2. පටිච්ච සමුප්පාද නය.

අවිද්‍යා ප්‍රත්‍යයයෙන් සංස්කාර වන්නේ ය.

සංස්කාර ප්‍රත්‍යයයෙන් විඥාන වන්නේ ය.

විඥාන ප්‍රත්‍යයයෙන් නාමරූප වන්නේ ය.

නාම රූප ප්‍රත්‍යයයෙන් ෂඩායතන වන්නේ ය.

ෂඩායතන ප්‍රත්‍යයයෙන් ස්පර්ශ වන්නේ ය.

ස්පර්ශ ප්‍රත්‍යයයෙන් වේදනා වන්නේ ය.

වේදනා ප්‍රත්‍යයයෙන් තෘෂ්ණා වන්නේ ය.

තෘෂ්ණා ප්‍රත්‍යයයෙන් උපාදාන වන්නේ ය.

උපාදාන ප්‍රත්‍යයයෙන් භව වන්නේ ය.

භව ප්‍රත්‍යයයෙන් ජාති වන්නේ ය.

ජාති ප්‍රත්‍යයයෙන් ජරාමරණ ද සෝක පරිදේව දුක් දොම්නස් ද වන්නේ ය.

මෙසේ මේ හුදු දුඃඛස්කන්‍ධයාගේ සම්භවය වේ. යනු පටිච්ච සමුප්පාද ප්‍රත්‍යය ක්‍රමය යි.

මෙහි අද්ධ තුනෙක් ද, අඞ්ග දොළොසෙක් ද, ආකාර විස්සෙක් ද, සන්‍ධි තුනෙක් ද, සංක්‍ෂෙප සතරෙක් ද, වට්ට තුනෙක් ද, මුල් දෙකෙක් ද ඇතැ යි දතයුතු.

අද්ධ තුන නම් අතීත අද්ධ, අනාගත අද්ධ, පච්චුප්පන්න අද්ධ යන මේ ය. අවිද්‍යා, සංස්කාර අතීත අද්ධ ය. ජාති ජරා මරණ අනාගත අද්ධ ය. මැද අට පච්චුප්පන්න අද්ධ යි. අද්ධ අඞ්ග දොළොස නම් අවිද්‍යා, සංස්කාර, විඥාන, නාමරූප, ෂඩායතන, ස්පර්ශ, වේදනා, තෘෂ්ණා, උපාදාන, භව, ජාති, ජරා මරණ යන මේ ය. ශෝකාදිය නිස්සන්‍ද ඵල යි.

ආකාර විස්ස මෙසේ ය. අවිද්‍යා සංස්කාර ගනුත් ම තෘෂ්ණා උපාදාන භව ද ගැනෙන්නේ ය. තෘෂ්ණා, උපාදාන, භව ගනුත්ම අවිද්‍යා, සංස්කාර ද, ගැනෙන්නේ ය. ජාති ජරාමරණ ගනුත් ම විඥාන, නාමරූප, ෂඩායතන, ස්පර්ශ, වේදනා යන ඵල පස ගැනෙන්නේ ය. මෙසේ ගත් කල්හි අවිද්‍යා, සංස්කාර, තෘෂ්ණා, උපාදාන, භව යන පස අතීත හේතු ය. විඥාන, නාමරූප, ෂඩායතන, ස්පර්ශ, වේදනා යන පස වර්තමාන ඵල ය. තෘෂ්ණා, උපාදාන, භව, අවිද්‍යා, සංස්කාර යන පස වර්තමාන හේතු ය. විඥාන නාමරූප, ෂඩායතන ස්පර්ශ, වේදනා යන පස අනාගත ඵල යි. ජාති, ජරාමරණ විඥානාදියෙහි ම ඇතුළත් බව යට කියන ලදි.

