5. විඥාන ප්‍රත්‍යයයෙන් නාමරූප වන්නේ ය.

1. විඥාන යනු කිම? 2. නාමරූප යනු කිම? 3. විඥාන ප්‍රත්‍යයයෙන් නාමරූප වන්නේ කෙසේ ද? යනු මෙහි ලා දත යුතු ය.

1. විඥාන යනු යට දැක්වුණු විපාක විඥාන මැ යි. විපාක සිත් හි චිත්ත චෛතසික සම්ප්‍රයුක්ත වැ ම ඇත්තේ ය. එහෙත් මෙහි විඥාන යනුවෙන් චිත්ත පමණක් ම ගත යුතුය. චෛතසික කොටස නාමරූප යන තන්හි නාම යන්නෙන් දැක්වේ. “සංඛාර පච්චයා විඤ්ඤාණං” යි කී තන්හි ද විඤ්ඤාණ යන්නෙන් කියවුණේ චිත්තය පමණෙකි. චිත්ත චෛතසික එක්වැ යෙදුණද ඔවුන්ගේ සූක්‍ෂමභේදය නිතර සිත්හි තබාගත යුතු යි. “අවිජ්ජා” යි කීයේ මෝහ චෛතසිකය යි. සංඛාරයි කීයේ චේතනා චෛතසිකය යි. විඤ්ඤාණ යි කීයේ චිත්තය යි. චෛතසිකයෙන් තොර වැ චිත්තය පමණෙක් කිසි විටෙක පහළ වේ ද? නැත. විඤ්ඤාණ වත් ම නාම රූප සළායතන ඵස්ස වේදනා ද වන්නේ ය. එහෙත් විඤ්ඤාණ නැත්නම් චෛතසික කැල ම නැත. එ බැවින් “සංඛාර පච්චයා විඤ්ඤාණං” යි පළමු කොටැ කියන ලදි.

2. නාම රූප යන්නෙහි නාම නම් වේදනා සඤ්ඤා සංඛාර යන ස්කන්‍ධත්‍රය යි - හෙවත් චෛතසික යි. රූප නම් අට විසි රූප යි. මෙහි විපාක විඥාන සමග යෙදෙන නාම රූප ගත යුතු යි. තව ද “නාමං ච රූපං ච - නාමරූපංඤ-නාමරූපං” නාම ද රූප ද - නාමරූප යි එක ශේෂ කොටැ ගත යුතු යි. එවිට

(අ) විඥාන ප්‍රත්‍යයයෙන් නාම වන්නේ ය

(ආ) විඥාන ප්‍රත්‍යයයෙන් රූප වන්නේ ය

(ඉ) විඥාන ප්‍රත්‍යයයෙන් නාමරූප වන්නේ ය යි

ත්‍රෛවිධ්‍යයෙක් වෙ යි.

(අ) විඥාන ප්‍රත්‍යයයෙන් නාම පමණෙක් වන්නේ කොහි ද? චතුවොකාර භව සංඛ්‍යාත අරූපාවචරයෙහි ය සතර අරූප භවයෙහි රූප නැත. ඇත්තේ චිත්ත චෛතසික සන්තතිය පමණෙකි. එබැවින් විඥාන ප්‍රත්‍යයයෙන් නාමය වන්නේ ය යනු එහි යෙදේ.

(ආ) විඥාන ප්‍රත්‍යයයෙන් රූප පමණෙක් වන්නේ කොහි ද? එකවොකාර භව සංඛ්‍යාත අසඤ්ඤසත්තයෙහි ය. අසඤ්ඤසත්තයෙහි රූප සන්තතිය ම විනා චිත්ත චෛතසික කැල ම නැත. එ බැවින් විඥාන ප්‍රත්‍යයයෙන් රූප වන්නේ ය යනු එහි යෙදේ. රූප ප්‍රතිසන්ධික බැවින් එහි විඤ්ඤාණ ද නැත්තේ නො වේ ද? කුමක් හෙයින් විඥාන ප්‍රත්‍යයයෙන් රූප වන්නේ ය යි කීයේ ද? එහි විඤ්ඤාණ යන්නෙන් අනික් තන්හි සේ විපාක විඤ්ඤාණ නො ගත යුතු ය. අභිසංඛාර විඤ්ඤාණගත යුතු ය. ඔහු පිළිබඳ පංචවොකාර භවයෙහි අභිසංඛාර විඤ්ඤාණ ප්‍රත්‍යයයෙන් රූප වූයේය යි ගත යුතු ය. එවිට මෙය “සංඛාර පච්චයා විඤ්ඤාණං” යි කී සේ වන්නේ ය. පටිච්චසමුප්පාදයෙහි මේ විශේෂ තැනෙකි.

