7. වේදනා ප්‍රත්‍යයයෙන් තෘෂ්ණා වන්නේ ය.

1. වේදනා යනු කිම? 2 තෘෂ්ණා යනු කිම? 3 වේදනා ප්‍රත්‍යයයෙන් තෘෘෂ්ණා වන්නේ කෙසේ ද? යනු ‍මෙහි දු දත යුතු.

1. වේදනා යනු යට දැක්වුණු වේදනා මැයි. “යස්මා වෙත්‍ථ අධිප්පෙතා විපාක සුඛ වෙදනා” යි විශුද්ධිමාර්ගයෙහි දැක්වුණු බැවින් විශේෂයෙන් මෙහි සුඛවේදනා ගත යුතු. “සුඛවෙදනා සදිසො තණ්හාය අවස්සයො නාම නත්‍ථි” සුඛ වේදනා බඳු තෘෂ්ණාවට උපකාරයක් නැතැ යි ටීකාවෙක ද දක්වන ලදි. එහෙත්

“දුක්ඛි සුඛං පත්‍ථයති සුඛී භීය්‍යො පි ඉච්ඡති.

උපෙක්ඛා පන සන්තත්තා සුඛමිච්චෙව භාසිතා” යි.

පෙනෙන බැවින් ත්‍රිවිධ වේදනා ම මෙහි වේදනා ශබ්දයෙන් ගැනෙන බව ද විශුද්ධිමාර්ගයෙහි දැක්වේ. දුක් ඇත්තේ සුව පතා සුව ඇත්තේ වඩාත් සුව පතා. උපේක්‍ෂාව ශාන්ත බැවින් සුඛය යි කියන ලදී යනු ගාථායෙහි අර්ථ යි.

2. තෘෂ්ණා යනු ලෝභ චෛතසිකය යි. එය ලෝභ මූලික සිත් අටෙහි සම්ප්‍රයුක්ත වශයෙන් ම ඇත්තේ ය. පියාගේ නමින් පුතාට බ්‍රාහ්මණ පුත්‍රයා සිටු පුත්‍රයා කියන්නා සේ අරමුණේ නමින් තෘෂ්ණාවට ද රූපතෘෂ්ණා ශබ්ද තෘෂ්ණා, ගන්‍ධ තෘෂ්ණා, රස තෘෂ්ණා, ස්ප්‍රෂ්ටව්‍ය තෘෂ්ණා ධර්ම තෘෂ්ණා ය යි කියනු ලැබේ. එයින් තෘෂ්ණාව සවැදෑරුමි. රූපය අරමුණු කොටැ පවත්නා තෘෂ්ණාව රූප තෘෂ්ණා ය. සෙස්ස ද මෙසේ ය. ඒ යළිත් කාම තෘෂ්ණා, භව තෘෂ්ණා, විභව තෘෂ්ණා ය යි තුන් වැදෑරුම් වේ. ඇසට අරමුණු වූ රූපය කාමාස්වා ද වශයෙන් ආශ්වාදනය කරන විට තෘෂ්ණාව කාමතෘෂ්ණා ය. එම නිත්‍යය සදාකාලිකය යි ශාස්වතදෘෂ්ටි වශයෙන් ගන්නා විට තෘෂ්ණාව භවතෘෂ්ණා ය. ශාස්වත දෘෂ්ටි සහගත තෘෂ්ණාව භවතෘෂ්ණාය යි කියනු ලැබේ. රූපය උච්ඡේද වන්නේ ය යි ගන්නා විට තෘෂ්ණාව විභවතෘෂ්ණා ය. උච්ඡේද දෘෂ්ටිසහගත තෘෂ්ණාව විභව තෘෂ්ණා ය යි කියනු ලැබේ. ශබ්දා දි අරමුණු පිළිබඳ වැ ද මෙසේ ය. මෙයින් තෘෂ්ණාව අටළොස් වැදෑරුම් විය. ඒ වැළි ත් ආධ්‍යාත්මික බාහිර වශයෙන් වැඩුණු විට සතිස් වැදෑරුම් වේ. ඒ සතිස අතීත අනාගත වර්තමාන යන කාලත්‍රය වශයෙන් වැඩුණු විට එක්සිය අට වැදෑරුම් වේ. ඒ අටෝරාශියක් තෘෂ්ණා ම මෙහි තෘෂ්ණා යන්නෙන් ගතහැකි බව දත යුතු.

