4. සංස්කාර ප්‍රත්‍යයයෙන් විඥානවන්නේ ය.

1. සංස්කාර යනු කිම? 2. විඥාන යනු කිම? 3. සංස්කාර ප්‍රත්‍යයයෙන් විඥාන වන්නේ කෙසේ ද? යනු මෙහි ලා දත යුතු.

1. සංස්කාර යනු යට දැක්වුණු පුඤ්ඤාභිසංඛාර, අපුඤ්ඤාභිසංඛාර, ආනෙඤ්ජාභිසංඛාර මැ යි. මින් පුඤ්ඤාභි සංඛාර අතුරෙන් අභිඤ්ඤා චේතනාව ද, අපුඤ්ඤාභිසංඛාර අතුරෙන් උපෙක්ඛා සහගත උද්ධච්චසම්පයුත්ත චේතනාව ද ප්‍රතිසන්ධි විපාක දීමෙහි ශක්ති නැති බව දත යුතු යි. එහෙත් ඒ දෙක ද, “අවිජ්ජා පච්චයා සංඛාරා” යන මෙහි සංඛාරයන්ට ඇතුළති.

2. විඥාන යනු විපාක විඥානය හෙවත් විපාක සිත් ය. ඒ වනාහි ප්‍රතිසන්ධි විපාක විඥානය ප්‍රවෘත්ති විපාක විඥාන යයි දෙවැදෑරුම් වේ. ප්‍රතිසන්ධි විපාක විඥාන නම් එකුන්විසි ප්‍රතිසන්‍ධි සිත් ය. එ නම් කුසල අහේතුක විපාක වූ උපෙක්ඛා සහගත සන්තීරණය, කාමාවචර සහේතුක විපාක අට, රූපාවචර විපාක පස, අකුශල විපාක උපෙක්ඛා සහගත සන්තීරණය, අරූප විපාක සතර යන මේ ය.

ප්‍රවෘත්ති විපාක විඥාන නම් දෙතිස් ලෞකික විපාක සිත් ය. එ නම් කාමාවචර කුසල අහේතුක විපාක අට හා සහේතුක විපාක අට, රූපාවචර විපාක පස, අකුශල විපාක සත, අරූපාවචර විපාක සතර යන මේ ය. ලෝකෝත්තර විපාක මෙහි ඇතුළත් නොවන බව දත යුතු යි.

3. සංස්කාර ප්‍රත්‍යයයෙන් විඥානය වන්නේ කෙසේ ද? මෙය ගැඹුරු තැනෙකි. විස්තර කළ යුතු තැනෙකි. යට දැක්වුණු චිත්ත ප්‍රවෘත්ති ක්‍රමය උගත්තවුන්ට පහසුයෙන් තේරුම් ගත හැකි ය. නැතහොත් තේරුම් ගැනීම දුෂ්කර ය. සිහි උපදවා ගෙනැ බලනු.

පැවැත්මට හා නිපැත්මට උපකාර වන්නේ ප්‍රත්‍යය ය යි යට කියන ලදි. අවිද්‍යාව සංස්කාරයන්ට උපකාර වූයේ පැවැත්මට ය. නිපැත්මට නො වේ. එහෙත් සංස්කාර විඥානයට උපකාර වන්නේ නිපැත්මට ය. පැවැත්මට නො වේ. සංස්කාර ගිය ජාතියට අයත් ය. විඥාන මේ ජාතියට අයත් ය. ගිය ජාතියේ රැස් කළ සංස්කාර සංඛ්‍යාත කර්ම හේතු කොට ගෙනැ මේ ජාතියේ විඥාන සංඛ්‍යාත විපාක පහළ වේ යනු මෙහි යතාර්ථය යි. එය එ සේ ම යයි කෙසේ දත යුතු ද? ගිය ජාතියේ සංස්කාර නුවූයේ නම් මේ ජාතියේ විඥාන කැල ම නො ලැබෙන බැවිනි. එසේ නො වැ ලැබෙන්නේ නම් සියල්ල සමාන විය යුතු ය. ධාතු ගුණ නානාත්‍වයෙන් වෘක්‍ෂලතාදීන්ගේ ප්‍රභේදය වන්නා සේ සංස්කාර සංඛ්‍යාත කර්ම නානාත්‍වයෙන් විඥානයාගේ ප්‍රභේදය වන්නේ ය. එයින් ම සත්ත්‍ව ප්‍රභේද ද වන්නේ ය. මෙයින් නිර්මාතෘ වාදය ද අහේතුක අප්‍රත්‍යය වාදය ද නිරස්ත වන බව දත යුතු යි.

දැන් දැනැ ගත යුත්තේ කවර කවර සංස්කාරයෙකින් කවර කවර විඥාන වන්නේ ද යනු යි.