විශුද්ධිමාර්ගයෙහි:-

“නාමරූපස්ස යං හෙතු විඤ්ඤාණංතං ද්විධා මතං

විපාකමවිපාකං ච යුත්ත මව යතො ඉදං”

යි කියන ලද්දේ මේ සඳහා යි.

(ඉ) විඥාන ප්‍රත්‍යයයෙන් නාමරූප වන්නේ කොහි ද? පංචවොකාර භව සංඛ්‍යාත සෙසු තන්හි ය. සෙසු කාමරූප භවයන්හි විඥාන ප්‍රත්‍යයයෙන් නාම රූප දෙක ම වන්නේ ය.

3. විඥාන ප්‍රත්‍යයයෙන් නාම රූප වන්නේ කෙසේ ද?

පැවැත්මට හා නිපැත්මට උපකාරවන්නේ ප්‍රත්‍යය යි යට කී බව සිහි කරන සංඛාර විඥානයට ප්‍රත්‍යය වූයේ නිපැත්මට ය. පැවැත්මට නොවේ. සංඛාර සංඛයාත ප්‍රත්‍යය අන්‍ය භවයෙක ය. විඥාන සංඛ්‍යාත ප්‍රත්‍යයොත්පන්නය අන්‍ය භවයෙක ය. (නාමරූප සළායතන ඵස්ස වේදනා ද විඥාන සමග ම බව මෙහි දී ද සලකනු.) විඥාන නාම රූපයට ප්‍රත්‍යය වන්නේ පැවැත්මට ය. නිපැත්මට නො වේ. විඥානවත් ම ඒ හේතුවෙන් නාම රූප ද වන්නේ ය යි එවිට අර්ථ ගත යුතු ය. විඥාන ප්‍රතිසන්ධි චිත්ත ය. නාම එහි යෙදෙන චෛතසික ය. රූප ඒ සමග ම උපදින කර්මජ රූප ය. මේ තුන් කොටසෙහි පහළ වීම ඉදිරි පසු නො වැ එක විට ම සිදු වන්නෙකි. ප්‍රධාන උණලීයක් සමග තව ද උණමිටි දෙකක් බැඳි උණමිටියෙක් අහසින් හෙයි. එය බිම පතිත වන්නේ එක විට ම පතිත වෙයි. කෙසගකු දු ඉදිරි පසු නො වේ. එහෙත් ප්‍රධාන උණලීය අනික් මිටි දෙකේ පැවැත්මට උපකාර ය. මේත් එබඳුයයි දත යුතු. එහි විශේෂ විභාගය මෙසේ ය.

අණ්ඩජ, ජලාබුජ, සංසෙදජ, ඔපපාතිකය යි සත්‍වයන්ගේ උත්පත්ති ක්‍රම සතරෙකි. බිජුවටින් හටගන්නා පක්‍ෂි සර්පාදි අණ්ඩජ ය. මව්කුස හටගන්නා මනුෂ්‍යාදි ජලාබුජ ය. මේ කිසි සම්බන්ධයක් නැති වැ පහළ වන දෙවාදි ඔපපාතික ය.

