6. නාම රූප ප්‍රත්‍යයයෙන් ෂඩායතන වන්නේ ය.

1. නාමරූප යනු කිම? 2 ෂඩායතන යනු කිම? නාමරූප ප්‍රත්‍යයෙන් ෂඩායතන වන්නේ කෙසේ ද? යනු මෙහිලා දත යුතු යි.

1. නාමරූප යනු යට දැක්වුණු නාමරූප ම ය. එ ද නාම ද රූප ද නාමරූපය යි එකශේෂ කළ යුතු. නාම චතුවොකාර භව සංඛ්‍යාත අරූපාවචර සඳහා ය. නාමරූප පංචවොකාර භව සඳහා ය.

2. ෂඩායතන නම්; චක්ඛායතන, සෝතායතන, ඝාණායතන, ජිව්හායතන, කායායතන, මනායතන යන මේ සයයි. චක්ඛායතන නම් චක්‍ෂුඃප්‍රසාද රූප ය. සෝතායතනාදිය ශ්‍රෝත්‍ර ප්‍රසාදරූපාදිය යි. මනායතනය චක්ඛුවිඤ්ඤාණාදිය යි. මෙහි දු ෂෂ්ඨායතනය ද ෂඩායතනය ද ෂඩායතනය යි එකශේෂ කළ යුතු ෂෂ්ඨායතනය අරූපාවචර සඳහා ය. ෂඩායතන පංචවෝකාර භව සඳහා ය.

3. නාමරූප ප්‍රත්‍යයයෙන් ෂඩායතන වන්නේ කෙසේ ද? මෙහි දු පැවැත්මට උපකාර වන්නේ ප්‍රත්‍යය යි ගත යුතු. නාමරූප ඇති කල්හි ඒ නාමරූපයන්ට ම ඇතුළත් යයි කියයුතු වූ සයෙක් ඒ නාමරූප ඇතිහෙයින් ම ආයතන වන්නේ ය යි අර්ථ නො ගත යුතු.

විඤ්ඤාණ සමග ම නාමරූප සළායතන ඵස්ස වේදනා වෙති යි යට කියන ලදි. විඤ්ඤාණ වත් ම ඒ සමග ම නාම රූප ද වන්නේ ය. ෂඩායතනයෝ විඤ්ඤාණ නාම රූපවලින් බැහැරවූවෝ නො වෙති. එහි ම ඇතුළත් වූවෝ ය. විඤ්ඤාණ නාමරූප ගනුත්ම පරිපූර්ණ නාමකාය ද රූපකාය ද ගැනුණේ ය. එසේ වුව ද එහි වූ සත්ත්‍වප්‍රඥප්තියට ප්‍රධානය යි කිය යුතු වූද, ඵස්සාදි මතු දැක්වෙන අඞ්ග ඇතිවීමට ආධාරය යි කිය යුතු වූ ද, සත්ත්‍වයන් විසින් ආත්මග්‍රහ වශයෙන් බොහෝ සෙයින් ගනු ලබන්නේ ය යි කිය යුතු වූ ද සය ආයතනය යි වෙන් කොට දැක්වීමෙන් නාමරූප ප්‍රත්‍යයයෙන් ෂඩායතනය යි වෙන් කොට දැක්වීමෙන් නාමරුප ප්‍රත්‍යයයෙන් ෂඩායතන වන්නේය යි වදාළේ ය.

මේ ෂඩායතන ඇතිවීම පිළිබඳ ද විශේෂ ඇත්තේ ය. සංසෙදජ ඕපපාතිකයන්ට නාමරූප වන කල්හි ඒ සමග ම ෂඩායතන ද වේ. ඒ ඒ ලෝක වශයෙන් මේ අඩු විය හැකිය. බ්‍රහ්මයන්ට ඝාණායතනාදිය නැති බැවිනි. ඇතැම් සංසේදජ ඕපපාතිකයන්ට චක්ඛායතනාදීන් අතුරෙන් කිසිවක් ද නො පිහිටිය හැකි ය. ගබ්භසෙය්‍යකයන්ට චක්ඛායතන වන්නේ ප්‍රතිසන්‍ධියෙන් එකුන් පනස් දවසකින් පසු වැ යයි කියනු ලැබේ. සෝතායතනය වන්නේ ඉන් සතියකින් පසුවැ ය. ඝාණායතනය වන්නේ ඉන් සතියකින් පසු වැ ය. ජිව්හායතනය වන්නේ ඉන් සතියකින් පසු වැ යැ. ඇතැම් කෙනෙකුන්ට ඒ ඒ ආයතන නො පිහිටිය හැකි ය. සංස්කාර විශේෂය එයට හේතු යි.

