3. අවිද්‍යා ප්‍රත්‍යයයෙන් සංස්කාර වන්නේ ය.

1. අවිද්‍යාව නම් කිම? 2. සංස්කාර නම් කිම? 3. අවිද්‍යා ප්‍රත්‍යයයෙන් සංස්කාර වන්නේ කෙසේ ද? යනු මෙහිලා දැන ගත යුතු.

1. අවිද්‍යාව නම් මෝහ චෛතසිකය යි. (චෛතසික පාදයේ අකුශල චෛතසික බලනු.) මෝහය සර්වාකුශල සාධාරණයෙකි. දොළොස් අකුසල් සිත්හි සම්ප්‍රයුක්ත වශයෙන් ම යෙදෙයි. මෝහයට මෙහි අවිද්‍යාය යි කියන ලද්දේ නො දැන්මය යන අර්ථයෙනි. යම් නො දැන්මෙක් සත්ත්‍වයා අන්ත විරහිත සංසාරයෙහි දුවවන්නේ ද ඒ නො දැන්ම අවිද්‍යාව යි. ඒ වනාහි දුඃඛ සත්‍ය, සමුදයසත්‍ය, නිරෝධසත්‍ය, මාර්ගසත්‍ය යන චතුරාර්ය සත්‍යයෙහි ද, පූර්වාන්ත, අපරාන්ත, පූර්වාපරාන්ත, පටිච්චසමුප්පාද යන අටතන්හි නොදැන්මය යි දත යුතු.

අවිද්‍යාව නැත්තේ විද්‍යා සංඛ්‍යාත අර්හත් මාර්ගඥානයෙන් කෙලෙස් ප්‍රහාණ කළ රහතන්ට පමණෙකි. ඉන් මොබ සියල්ලන්ට අවිද්‍යාව ඇත්තේ ය. ඒ ඇති බව ද නොයෙක් ආකාර ය. අකුසල් කරන කල්හි ඒ අකුසල් සිත්හි අවිද්‍යාව හෙවත් මෝහය සම්ප්‍රයුක්ත වශයෙන් ම ඇත්තේ ය. කාමාවචර, රූපාවචර, අරූපාවචර කුශල කරන කල්හි ඒ කුසල සිත්හි අවිද්‍යාව හෙවත් මෝහය සම්ප්‍රයුක්ත වශයෙන් නැත. එහෙත් අනුශය වශයෙන් ඇත්තේ ය. අනුශය නම් මාර්ග ඥානයෙන් ප්‍රහාණය නො කළා වූ අරමුණු ලැබුණු කල්හි නැගී එන්නා වූ කෙලෙස් ය. ඔව්හු සත් දෙනෙකි. අවිද්‍යාව ද ඉන් එකෙකි. (සමුච්චයපාදයේ අනුසය කොටස බලනු.)

අවිද්‍යාව අන්ධකාරය බඳු ය. ලොව පිරී ඇත්තේ අන්‍ධකාරයෙනි. ආලෝක ධරන ධරන ප්‍රමාණයෙන් අන්‍ධකාර දුරු කළ හැකි ය. අකුශල කරන්නෝ අන්ධකාරයේම ගැලී සිටින්නෝ ය. කාමාවචර රූපාවචර අරූපාවචරන කුශල කරන්නෝ ඒ ඒ ප්‍රමාණයෙන් කාලික වශයෙන් අන්ධකාරයෙන් ඈත් වෙති. එහෙත් ඔවුන්ට අන්ධකාරය නැතැ යි නොකිය යුතු ය. සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, මාර්ග සිත් ලෝකෝත්තර කුසල් ය. එයිනුදු අන්ධකාරය එකදේශයෙකින් දුරු වේ. එහෙත් ඝන බහල මහාන්ධකාරය සූර්යයා මෙන් අර්හත් මාර්ගඥානය සමස්ත අවිද්‍යාව විහත විධ්වංසනය කරන්නේ ය. අර්හත් ඵලස්ථයෝ එහි විපාක එහි ම විඳිති. එසේ හෙයින් රහත් නො වූ සියලු සත්ත්‍වයන්ට සම්ප්‍රයුක්ත වශයෙන් හෝ අනුශය වශයෙන් හෝ අවිද්‍යාව ඇතැ යි දත යුතු යි.

2. සංස්කාර නම් ලෞකික කුශල කර්ම හා අකුශල කර්මය; හෙවත් ලෞකික කුශලාකුශල සිත්හි යෙදෙන චේතනා චෛතසික යි.