කාමාවචර කුසල සිත් අට ද, රූපාවචර කුසල සිත් පස දැයි පුඤ්ඤාභිසංඛාර තෙළෙසෙකි. මින් කාමාවචර කුශල අට අතුරෙන් ද්විහේතුක ඔමක කුශල සංස්කාර සතරින් මනුෂ්‍ය ලෝකයෙහි ජාත්‍යන්‍ධ ජාතිබදිරාදීන්ගේ වශයෙන් ද දිව්‍යලෝකයෙහි බූමාටු දෙවියන්ගේ හා විනිපාතික අසුරයන්ගේ වශයෙන් ද කුශල විපාක උපෙක්ඛා සහගත සන්තීරණ සංඛ්‍යාත ප්‍රතිසන්‍ධි විපාක විඥානය ලැබේ. ප්‍රවෘත්ති විපාක වශයෙන් කුශල අහේතුක විපාක විඥාන අට ලැබේ.

ත්‍රිහේතුක ඔමක කුශල සංස්කාර සතරින් හා ද්විහේතුක උත්කෘෂ්ට කුශල සංස්කාර සතරින් ද්විහේතුක ප්‍රතිසන්ධි විපාක විඥාන සතර ලැබේ. ප්‍රවෘත්ති විපාක වශයෙන් ත්‍රිහේතුක රහිත ද්වාදශ විපාක විඥාන ලැබේ.

ත්‍රිහේතුක උත්කෘෂ්ට කුශල සංස්කාර සතරින් ත්‍රිහේතුක ප්‍රතිසන්‍ධි විඥාන සතර ලැබේ. ප්‍රවෘත්ති විපාක වශයෙන් සොළොස් විපාක විඥාන ම ලැබේ.

රූපාවචර කුශල සංස්කාර පසින් රූපාවචර විපාක විඥාන පස ලැබෙන්නේ ය. මේ පුඤ්ඤාභිසංඛාර ප්‍රත්‍යයයෙන් ලැබෙන විඥාන යි.

අපුඤ්ඤාභිසංඛාර සංඛ්‍යාත දොළොස් අකුශල සංස්කාර අතුරෙන් උද්ධච්චසහගත චිත්තය හැරැ සෙසු එකොළොසින් සතර අපායයෙහි ප්‍රතිසන්ධි වශයෙන් අකුශල විපාක උපෙක්ඛා සහගත සන්තීරණ විඥානය ලැබේ. ප්‍රවෘත්ති කාලයෙහි ඒ දොළොසින් ම සප්ත අකුශල විපාක විඥාන ලැබේ. මේ අකුශල ප්‍රවෘත්ති විපාක සත සුදුසු පරිදි සියලු කාම භූමි රූප භූමින්හි ලැබෙන බවද දත යුතු. මේ අපුඤ්ඤාභිසංඛාර ප්‍රත්‍යයයෙන් ලැබෙන විඥාන යි.

ආනෙඤ්ජාභිසංඛාර සංඛ්‍යාත අරූපාවචර කුශල සංස්කාර සතරින් අරූපාවචර විපාක විඥාන සතර ලැබේ. මේ ආනෙඤ්ජාභිසංඛාර ප්‍රත්‍යයයෙන් ලැබෙන විඥාන යි. මේ සියල්ල පිළිබඳ විශේෂ විභාගයට වීථිපාද, වීථිමුක්ත පාදාදීන්හි දැක්වුණු බව දත යුතු යි.

කිය යුත්තෙක් ඇත. අවිද්‍යා හා සංස්කාර හා අතීත හේතු පසට අයත් ය. ඒ අවිද්‍යා සංස්කාර වත් ම තෘෂ්ණා, උපාදාන භව ද වන්නේ ය. එහෙයින් අවිද්‍යා සංස්කාර ගනුත් ම තෘෂ්ණා, උපාදාන, භව ද ගත යුතු යයි යට කියන ලදි. විඥාන වර්තමාන ඵල පසට අයත් ය. ඒ විඥාන සමග නාමරූප, සළායතන, ඵස්ස, වේදනා ද බොහෝ සෙයින් යෙදී සිටින බව දත යුතුය. ඒ පිළිබඳ විස්තර විභාගය මතු දැක්වේ.

විමසා බලනු. සංස්කාර සංඛ්‍යාත කර්ම ගිය ජාතියේ ය. ඒ සංස්කාර සංඛ්‍යාත කර්මයෙන් කිසිවක් මේ ජාතියෙහි විඥාන සංඛ්‍යාත විපාක බවට ආයේ ද? ආයේයයි ද නො කිය යුතු ය. ඔවුන් නැතිවැ වූයේය යි ද නො කිය යුතුය. ශබ්දයෙන් නැගෙන දෝංකාර, පහනින් දල්වා ගන්නා පහන්, මුද්‍රායෙන් ගන්නා සටහන්, මිනිසකුගෙන් ගන්නා ඡායාරූප ගැනැ සිතනු. ඒ ශබ්දාදියෙන් දෝංකාරාදි බවට කිසිවක් ආයේ ද? නැත. ඒ ශබ්දාදිය නැත්නම් දෝංකාරාදිය වන්නේ ද? නැත. මේ ත් එ බඳු ය.