අරූපාවචරයන්ට වන්නේ මනායතනය පමණෙකි. ඔවුන්ගේ වශයෙන් නාම ප්‍රත්‍යයයෙන් ෂෂ්ඨායතනය වන්නේය යි කිය යුතු යි.

ෂඩායතන ප්‍රත්‍යයයෙන් ස්පර්ශ වන්නේ ය.

1. ෂඩායතන යනු කිම? 2 ස්පර්ශ යනු කිම? ෂඩායතන ප්‍රත්‍යයයෙන් ස්පර්ශ වන්නේ කෙසේ ද? යනු මෙහි ලා දත යුතු ය.

1. ෂඩායතන යනු යට දැක්වුණු චක්ඛාදි ආයතන සය ම ය.

2. ස්පර්ශ යනු ඵස්ස චෛතසිකය යි. ඵස්සය සියලු සිත්හි ඇත්තේ ය. එහෙත් මෙහි විපාක සිත්හි යෙදෙන ඵස්සය ගත යුතු. එ ද මේ ආයතන සම්බන්ධයෙන් චක්ඛු සම්ඵස්ස සෝතසම්ඵස්ස ඝාණසම්ඵස්ස ජිව්හාසම්ඵස්ස කායසම්ඵස්ස මනෝසම්ඵස්සය යි සැවැදෑරුම් වේ. චක්ඛායතන සම්බන්ධයෙන් ලැබෙන ඵස්සය චක්ඛුසම්ඵස්සය යි. සෝත සම්ඵස්සාදිය ද මෙසේ ය. දෙතිස් විපාක සිත්හි ඇති ඵස්ස වශයෙන් ස්පර්ශය දෙතිස් වැදෑරුම් ය යි ද කිය යුතු ය.

3. ෂඩායතන ප්‍රත්‍යයයෙන් ස්පර්ශය වන්නේ කෙසේ ද? මෙහි දු පැවැත්මට උපකාර වන්නේ ප්‍රත්‍යය යි දත යුතු. ෂඩායතන ඇති හෙයින් ස්පර්ශ වන්නේ ය. ෂඩායතන නැත්නම් ස්පර්ශ කැල ම නො වන්නේ ය. ෂඩායතන ස්පර්ශ උපදවන්නේ ය යි නොගත යුතු. එහි චක්ඛායතනය රූපාරම්මණය හා ගැටීමෙන් චක්ඛුවිඤ්ඤාණ වේ. එහි ඵස්සය චක්ඛුසම්ඵස්සයයි. “චක්ඛුංච පටිච්ච රූපෙව උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං තීණ්ණං සඞ්ගති ඵස්සො” යනු සැලකිය යුතු සෝතසම්ඵස්සාදිය ද මෙසේ ය. එවිට මනෝසම්ඵස්ස යනු මෙහි ලා දෙපස් විඤ්ඤාණ හැර සෙසු විපාක සිත්හි ඵස්ස යි.

ස්පර්ශ ප්‍රත්‍යයයෙන් වේදනා වන්නේ ය.

මෙහි දු 1 ස්පර්ශ කිම? 2 වේදනා කිම? 3 ස්පර්ශ ප්‍රත්‍යයයෙන් වේදනා වන්නේ කෙසේ ද? යනු දත යුතු.

1. ස්පර්ශ යනු යට දැක්වුණු ඵස්සය මැ යි.

