8. උපාදන ප්‍රත්‍යයයෙන් භව වන්නේ ය.

උපාදාන ප්‍රත්‍යයයෙන් භව වන්නේ ය.

1. උපාදාන කිම? 2. භව කිම? උපාදාන ප්‍රත්‍යයයෙන් භව වන්නේ කෙසේ ද? යනු මෙහි දු දත යුතු.

1. උපාදාන නම් යට දැක්වුණු උපාදන මැ යි. එ නම් දිට්ඨි සහිත වූ හෝ රහිත වූ හෝ දැඩි ලෝභය යි.

2. භව නම් වැඩීම ය. ඒ වනාහි කර්ම වශයෙන් වැඩීම ය. උප්පත්ති වශයෙන් වැඩීම යි දෙවැදෑරුම් වේ. කර්ම වශයෙන් වැඩීම කර්මභව නමි. උප්පත්ති වශයෙන් වැඩීම උප්පත්ති භව නමි. භව ශබ්දයෙන් සාමාන්‍යයෙන් කිය හැක්කේ උප්පත්ති භවය යි. ඒ උප්පත්ති භවය ලැබීමට කාරණ වන බැවින් කර්ම භවය ද කියනු ලැබේ. බුද්ධෝත්පාදය සුඛයට කරුණු වන බැවින් “සුඛො බුද්ධානං උප්පාදො” යි කී මෙනි. එහෙත් මෙහි භව ශබ්දයෙන් විශේෂයෙන් කර්ම භවය කියවෙන බව සිහි තබා ගත යුතු යි.

කර්මභව නම් ලෞකික කුශලාකුශල චේතනා හා ඒ චේතනා සම්ප්‍රයුක්ත වූ අනභිධ්‍යාදිය හා අභිධ්‍යාදිය යි. වදාළේ මැ යි. “තත්‍ථ කතමො කම්මභවො? පුඤ්ඤාභි සංඛාරො, අපුඤ්ඤාභි සංඛාරො, ආනෙඤ්ජාභිසංඛාරො පරිත්තභූමකො වා මහා භූමකො වා අයං වුච්චති කම්ම භවො. සබ්බං පි භවගාමි කම්මං කම්මභවො” යි පරිත්ත භූමක වූ හෝ මහාභූමක වූ හෝ පුඤ්ඤාභිසංඛාර ද අපුඤ්ඤාභිසංඛාර ද, ආනෙඤ්ජාභිසංඛාර ද කර්ම භව නමි. සියලු භවගාමී කර්මභව නමි. පරිත්තභූමක නම් ස්වල්ප විපාක ඇති. මහා භූමක නම් මහා විපාක ඇති. භවගාමි කර්ම නම් කුසල පක්‍ෂයෙහි චේතනා සම්ප්‍රයුක්ත වූ අලොභාදිය යි. අකුශල පක්‍ෂයෙහි ලෝභාදිය යි අභිසංඛාරය යි කියන ලද්දේ චේතනා යි.

උප්පත්තිභව නම් කර්මයෙන් නිපන් ස්කන්ධ ය. එ නම් ලෞකික විපාක ස්කන්ධ හා කර්මජරූපය. ඒ නවවිධ වේ. වදාළේ මැ යි. “තත්‍ථ කතමො උප්පත්ති භවො? කාම භවො, රූපභවො අරූපභවො, සඤ්ඤාභවො, අසඤ්ඤාභවො, නේවසඤ්ඤානාසඤ්ඤාභවො, එකවොකාරභවො, චතුවොකාරභවො, පඤ්චවොකාරභවො, අයං වුච්චති උප්පත්තිභවො” යි කාමභව, රූපභව, අරූපභව යට කියන ලදි. අසඤ්ඤභව නම් අසංඥ තලය යි. නේවසඤ්ඤා නාසඤ්ඤා භව නම් නේවසඤ්ඤානාසඤ්ඤා භූමිය යි. සඤ්ඤා භව නම් සෙසු සියල්ල යි. එකවොකාර භව නම් අසංඥතලය යි. චතුවොකාර භව නම් අරූපාවචර සතර යි. පඤ්චවොකාර භව නම් සෙස්ස යි. වොකාර නම් ස්කන්ධ යි.

3. උපාදාන ප්‍රත්‍යයයෙන් භව වන්නේ කෙසේ ද?

මෙහි දු පැවැත්මට උපකාර වන්නේ ප්‍රත්‍යය යි ගත යුතු. උපාදාන ඇති හෙයින් ඒ හා යෙදෙන චේතනා කර්ම වන්නේ ය. එයින් උත්පත්තිභවය වේ යයි මෙහි ම ගතහොත් නිපැත්මට උපකාර වන්නේ ප්‍රත්‍යය යි ගත යුතු කර්මයෙන් උප්පත්ති භව නිපදෙන බැවිනි. “භව පච්චයා ජාති” යනුවෙන් මතු කියවේ.