එසේ නම් එක ම පරම්පරා සම්බන්ධ හෙයින් සංස්කාර හා විඥාන හා හෙවත් කර්ම හා විපාක හා එකත්‍වයෙහි ලා නො කිය යුතු ද? නො කිය යුතු ය. කිරෙන් දී සෑදෙයි. කිරි හා දී හා එක ද? නැත. කිරි අනෙකෙකි. දී අනෙකෙකි. මේත් එ බඳු ය.

එසේ නම් කර්මය අනෙකෙකි. විපාකය අනෙකෙකි. එහි එකඟත්‍වයෙක් නැත. නානාත්‍වය ඇතැයි නො කිය යුතු ද? එ සේත් නො කිය යුතු ය. දිය කිරි අයත් ය. නැතහොත් දී හා කිරි හා සම්බන්‍ධ නො විය යුතු යි. මේ ත් එ බඳු ය.

තව ද විමසනු. කර්මය කළ තැනැත්තා හෙවත් ඔහු පිළිබඳ ස්කන්‍ධසන්තතිය විපාක විඳින අවස්ථායෙහි නැත. හේ හෝ එය ඒ ඒ තන්හි ම භඞ්ග වැ ගියේ ය. කර්මයෙන් ද කිසිවක් විපාක බවට නො ආයේ ය. ඉතින් අනිකකු කළ කර්මයට අනිකෙක් විපාක විඳින්නේ නො වේ ද? නො වේ. අඹ බිජුවටින් අඹරුකෙක් සෑදේ. ඒ රුකෙහි අඹගෙඩි සෑදේ. මුල් අඹ බිජු වට නැත. එයින් කිසිවක් අර අඹ ගෙඩිවලට ආයේ ද? නැත. මුල් අඹබිජුවටෙහි සම්බන්‍ධයක් පසු අඹගෙඩිවලට නැත්තේ ද? ඇත්තේ ය. මේත් එ බඳු ය. කුඩා කල උගත් ශිල්පශාස්ත්‍ර ද කුඩා කල වැළඳූ බෙහෙත් ද වැඩුණුකල ද ඵල දෙන්නේ ය.

සංස්කාර සංඛ්‍යාත කර්ම මේ තාක් විද්‍යමාන වැ ඇති හෙයින් විපාක දෙන්නේ ද? නැතහොත් විද්‍යමාන වැ නැති හෙයින් විපාක දෙන්නේ ද? විද්‍යමාන වැ ඇති හෙයින් විපාක දෙන්නේ නම් කර්ම ප්‍රවෘත්ති ක්‍ෂණයෙහි ම විපාක දිය යුතු. විද්‍යමාන වැ නැති හෙයින් විපාක දෙන්නේ නම් කර්මයෙන් පළමු හෝ විපාක දිය යුතු ය. කර්මය විද්‍යමාන වැ ඇති බව හෝ නැති බව විපාකයට කරුණු නො වේ. කර්මය කළ බව ම කරුණු වේ. “කාමාවචරස්ස කුසලස්ස කම්මස්ස කතත්තා උපචිතත්තා උප්පන්නං හොති චක්ඛුවිඤ්ඤාණං” - කාමාවචර කුශල කර්ම කළ බැවින් චක්‍ෂුවිඥානය උපන්නේ වේ යනු බුද්ධවචනයයි. ණය ගත්තේ ය. ණය දුන්නේ ය. ගනුදෙනුව එයින් අවසාන ය. පොළිත් සමග ණය ගෙවිය යුත්තේ ණය ගනුදෙනුව මේ තාක් විද්‍යමාන වැ ඇති බැවින් හෝ නැති බැවින් නොවේ. කළ බැවිනි. මේ ත් එබඳු ය.

ප්‍රශ්න.

  1. විඥාන උපදවන සංස්කාර කවරේ ද? ප්‍රතිසන්‍ධි විඥාන නූපදවන සංස්කාරත් ඇත්තේ ද? ඒ කවරේ ද?
  2. මෙහි විඥාන යනු කිම? ඒ කී වැදෑරුම් ද? කවර කවර සංස්කාරයෙකින් කවර කවර විඥාන වන්නේ ද?
  3. විඥානය සංස්කාරයෙන් වන්නේ යයි කෙසේ දත යුතු ද? සංස්කාරයෙන් විඥාන බවට කිසිවක් එන්නේ ද?
  4. විඥාන හා සංස්කාර හා එකත්‍වයෙහි හෝ නානාත්‍වයෙහි ලා නො කිය යුතු කිම?
  5. කර්මය කෙළේ අනිකෙකි. විපාක විඳින්නේ අනිකෙකි යි නො කිය යුතු මන් ද? කර්මයට විපාක ලැබෙන්නේ ඒ කර්මය විද්‍යමාන වැ ඇති බැවින් ද? නැති බැවින් ද?