සන්‍ධි තුන ද සංක්‍ෂේප සතර ද මෙහි ඇතුළති. ඒ මෙසේ ය. අවිද්‍යා සංස්කාර එක් සංක්‍ෂේපයක. එය අතීත හේතු සංක්‍ෂේපය යි. තෘෂ්ණා, උපාදාන, භව ද එහි ඇතුළත් වන බව දත යුතු. විඥාන, නාමරූප, ෂඩායතන, ස්පර්ශ, වේදනා එක් සංක්‍ෂේපයෙක. එය වර්තමාන ඵල සංක්‍ෂේපය යි. තෘෂ්ණා, උපාදාන, බව එක් සංක්‍ෂේපයෙක. එය වර්තමාන හේතු සංක්‍ෂේපය යි. අවිද්‍යා සංස්කාර ද එහි ඇතුළත් වන බව දත යුතු. ජාති, ජරා, මරණ එක් සංක්‍ෂේපයෙක. එය අනාගත ඵල සංක්‍ෂේපය යි. විඤ්ඤාණ, නාමරූප, ෂඩායතන ස්පර්ශ වේදනා ද මෙහි ඇතුළත් බව දත යුතු යි.

මේ සංක්‍ෂේප සතර මැද සන්‍ධි තුන යි. ඒ මෙසේ ය. සංස්කාර විඥාන අතර එක් සන්‍ධියෙක. එය හේතු ඵල සන්‍ධි යි. වේදනා තෘෂ්ණා අතර එක් සන්‍ධියෙක. එය ඵල හේතු සන්‍ධි යි. භව ජාති අතර එක් සන්ධියෙක. එය හේතු ඵල සන්ධි යි. ප්‍රථම සන්ධිය අතීත හේතු හා වර්තමාන ඵල සම්බන්‍ධ කෙරේ. ද්විතීය සන්ධිය වර්තමාන ඵල හා වර්තමාන හේතු සම්බන්ධ කෙරේ. තෘතීය සන්ධිය වර්තමාන හේතු හා අනාගත ඵල සම්බන්ධ කෙරේ.

වට්ට තුන නම් කිලෙස වට්ට, කම්ම වට්ට, විපාක වට්ට යන මේ ය. අවිද්‍යා, තෘෂ්ණා, උපාදාන කිලෙස වට්ට ය කර්ම භව සංඛ්‍යාත භවෙකදෙසය ද සංස්කාර ද කම්ම වට්ට ය. උප්පත්ති භව සංඛ්‍යාත භවෙකදෙසය ද සෙස්ස ද විපාක වට්ට යි.

මුල් දෙක නම් අවිද්‍යා තෘෂ්ණා යි.

මේ මුල් දෙක සිඳීමෙන් යට දැක්වුණු ත්‍රිිවිධ වෘත්ත ම සිඳී යෙයි. ජරා මරණ මූර්ච්ඡායෙන් නිතර පීඩිත වූවන්ට ආශ්‍රව උපදින්නේ ය. ආශ්‍රව හේතු කොට ගෙනැ අවිද්‍යාව වැඩෙන්නේ ය. මෙසේ සම්බන්‍ධ වූ අනාදිමත් ත්‍රෛභූමක වෘත්තය පටිච්ච සමුප්පාදය යි මහා මුනීන් වහන්සේ වදාළ සේක.

කීයේ මැ යි.

“තෙසමෙව ච මූලානං නිරොධෙන නිරුජ්ඣති,

ජරාමරණමුච්ඡාය පීළිතානමභිණ්හසො

ආසවානං සමුප්පාදා අවිජ්ජා ච පවඩ්ඪති.

වට්ටමාබද්ධමිච්චෙවං තෙභූමකමනාදිකං

පටිච්චසමුප්පාදෙති පට්ඨපෙසි මහාමුනී.”

මේ සියල්ල පිළිබඳ විස්තරය මතු දැක්වේ.

ප්‍රශ්න.

  1. පටිච්චසමුප්පාදනය දක්වනු.
  2. එහි ඇතුළත් කොටස් වෙන්කොටැ දක්වනු.
  3. අද්ධ තුන හා අඞ්ග දොළොස දක්වනු.
  4. ආකාර විස්ස හා සන්ධි තුන දක්වනු.
  5. තුන හා මුල් දෙක දක්වනු.