අණ්ඩජ ජලාබුජයෝ ඉදින් ස්ත්‍රීභාව පුරුෂභාව රහිතව උපදිත් නම් ඔවුන්ගේ ප්‍රතිසන්ධි විඥානය හා සමග කොටස් තෙවිස්සෙක් වෙයි. එනම් වේදනා, සඤ්ඤා, සංඛාර, කායදසක, දත්‍ථුදසක යන මේ ය. වේදනා, සඤ්ඤා, සංඛාර, නාම ය. පඨවි, ආපෝ, තේජෝ, වායු, වණ්ණ, ගන්ධ, රස, ඔජා, ජීවිතින්‍ද්‍රිය, කාය යනු කායදසකය යි. මුල් නවය ම හදයවත්‍ථු සමග වත්‍ථු දසක යි.

අණ්ඩජ, ජලාබුජයෝ ඉදින් භාව සහිත වැ උපදිත් නම් ඔවුන්ගේ ප්‍රතිසන්ධි විඥානය සමග කොටස් තෙතිසෙක් වෙයි. මෙහි භාවදසකයෙක් වැඩිණි.

ඕපපාතිකයන් අතුරෙන් බ්‍රහ්මයන්ගේ ප්‍රතිසන්ධි විඥානය සමග කොටස් දෙසාළිසෙකි. එ නම් වේදනා, සඤ්ඤා, සංඛාර, චක්ඛුදසක, සෝතදසක, වත්‍ථුදසක, ජීවිතින්‍ද්‍රිය නවක යන මේ ය.

කාමභවයෙහි සභාවක වැ පරිපූර්ණායතන වැ පහළ වන ඕපපාතිකයන්ගේ ද සංසේදජයන්ගේ ද ප්‍රතිසන්ධි විඥානය සමග කොටස් තෙසැත්තෑවෙ (73) ක් වෙයි. එනම් වේදනා, සඤ්ඤා, සංඛාර, චක්ඛුදසක, සෝතදසක, ඝාණදසක, ජිව්හා දසක, කායදසක, භාවදසක, වත්‍ථුදසක යන මේ ය. අභාවකයන්ගේ හෝ අපරිපූර්ණායතනයන්ගේ වශයෙන් මේ අඩු විය හැකි බව ද සලකනු.

අරූපීන්ගේ ප්‍රතිසන්ධි විඥානය සමග වේදනා, සඤ්ඤා, සංඛාර යන අරූප ස්කන්ධ තුන වේ.

අසඤ්ඤසත්තයන්ට ප්‍රතිසන්ධි වශයෙන් පහළ වන්නේ ජීවිත නවක ය යි.

මේ සියලු තන්හි විඥාන ප්‍රත්‍යයයෙන් වූ නාමරූප යි.

සිතින් රූප නැගෙන සැටි ප්‍රත්‍යක්‍ෂ වශයෙන් දැක්ක හැකි ය. සිත ප්‍රසන්න කල්හි රූප ද ප්‍රසන්න වේ. සිත අප්‍රසන්න කල්හි රූප ද අප්‍රසන්න වේ. ප්‍රත්‍යක්‍ෂයෙන් අප්‍රත්‍යක්‍ෂය අනුමාන කළ හැකි ය. විඥාන ප්‍රත්‍යයයෙන් රූප වේ යනු මේ නයින් සිතා ගත යුතු යි.

ප්‍රශ්න.

  1. විඥාන යනු කිම?
  2. නාම රූප යනු කිම? කුමක් හෙයින් මෙය නාම ද, රූප ද, නාමරූප ද, නාමරූපය යි එකශේෂ කළ යුතු ද?
  3. අසඤ්ඤසත්තයෙහි විඤ්ඤාණ නැත්තේ ය. එහි ‘විඤ්ඤාණ පච්චයා නාම රූපං’ යනු කෙසේ සිද්ධ වේද?
  4. විඤ්ඤාණ හා නාමරූප හා එක්වට ම උපදින්නේ ද නැත හොත් වෙන් වෙන් වැ උපදින්නේ ද? පැහැදිලි කැරැ දක්වනු.
  5. අණ්ඩජාදි සතර යෝනි පිළිබඳ විඥාන ප්‍රත්‍යයයෙන් වන නාම රූප මේ මේ ය යි විස්තර කරනු. විඤ්ඤාණයෙන් රූප වන්නේ ය යනු කෙසේ දැන ගත හැකි ද?