ශංඛාර ශබ්දයෙහි නොයෙක් අර්ථ ඇත්තේ ය.

“සංඛාරොසංඛාතෙ පුඤ්ඤා-

භිසංඛාරාදිකෙ පි ච,

පයොගෙ කායසංඛාරා

ද්‍යභිසංඛරණෙසු ච”

සංඛාර ශබ්දය ප්‍රත්‍යයොත්පන්නයෙහි ද, පුඤ්ඤාභිසංඛාරාදියෙහි ද, ව්‍යාපාරයෙහි ද, කායසංඛාරාදි අභිසංස්කරණයෙහි ද වැටේ යන ගාථායෙහි අර්ථ යි. සංඛාර ශබ්දයෙන් වාච්‍ය වන අර්ථ අතුරෙන් මෙහි පුඤ්ඤාභිසංඛාරාදිය කියවෙන බව දත යුතු. පුඤ්ඤාභිසංඛාරාදිය නම් පුඤ්ඤාභිසංඛාර, අපුඤ්ඤාභිසංඛාර, ආනෙඤ්ජාභිසංඛාර යන තුනයි. පුඤ්ඤාභිසංඛාර නම් කාමාවචර කුශල චේතනා අට ද, රූපාවචර කුශල චේතනා පස ද යන තෙලෙස් කුශල චේතනා ය. අපුඤ්ඤාභිසංඛාර නම් අකුශල චේතනා දොළොස ය. ආනෙඤ්ජාභිසංඛාර නම් අරූපාවචර කුශල චේතනා සතර ය.

මෙය ම කායසංඛාර, වචීසංඛාර, මනොසංඛාර යයි තුන් කොටසකට බෙදේ. කායද්වාරයෙහි පැවැති කුශලා කුශල චේතනා කායසංඛාරය - එනම් කාමාවචර කුසල චේතනා අට ද අකුසල චේතනා දොළොස ද යන කුසලාකුසල විස්ස ය. වාග් ද්වාරයෙහි පැවති කුශලාකුශල චේතනා වචී සංඛාරය. එනම් යට දැක්වුණු විස්සම ය. මනොද්වාරයෙහි පැවැති කුශලාකුශල චේතනා මනොසංඛාරය. එනම් කාමාවචර කුශල චේතනා අට ද, අකුශල චේතනා දොළොස ද, රූපාවචර අරූපාවචර කුසල චේතනා නවය ද යන එකුන් තිස් චේතනා යි.

චේතනාව කර්මය යි කියනු ලැබේ. එය ම මෙහි සංස්කාර යයි කියන ලද්දේ ය. මතු විපාක ලැබෙන පරිදි සංස්කරණය කැරෙන බැවිනි. “කම්මං ඛෙත්තං” - කර්මය කුඹුර ය. එය සකස් වුණු පමණින් රෝපිත බීජයෙන් ඉෂ්ට හෝ අනිෂ්ට ඵල ලැබේ.

3. අවිද්‍යා ප්‍රත්‍යයයෙන් සංස්කාර වන්නේ කෙසේ ද? යනු දැන් දතයුතු.

පැවැත්මට හෝ නිපැත්මට උපකාර වන ධර්ම ප්‍රත්‍යය බව යට කියන ලදි. මෙහි අවිද්‍යාව සංස්කාරයන්ට උපකාර වන්නේ පැවැත්මට ය. නිපැත්මට නො වේ. අවිද්‍යායෙන් සංස්කාර උපදින්නේය යි අර්ථ නො ගත යුතු. අවිද්‍යාව ඇති බව හේතු කොටැ ගෙන සත්ත්‍වයන් විසින් කරනු ලබන යහපත හේ අයහපත සංස්කාර හෙවත් කර්ම වන්නේය යි අර්ථ ගත යුතු. ව්‍යතිරෙක ක්‍රමය බලනු. අවිද්‍යාව නැත්නම් සංස්කාර ද නො වන්නේ ය. රහතන්ට අවිද්‍යාව නැත. එ බැවින් රහතන් විසින් කරනු ලබන යහපත වේවා, අයහපත වේවා, සංස්කාර හෙවත් කර්ම නො වන්නේ ය. එබැවින් ම එය ක්‍රියා යයි කියනු ලැබේ.