ආදියෙහි “අවිජ්ජා පච්චයා සංඛාරා” යි කීයේත් මේ නොවේ ද? එසේ ය. එය අතීත අද්ධය ගෙනැ කීයේ ය. ගිය ජන්මයේ අවිද්‍යාව හේතු කොට ගෙනැ එහි යෙදුණු චේතනා සංස්කාර සංඛ්‍යාත කර්ම වූයේ ය. මේ කියන්නේ වර්තමාන අද්ධ ගෙනැ ය. වර්තමානයෙහි උපාදාන සංඛ්‍යාත දැඩි ලෝභය හේතු කොට ගෙනැ එහි යෙදෙන චේතනා භව සංඛ්‍යාත කර්ම වන්නේ ය. අවිද්‍යා සංස්කාරයන්ට තෘෂ්ණා උපාදාන භව ද තාෂ්ණා උපාදාන භවයන්ට අවිද්‍යා සංස්කාරද නිතර එක් වෙන බව යට කියන ලද බව සැලකිය යුතු. අවිද්‍යා හා තෘෂ්ණා හා සංසාර මුල් ය. අවිද්‍යාව කුශල සංස්කාරයන්ට සම්ප්‍රයුක්ත වශයෙන් නැත ද අනුශය වශයෙන් ප්‍රත්‍යය වන බව එහි කීයේ ය. මෙහි දු උපාදාන කුශල කර්ම භවයන්ට අනුශය වශයෙන් ප්‍රත්‍යය වන්නේ ය යි කිය යුතු. තව ද මෙහි භව යන්නෙන් සියලු භවගාමි කර්ම ද කියවිණි. භවගාමි කර්ම නම් කුශල පක්‍ෂයෙහි අලෝභාදි ය යි. අකුශල පක්‍ෂයෙහි ලෝභාදිය යි. කුශල පක්‍ෂයෙහි එසේ වන්නේත් අනුශය වශයෙනි.

භව ප්‍රත්‍යයයෙන් ජාති වන්නේ ය.

1. භව නම් කිම? 2 ජාති නම් කිම? 3 භව ප්‍රත්‍යයයෙන් ජාති වන්නේ කෙසේ ද? යනු මෙිහ ලා දත යුතු.

1. භව නම් යට දැක්වුණු කර්ම භව උප්පත්ති භව අතුරෙන් කර්ම භව මැ යි. උප්පත්ති භව මෙහි නොලැබේ. කුශලාකුශල චේතනා හා තත් සම්ප්‍රයුක්ත අලෝභාදිය හා ලෝභාදිය කර්ම භව බැව් යට කියන ලදි.

2. ජාති නම් උත්පත්තිය යි. එනම් ස්කන්ධයන්ගේ පහළ වීම යි. මෙයින් විඤ්ඤාණ, නාමරූප, සළායතන, ඵස්ස, වේදනා යන ඵල පඤ්චකය කියවෙන බව දත යුතු. ජාති ජරා මරණ ගනුත් ම විඥාන, නාමරූප, ෂඩායතන, ස්පර්ශ, වේදනා යන ඵල පස ගැනෙන්නේ ය”යි දෙවන පාඩමෙහි දක්වන ලද්ද බලනු.

3. භව ප්‍රත්‍යයයෙන් ජාතිවන්නේ කෙසේ ද?

මෙහි නිපැදීමට උපකාර වන්නේ ප්‍රත්‍යය යි ගත යුතු. මේ ජන්මයෙහි කරනු ලබන කර්ම හේතු කොටැ ගෙනැ මරණයෙන් මතු ජාති සංඛ්‍යාත විඥානාදිය ඒ ඒ ලෝකයෙහි සුදුසු පරිදි පහළ වන්නේ ය. ඒ වනාහි දේවාදීන් විසින් මවනු ලබන්නේ හෝ අහේතුක වැ සිද්ධ වන්නේ හෝ නො වේ. කර්මයෙන් ම ලැබෙන්නේ ය.

ජාති සංඛ්‍යාත ස්කන්ධයන්ගේ පහළ වීම කර්මයෙන්ම වන්නේය යි කුමක් හෙයින් කියනු ලැබේ ද? බාහිර වූ ප්‍රත්‍යයයන් සම වැ ඇති කල්හි දු සත්ත්‍වයන්ගේ වෙනස් දක්නා ලැබෙන බැවිනි. ජනක ජනනී ශුක්‍ර ශ්‍රොණික ආහාරාදිය සම වැ ඇති කල්හි දු නිඹුල් දරුවන්ගේ හීන ප්‍රණීත භේදය නො පෙනේ ද? “කම්මං සත්තෙ විභජති යදිදං හීනප්පණිත්තාය.” කර්මය තෙමේ සත්ත්‍වයන් හීන ප්‍රණීතත්‍වයෙන් බෙදන්නේ ය. එ බැවින් කර්ම ප්‍රත්‍යයයෙන් ම ජාති සංඛ්‍යාත ස්කන්ධයන්ගේ පහළ වීම වන්නේය යි දත යුතු.