3. වේදනා ප්‍රත්‍යයයෙන් තෘෂ්ණා වන්නේ කෙසේ ද?

මෙහිදු පැවැත්මට උපකාර වන්නේ ප්‍රත්‍යය යි ගත යුතු. වේදනා ඇති හෙයින් තෘෂ්ණා වේ. වේදනා නැත් නම් තෘෂ්ණා ද නැති. මනුෂ්‍යයෝ පුතු ආස්වාදනය කොටැ පුතු කෙරෙහි මමත්‍වයෙන් කිරිමවට සත්කාර කරති. එමෙන් සත්ත්‍වයෝ වේදනාව ආස්වාදනය කොටැ වේදනාව කෙරෙහි මමත්‍වයෙන් රූපාදී අරමුණු දෙන චිත්‍රකාරාදීන් කෙරෙහි ද සත්කාර කරත්. එ බැවින් වේදනායෙන් තෘෂ්ණා වන්නේ ය යි දත යුතු.

මේ ඵල හේතු සන්ධියෙහි වේදනා ඵල පංචකයට අයත් ය. තෘෂ්ණා හේතු පඤ්චකයට අයත් ය. එසේ ම වේදනා විපාක වට්ට ය. චිත්ත සන්තතිය ජවනයට හෙවත් කර්මත්‍වයට බැසැ ගන්නා ක්‍රමය කී සැටි බලනු.

තෘෂ්ණා ප්‍රත්‍යයයෙන් උපාදාන වන්නේ ය.

1.තෘෂ්ණා කිම? 2. උපාදාන කිම? 3. තෘෂ්ණායෙන් උපාදාන වන්නේ කෙසේ ද?

1. තෘෂ්ණා නම් යට දැක්වුණු ලෝභ මැ යි.

2. උපාදාන නම් දැඩි ව ගැන්ම ය. ඒ වනාහි කාමූපාදාන, දිට්ඨූපාදාන, සීලබ්බතූපාදාන, අත්තවාදූප දානය යි චතුර්විධ වේ.

වස්තු සඞ්ඛ්‍යාත කාමය උපාදානය කරන්නේ හෙවත් දැඩි වැ ගන්නේ කාමූපාදානය “උපායාස” යන්නෙහි මෙන් මෙහි උප ශබ්දය දැඩි යන අර්ථය දේ. කාමය ම උපාදාන වූයේ හෝ කාමූපාදාන ය. එය මෙසේ විස්තර කරති. “තත්‍ථ කතමං කාමූපාදානං? යො කාමෙසු කාමච්ඡන්‍දො, කාමරාගො, කාමනන්‍දි කාමතණ්හා කාමසිනෙහො, කාමපරිළාහො, කාමමුච්ඡා, කාමජ්ඣො සානං ඉදං වුච්චති කාමූපාදානං” යි මෙයින් තෘෂ්ණායෙහි දැඩි බව ම කාමූපාදානය යි වදාළ බව දත යුතු. පූර්ව පූර්ව තෘෂ්ණාව උපනිශ්‍රය ප්‍රත්‍යයෙන් මතු මතු දැඩි වෙයි. එසේ දැඩි වූ උත්තර තෘෂ්ණාව කාමූපාදානය යි සේ යි. තෘෂ්ණාව කාමූපාදානය යි සේ යි. තෘෂ්ණාව අත දිගු කිරීම මෙනැයි ද තෘෂ්ණොපාදානය දිගු කළ අතට අසු වූ දෙය තද කොටැ අල්ලා ගැනීම මෙනැ යි ද කියත්.