අවිද්‍යාව එකාන්ත අකුශලයෙක. සංස්කාර කුශල වූයේ ද ඇත. අකුශල වූයේ ද ඇත. අවිද්‍යායෙන් අපුඤ්ඤාභිසංඛාර සංඛ්‍යාත අකුසල වේවා, කොසඹ බීජයෙන් කොසොඹ පැල හටගනීවා, අවිද්‍යායෙන් පුඤ්ඤාභිසංඛාර ආනෙඤ්ජාභිසංඛාර සංඛ්‍යාත කුසල කෙසේ වන්නේ ද? කොසොඹ බීජයෙන් උක් හෝ මුද්‍රික හෝ හටගත හැකි ද? යනු ප්‍රශ්නයෙකි. ඵලය හේතුවට සමාන ම විය යුතුය යන නියමයෙක් ලෝකයෙහි නැත. හේතුවට විරුද්ධ වූ ද අවිරුද්ධ වූ ද සමාන වූ ද අසමාන වූ ද ඵල ඇත්තේ ය. ගො ලෝමයෙන් කුසතණ නැගෙ යි. කොසොඹ බීජයෙන් කොසොඹ පැල හට ගනියි. එමෙන් අවිද්‍යා ප්‍රත්‍යයයෙන් කුශලාකුශල වන්නේ ය යි දතයුතු.

අවිද්‍යාව ප්‍රහීන නො වීම හේතු කොට ගෙනැ ජාති ජරා මරණාදි අනේකවිධ ආදීනවයෙන් යුක්ත වූ පුණ්‍ය ඵලය යි කියන ලද දෙව්මිනිස් ආදි සුඛ සම්මත දුක, දුක වශයෙන් නො දැන එය ලබා ගැන්ම සඳහා දෙවඟනක් දැකැ ඇය ලබාගන්නට මරු ප්‍රපාතයට නඟින කාමුක පුරුෂයකු සේ සත්ත්‍වයා පුඤ්ඤාභිසංඛාර රැස් කරන්නේ ය. එසේ ම සුඛ සම්මත වූ ඒ පුණ්‍යඵල අවසානයෙහි විපරිනාම දුක් සහිත බව හෝ අල්පාස්වාද බව හෝ නො දැන දිලියෙන පහන් සිල්ලට පනින පලඟැටියා සේ ද මී වැකුණු කඩු මූණත ලෝනා පුරුෂයා සේ ද පුඤ්ඤාභිසංඛාර රැස් කරන්නේ ය.

මතු විපාක දෙන කාමසේවනාදියෙහි ආදීනව නො දැනැ සැපයෙක යන සංඥායෙන් ද ක්ලේශයන්ගෙන් අභිභූත බැවින් ද අශුචි ගෙනැ කෙළනා කොලුවකු සේ විස කා මැරෙනු කැමති පුරුෂයකු සේ අපුඤ්ඤාභිසංඛාර රැස් කරන්නේ ය.

අරූප විපාකයෙහි සංඛාර විපරිනාම දුක නො දැනැ ප්‍රේත පුර මාර්ගයට බැස ගත් මංමුළා වූවකු සේ ආනෙඤ්ජාභිසංඛාර රැස් කරන්නේ ය.

මෙසේ අවිද්‍යාව ඇති බව හේතු කොටැ ගෙනැ කුසල් ද අකුසල් ද වන බව දත යුතු. අවිද්‍යාව සංඛාරයන්ට පට්ඨාන නයෙන් කෙසේ කෙසේ ප්‍රත්‍යය වන්නේ ද යනු මතු දක්වනු ලැබේ.

ප්‍රශ්න.

  1. අවිද්‍යාව නම් කිම? එය කවර සිතෙක සහජාත වශයෙන් ඇත්තේ ද? කවර සිතෙක අනුසය වශයෙන් ඇත්තේ ද? කවර සිතෙක සම්පූර්ණයෙන් නැත්තේ ද?
  2. සංස්කාර නම් කිම? සංඛාර ශබ්දයෙන් වාව්‍ය වන අර්ථ කවරේද? මෙහි කවර අර්ථයෙක් ගත යුතු ද? පුඤ්ඤාභිසංඛාර අපුඤ්ඤාභිසංඛාර ආනෙඤ්ජාභි සංඛාර කායසංඛාර, වචීසංඛාර, මනො සංඛාර මේ මේ යයි දක්වනු.
  3. අවිද්‍යායෙන් සංස්කාර වේ ය යි කුමක් හෙයින් කියනු ලැබේ ද?
  4. අකුශල මූලයක් වූ අවිද්‍යායෙන් කුසල ඇතිවීමේ ක්‍රමය දක්වනු.
  5. කුමක් හෙයින් සත්ත්‍වයෝ කාම, රූප, අරූප ලෝකයන්හි සැරිසරත් ද?