“සංඛාර පච්චයා විඤ්ඤාණං” යි කීයේත් මේ නොවේ ද? එසේ ය. එය අතීත ජන්මයෙන් මෙහි උපැද්ම ගෙනැ කීයේ ය. මේ කියන්නේ මෙයින් අනාගත ජන්මයෙහි උපැද් ම ගෙනැ ය. අද්ධ තුනක් බෙදුයේ එහෙයිනි.

ජාති ප්‍රත්‍යයයන් ජරා මරණ ද සෝක පරිදේව දුක්ඛ දේාමනස්ස ද වන්නේ ය.

1. ජාති කිම? 2. ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස කිම? 3. ජාති ප්‍රත්‍යයයෙන් ජරා මරණ ද සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස ද කෙසේ වන්නේ ද යනු මෙහිලා දත යුතු.

1. ජාති නම් යට කියන ලද ජාති මැයි. එ නම් ස්කන්ධයන්ගේ පහළ වීම යි. විඤ්ඤාණාදි ඵල පඤ්චකය යි.

2. ජරා නම් ඒ ස්කන්ධයන්ගේ පැවතුම් සංඛයාත දිරුම්කඩ ය. මරණ නම් ඒ ස්කන්ධයන්ගේ බිඳැ යාම ය. සෝක නම් ඥාති ව්‍යසනාදියෙන් පෙළෙන්නවුන්ගේ ශෝචනාකාරයෙන් පවත්නා දෝමනස්ස වේදනා ය. පරිදෙව නම් එ බන්දන්ගේ ම රොදනාකාරයෙන් පවත්නා අනිෂ්ට චිත්තජ ශබ්ද ය. දුක්ඛ නම් කායික දුඃඛ වේදනා ය. දෝමනස්ස නම් මානසික දුඃඛ වේදනා ය. උපායාස නම් ඥාති බ්‍යසනාදිය කරණ කොටැ ගෙනැ සංසිදන විසීදනාකාරයෙන් පැවැති දැඩි ආයාසය යි.

මඳ ගින්නෙන් භාජනයක් ඇතුළේ කිසිවක් පැසීම මෙනි ශෝකය. දැඩි ගින්නෙන් පැසෙන දෙය භාජනයෙන් බැහැරව වැගිරීම මෙනි පරිදේවය. බැහැර වැගිරැ ශේෂ වූ දෙය භාජනයේ පැසි පැසී තිබීම මෙනි උපායාසය.

3. ජාති ප්‍රත්‍යයයෙන් ජරා මරණ හා සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස වන්නේ කෙසේ ද? මේ විස්තර කළ යුතු නො වේ. ප්‍රත්‍යක්‍ෂයේ ම දැක්ක හැකි බැවිනි. ජාති නොවිණි නම් ජරා මරණාදිය කොයින් වේ ද?

මෙසේ පටිච්චසමුප්පාද නය පිළිබඳ ප්‍රත්‍යය ධර්මයන්ගේ හා ප්‍රත්‍යයොත්පන්න ධර්මයන්ගේ විස්තරයෙක් දක්වන ලද්දේ ය. ඔවුන් පිළිබඳ අද්ධ, අඞ්ග. ආකාර, සන්‍ධි, සංක්‍ෂෙප, වට්ට, මූල යන භෙද දෙවැනි පාඩමින් සැකෙවින් දැක්වුව ද විශේෂාවබෝධය සඳහා මතු ද විස්තරයෙක් දක්වනු ලැබේ.

ප්‍රශ්න.

  1. භව යනු කිම? එහි භෙද දක්වා විස්තර කරනු.
  2. උපාදාන ප්‍රත්‍යයයෙන් භව වීමෙහිත් අවිද්‍යා ප්‍රත්‍යයයෙන් සංස්කාර වීමෙහිත් වෙනසක් ඇත් නම් පැහැදිලි කරනු.
  3. භව ප්‍රත්‍යයයෙන් ජාති වන්නේ ය යන මෙහි කවර භවයෙක් ගනු ලැබේ ද? හේතු දක්වනු.
  4. ජාති යනු කිම? භව ප්‍රත්‍යයයෙන් ජාති වීමෙහිත් සංස්කාර ප්‍රත්‍යයයෙන් විඥාන වීමෙහිත් වෙනසක් ඇත්නම් පැහැදිලි කරනු.
  5. ජරා, මරණ, සේක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස පහදා දෙනු.