දිට්ඨුපාදාන, සීලබ්බතූපාදාන, අත්තවාදූපාදාන යන සෙසු උපාදාන ත්‍රයයෙන් ම දැක්වේනනේ මිච්ඡාදිට්ඨිය යි. එයින් දිට්ඨුපාදාන නම් දශ වස්තුක මිථ්‍යාදෘෂ්ටිය යි වදාළේ මැ යි. “තත්‍ථ කතමං දිට්ඨුපාදානං” නත්‍ථි දින්නං නත්‍ථි යිට්ඨං, නත්‍ථි හුතං, නත්‍ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකො, නත්‍ථි අයං ලොකො, නත්‍ථි පරොලොකො, නත්‍ථි මාතා නත්‍ථි පිතා, නත්‍ථි සත්තා ඔපපාතිකා, නත්‍ථි ලොකෙ සමණබ්‍රාහ්මණා සම්මග්ගතා සම්මා පටිපන්නා යෙ ඉමං ච ලොකං පරං ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්‍වා පවෙදෙන්තීති යා එවරූපා දිට්ඨි -පෙ- විපරියෙසගාහො ඉදං වුච්චති දිට්ඨුපාදානං” යි සීලබ්බතූපාදාන නම් අජශිලාදියෙන් හා කුක්කරව්‍රතාදියෙන් ශුද්ධිය වන්නේය යි විශ්වාස ගැන්ම ය. වදාළේ මැ ය. “තත්‍ථ කතමං සීලබ්බතූපාදානං සීලෙන සුද්ධි, වතෙන සුද්ධි, සීලබ්බතෙන සුද්ධීති යා එව රූපා දිට්ඨි -පෙ- විපරියෙසගාහො ඉදං වුච්චති සීලබ්බතුපාදානං” යි.

අත්තවාදූපාදාන නම් විසි වැදෑරුම් සක්කායදිට්ඨිය යි වදාළේ මැ යි. “තත්‍ථ කතමං අත්තවාදූපාදානං ඉධ අස්සුතවා පුථුජ්ජනො -පෙ- සප්පුරිස ධම්මෙ අවිනීතො රූපං අත්තතො සමනුපස්සති, රූපවන්තං වා අත්තානං අත්තනි වා රූපං, රූපස්මිං වා අත්තානං වෙදනං -පෙ- සඤ්ඤං, සඞ්ඛාරෙ -පෙ- විඤ්ඤාණං අත්තතො සමනුපස්සති, විඤ්ඤාණවන්තං වා අත්තානං, අත්තනි වා විඤ්ඤාණං විඤ්ඤාණස්මං වා අත්තානං යා එවරූපා දිට්ඨි -පෙ- විපරියෙසගාහො ඉදං වුච්චති අත්තවාදූපාදානං” යි.

මෙසේ මෙහි උපාදාන යන්නෙන් දැඩි වූ තෘෂ්ණාව හා දෘෂ්ටිය කියවිණි. දෘෂ්ටිය වනාහි තමන් කෙරෙහි ද තමන් විසින් ගන්නා ලද අරමුණු කෙරෙහි ද අස්සදන බමන රොචන භූත තෘෂ්ණාව ගේ වශයෙන් ම දැඩි වැ ගැන්ම ය. දිට්ඨිවිප්පයුත්ත ලෝභ මූලික සිත් ද දිට්ඨිසම්පයුත්ත ලෝභමූලික සිත් ද සිත් කරනු.

3. තෘෂ්ණා ප්‍රත්‍යයයෙන් උපාදාන වන්නේ කෙසේද?

මෙහි දු පැවැත්මට උපකාර වන්නේ ප්‍රත්‍යය යයි ගත යුතු. ප්‍රථම තෘෂ්ණාව ඇති හෙයින් ම උත්තර වූ දෘඪ තෘෂ්ණාව දිට්ඨි රහිත වැ හෝ සහිත වැ වන්නේය. ප්‍රථම තෘෂ්ණාව නැත්නම් ඒ උපාදාන නො වන්නේ ය.

ප්‍රශ්න.

  1. වේදනා කිම? ඒ කී වැදෑරුම් ද? මෙහි කවර වේදනාගත යුතු ද?
  2. තෘෂ්ණා යනු කිම? එහි භෙද දක්වනු.
  3. වේදනායෙන් තෘෂ්ණා වන්නේ කෙසේ ද? මේ කවර සන්ධියෙක් ද? මේ දෙක කවර වට්ටයන්ට අයත් ද?
  4. උපාදාන යනු කිම? එහි භේද දක්වා විස්තර කරනු.
  5. තෘෂ්ණායෙන් උපාදාන වන්නේ කෙසේ ද? තෘෂ්ණා උපාදාන දෙක්හි වෙනස දක්වනු.