2. වේදනා යනු වේදනා චෛතසිකය යි; එ ද සියලු සිත්හි ඇත්තේ ය. මෙහි විපාක සිත්හි වේදනා ගත යුතු. එ ද චක්ඛුසම්ඵස්සජ වේදනා සෝතසම්ඵස්සජ වේදනා, ඝාණ සම්ඵස්සජ වේදනා ජිව්හා සම්ඵස්සජ වේදනා, කායසම්ඵස්සජ වේදනා, මනෝ සම්ඵස්සජ වේදනා ය යි, සවැදෑරුම් වේ. චක්ඛු සම්ඵස්සයෙන් ඇති වන වේදනා චක්ඛුසම්ඵස්සජ වේදනා ය. සෙස්ස ද මෙසේ ය. දෙතිස් විපාක සිත් වශයෙන් වේදනා දෙතිස් වැදෑරුම් ය යි ද කිය හැකි ය.

3. ස්පර්ශ ප්‍රත්‍යයයෙන් වේදනා වන්නේ කෙසේ ද? මෙහි දු පැවැත්මට උපකාරවන්නේ ප්‍රත්‍යය යි ගත යුතු. ඵස්සය ඇති හෙයින් වේදනා වන්නේ ය. ඵස්සය නැත්නම් කැල ම වේදනා නොවන්නේ ය. ඵස්සය වේදනා උපදවන්නේය යි නො ගත යුතු චක්ඛායතනය රූපාරම්මණයෙහි ගැටීමෙන් චක්ඛුවිඤ්ඤාණ වේ. එහි ඵස්සය චක්ඛුසම්ඵස්සය. එහි ම වේදනා චක්ඛුසම්ඵස්සජ වේදනා යි. ඵස්සය වත් ම වේදනා ද වන්නේ ය. “ඵස්ස පච්චයා වෙදනා” යි වදාළේ ය. සෝතසම්ඵස්සජ වේදනාදිය ද මෙසේ දත යුතු. වේදනාව ඵස්සය සේ ම සර්වචිත්ත සාධාරණ ය. එහි සුඛ, දුඃඛ, උපෙක්‍ෂා යන ත්‍රිවිධත්‍වය ප්‍රකට මැ යි.

චක්ඛුවිඤ්ඤාණ දෙසිතෙහි වේදනා චක්ඛුසම්ඵස්සජ වේදනා ය. සෝත විඤ්ඤාණාදියෙහි වේදනා සෝතසම්ඵස්සජ වේදනාදිය යි දෙපස් විඤ්ඤාණ හැරැ යට දැක්වුණු සෙසු විපාක සිත්හි වේදනා මනෝසම්ඵස්සජ වේදනා යි.

විඤ්ඤාණ, නාමරූප, සලායතන, ඵස්ස වේදනා යන පස වර්තමාන ඵලපඤ්චක ය යි. මෙය විපාක වට්ටයට ද ඇතුළති.

ප්‍රශ්න.

  1. නාමරූප ප්‍රත්‍යයයෙන් ෂඩායතන වන්නේ ය යන මෙහි ෂඩායතන කවරේ ද? ස්වරූප වශයෙන් දක්වනු. නාම රූපයට ඇතුළත් නො වන ෂඩායතන ඇත්තේ ද? කුමක් හෙයින් මෙය විශේෂ කොට දැක්විණි ද?
  2. අණ්ඩජ, ජලාබුජ, සංසෙදජ, ඕපපාතිකයන් පිළිබඳ ෂඩායතන වීමේ විශේෂ ඇත්නම් දක්වනු.
  3. ෂඩායතන ප්‍රත්‍යයයෙන් ස්පර්ශ වන්නේ ය යනු පැහැදිලි කරනු. ස්පර්ශ යනු කිම? ඒ කී ආකාර ද? ස්වරූප වශයෙන් දක්වනු.
  4. ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනා වන්නේ ය යනු පැහැදිලි කරනු. වේදනා යනු කිම? ඒ කී ආකාර ද? ස්වරූප වශයෙන් දක්වනු.
  5. ඵස්ස වේදනා සියලු සිත්හි ඇතත් මෙහි විපාක සිත්හි යෙදුණවුන් ගැනීමේ යුක්ති කවරේ ද?