍යයොත්පන්න යි. පළමු ප්‍රත්‍යයොත්පන්නය පසු වැ ප්‍රත්‍යය වූ සැටි මෙයින් අවබෝධ කරගත හැකි ය.

ප්‍රත්‍යයොත්පන්නයන්ට සංඛත හෝ සංඛාර යනු පර්යාය නාමයෙකැ යි යට කියන ලදි. ප්‍රත්‍යයයෙන් සංස්කරණය කැරෙන්නේ සංඛතය-හෙවත් සංඛාර ය. මෙහි සංස්කරණය නම් පැවැත්ම හා නිපැත්ම යයි කිය යුතු යි. නාම රූප ධර්ම සංඛත හෝ සංඛාර ය ප්‍රත්‍යයෙන් පවත්නා බැවිනි. නිපදෙනා බැවිනි. නිර්වාණය අසංඛත හෝ අසංඛාර ය. එය ප්‍රත්‍යයයෙන් පවත්නේ ද නො වේ. නිපදෙන්නේ ද නො වේ. එබැවිනි.

සංඛත සංඛ්‍යාත නාමරූප ධර්මයන්ගේ විස්තර විභාගය යට චිත්තපාදාදි පරිච්ඡේද සතින් දක්වන ලද්දේ ය. නාම රූප පරිච්ඡේද ඥානය නිර්වාණාවබෝධයට ප්‍රථමාධාර යි. දැන් දත යුත්තේ ඒ සංඛත සංඛ්‍යාත නාමරූප කවර කවර ප්‍රත්‍යයයෙකින් පවත්නේ ද නිපදින්නේ ද යනුයි. පච්චය පරිග්ගහ ඤාණය නිර්වාණාවබෝධයට ඉක්බිති ආධාර යි. මේ කාණ්ඩයෙන් ඒ ප්‍රත්‍යය විභාගය දක්වනු ලැබේ. ප්‍රත්‍යය විභාගය සමග ම ප්‍රත්‍යයොත්පන්නයන්ගේ විශේෂ විභාග ද ප්‍රත්‍යයයෙකින් ප්‍රත්‍යයොත්පන්නයන්ගේ පවතින නිපදෙන ආකාර ද තතු පරිදි දක්වනු ලැබේ.

ප්‍රත්‍යය වනාහි බුදුරජාණන් වහන්සේ විසින් පටිච්ච සමුප්පාද ක්‍රමය, පට්ඨාන ක්‍රමය යන දෙ ආකාරයෙකින් වදාරන ලද්දේය. පටිච්චසමුප්පාදකක්‍රමය නම් පටිච්චසමුප්පාද විභඞ්ගාදියෙහි වදාළ ක්‍රමය යි. පට්ඨාන ක්‍රමය නම් සමන්තපට්ඨාන මහාප්‍රකරණයෙහි වදාළ ක්‍රමය යි.

“තබ්භාවහාවිවාකාරමත්තොපලක්ඛිතො පටිච්ච සමුප්පාදනයො” යනු අභිධර්මාර්ථසංග්‍රහයෙහි පටිච්චසමුප්පාද ක්‍රමය තේරූ සැටියි. ප්‍රත්‍යය ධර්ම ඇති කල්හි ප්‍රත්‍යයොත්පන්න ධර්ම ඇති වීම් ආකාර මාත්‍රයෙන් යුක්ත වූයේ පටිච්ච සමුප්පාද ක්‍රමය වේ. යනු එහි අර්ථ යි. “ඉමස්මිං සති ඉදං හොති, ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති” - මේ ඇති කල්හි මේ වන්නේ ය. මේ ඉපදීමේ මේ උපදින්නේ ය යි පැවති සංඛත ධර්ම නියාමය මෙයින් දැක්විණි යි දතයුතු. “පටිච්ච ඵලං සමුප්පජ්ජති එතස්මාති පටිච්ච සමුප්පාදො” යම් හේතුවකින් ඵලයෙක් උපදින්නේ ද ඒ හේතුව පටිච්ච සමුප්පාද යි. එවිට ඵලය පටිච්ච සමුප්පන්න යි දතයුතු. හේතුඵල ධර්මක්‍රමය පටිච්ච සමුප්පාද ක්‍රමය යි කී බව මෙයින් අවබෝධ කර ගත යුතු යි.

“පට්ඨානනයො පන ආහච්ච පච්චයට්ඨිති මාරබ්භ පවුච්චති” යනු පට්ඨාන නය තේරූ පරිදි යි. පට්ඨාන නය වනාහි ආහච්ච පච්ච යට්ඨිතිය අරබයා කියනු ලැබේ යනු එහි අර්ථයි. ආහච්ච පච්ච යට්ඨිතිය නම් විශේෂ ප්‍රත්‍යයන්ගේ පැවැත්ම යි. පටිච්ච සමුප්පාද ක්‍රමයෙන් යම් කිසි ප්‍රත්‍යයයෙකින් යම් කිසි ප්‍රත්‍යයොත්පන්නයෙක් වේ ය යි කීකල්හි ඒ ප්‍රත්‍යයයෙන් ඒ ප්‍රත්‍යයොත්පන්නය වීමට කවර කවර විශේෂ ප්‍රත්‍යය ඇත්තේ ද යනු දැක්වීම පට්ඨාන ක්‍රමය යි. අවිද්‍යායෙන් සංස්කාර වේ යනු පටිච්චසමුප්පාද ක්‍රමයයි. අවිද්‍යායෙන් සංස්කාර වීමට හේතු, ආරම්මණ, අධිපති ආදි සූවිසි ප්‍රත්‍යය අතුරෙන් කවර කවර විශේෂ ප්‍රත්‍යය ඇතිවිය යුතු ද? යනු දැක්වීම පට්ඨාන ක්‍රමය යි සේයි. “නානප්පකාරානි ඨානානි පච්චයා එත්‍ථාති පට්ඨානං” නානාප්‍රකාර ප්‍රත්‍යයෝ යම් තැනෙක දැක්වෙත් ද එය පට්ඨානය යි. එනම් සමන්තපට්ඨාන මහා ප්‍රකරණය යි. එහි දැක්වුණු ප්‍රත්‍යය ක්‍රමය පට්ඨාන ක්‍රමය යි.

ආචාර්යයෝ විශුද්ධිමාර්ගාදියෙහි මේ පටිච්චසමුප්පාද ක්‍රමය හා පට්ඨාන ක්‍රමය මිශ්‍ර කොට දක්වති. මෙහි වෙන් වෙන් වශයෙන් දක්වනු ලැබේ.

ප්‍රශ්න.

  1. ප්‍රත්‍යය හා ප්‍රත්‍යයොත්පන්න පැහැදිලි කරනු. එයට පර්යාය නම් ද දක්වනු.
  2. ප්‍රත්‍යයොත්පන්නයෙක් පසු වැ ප්‍රත්‍යය විය හැකි ද? උදාහරණ දෙනු.
  3. සංඛත යනු කවරේ ද? අසංඛත යනු කවරේ ද?
  4. පටිච්චසමුප්පාද යනු කිම? පටිච්චසමුප්පාද ප්‍රත්‍යය ක්‍රමය විස්තර කරනු.
  5. පට්ඨාන යනු කිම? පට්ඨාන ප්‍රත්‍යය ක්‍රමය විස්තර කරනු.