9. අද්ධ, අඞ්ග, ආකාර, සන්‍ධි, සංක්‍ෂෙප, වට්ට, මූල.

පටිච්චසමුප්පාදය මැනෙවින් අවබෝධ කැරැ ගන්නට නම් එහි අද්ධ, අඞ්ගාදි භෙද විශේෂයෙන් දත යුතු ය.

අද්ධ තුනෙකි.

අතීත, අද්ධ, පච්චුප්පන්න අද්ධ, අනාගත අද්ධ යයි අද්ධ තුනෙකි. අද්ධ නම් කාල යි. අවිද්‍යා, සංස්කාර, දෙක අතීත අද්ධ ය. හෙවත් අතීත කාලයට අයත් ය. එය ගිය ජාතිය සම්බන්ධයේ ය සලකනු. විඤ්ඤාණ, නාමරූප, සළායතන, ඵස්ස, වේදනා, තණ්හා, උපාදාන, භව යන අට පච්චුප්පන්න අද්ධ ය. හෙවත් මේ කාලයට අයත් ය. මේ ජාතිය සම්බන්ධයේ ය යි සලකනු. ජාති ජරා මරණ අනාගත අද්ධ ය. හෙවත් මතු කාලයට අයත් ය. ලබන ජාතිය සම්බන්ධයේ යයි සලකනු. මෙසේ මේ පටිච්චසමුප්පාදයෙහි ගිය ජාතියේ ද මේ ජාතියේ ද මතු ජාතියේ ද සම්බන්ධය ඇත්තේ ය. ගිය ජාතියේ අවිද්‍යාව හේතු කොටැ ගෙනැ පින් පව් කෙළේ ය. එයින් මේ ජාතියේ විඤ්ඤාණ, නාම රූප, සළායතන, ඵස්ස, වේදනා සංඛ්‍යාත ස්කන්ධ ලබා තණ්හා උපාදානයෙන් භව සංඛ්‍යාත කර්ම රැස් කොට එයින් මතු ජාතියෙහි උපදින්නේ ය. උපන්නවුන්ට ජරා මරණ ශෝක පරිදේව දුක් දොම්නස් නො අනුමාන ය. එයින් නැවත ලැබෙන්නේත් අවිද්‍යා ය. මෙසේ සසර පවත්නේ ය.

අඞ්ග දොළොසෙකි.

අවිජ්ජා, සංඛාර, විඤ්ඤාන, නාමරූප, සළායතන, ඵස්ස, වේදනා, තණ්හා, උපාදාන, භව, ජාති, ජරා මරණ යයි අඞ්ග දොළොසෙකි. මොවුන් පිළිබඳ විස්තර යට දක්වන ලදි. ශෝකාදිය මේ අඞ්ගයන්ට ඇතුළත් නොවේ. එය ජාතියෙහි මහා ආදීනව රාශිය දක්වනු සඳහා වදාළේ ය. එහෙයින් එය නිස්සන්‍ද ඵලය යි කියන ලදි. නිස්සන්‍ද ඵල යනු අමුඛ්‍ය ඵලය යි ද කියත්. එහෙත් එම අවිද්‍යා සිද්ධියට හේතු වේ. “සොකාදීහි අවිජ්ජා සිද්ධා” යනු විශුද්ධිමාර්ග යි. ශෝකාදියෙන් අවිද්‍යා සිද්ධ වේ යනු අර්ථ යි.

අවිද්‍යාව භව චක්‍රයාගේ ආදිය ද? ආදිය යි කවුරු කීවෝ ද? එය ආදි වශයෙන් නො වැ ප්‍රධාන ධර්ම වශයෙන් වදාළෝ ය. අවිද්‍යාව ඇති හෙයින් ම සෙසු සියල්ල ලැබේ. අවිද්‍යාව නැත්නම් කුමකුත් නො ලැබේ. භව චක්‍රයාගේ ආදියෙක් නැත. “අවිදි තාදිමිදං” මේ නොදන්නා ලද ආදි ඇත්තේ ය. නො දන්න ලද්දේත් නැති හෙයින් ම ය.

ආකාර විස්සෙකි.

අද්ධ තුනෙකින් ප්‍රතිමණ්ඩිත වූ මේ අඞ්ග දොළොස ආකාර වශයෙන් විස්සෙක් වේ.

අඞ්ග දොළොසින් අතීත අද්ධ වශයෙන් දැක්වූයේ අවිද්‍යා සංස්කාර දෙක පමණෙකි. අතීත අද්ධයට අයත් අඞ්ග එතෙක් ම ද? නැත. අවිද්‍යා සංස්කාර ගන්නා විට තණ්හා, උපාදාන, භව ද ගැනුණේ වේ. යම් තැනෙක අවිද්‍යා ඇත්නම් තණ්හා උපාදාන භව ද එහි ඇත. සංස්කාර යනු දු එකෙක් ම ය. එ බැවින් අතීත හේතු වශයෙන් අවිද්‍යා, සංස්කාර, තෘෂ්ණා, උපාදාන, භව යන පස ගත යුතු ය. කීයේ මැ යි. “පුරිමකම්ම භවස්මිං මොහො අවිජ්ජා, ආයූහනා සංඛාරා, නිකන්ති තණ්හා, උපගමනං උපාදානං, චේතනා භවො, ඉති ඉමෙ පඤ්චධම්මා පරිම කම්මභවස්මිං ඉධ පටිසන්‍ධියා පච්චයා” යි. පූර්ව කර්මභවයෙහි මෝහ සංඛ්‍යාත අවිද්‍යාව ද, ආයූහන සංඛ්‍යාත සංස්කාර ද, නිකන්ති සංඛ්‍යාත තෘෂ්ණාව ද, උපගමන සංඛ්‍යාත උපාදානය ද චේතනා සංඛ්‍යාත කර්ම භවය ද යන මේ පඤ්චධර්ම මෙහි ප්‍රතිසන්‍ධියට ප්‍රත්‍යය වේ යනු එහි අර්ථ යි.

විඥාන, නාමරූප, ෂඩායතන, ස්පර්ශ, වේදනා යන පස වර්තමාන ඵල පස ය. කීයේ මැ යි. “ඉධ පටිසන්‍ධිවිඤ්ඤාණං” ඔක්කන්ති නාමරූපං, පසාදො ආයතනං, ඵුට්ඨො ඵස්සො වෙදයිතං වේදනා ඉති ඉමෙ පඤ්චධම්මා ඉධුප්පත්ති භවස්මිං පුරෙ කතස්ස කම්මස්ස පච්චයා” යි. මේ උප්පත්ති භවයෙහි ප්‍රතිසන්ධි සංඛ්‍යාත විඥාන ද, අවක්‍රාන්ති සංඛ්‍යාත නාමරූප ද, ප්‍රසාද සංඛ්‍යාත ආයතන ද, ස්පෘෂ්ට සංඛ්‍යාත ඵස්ස ද, වෙදයිත සංඛ්‍යාත වේදනා ද යන මේ පඤ්ච ධර්ම පූර්වකෘත කර්මයාගේ ඵල වේ යනු එහි අර්ථ යි.

තෘෂ්ණා, උපාදාන, භව ගන්නාවිට එහි ලා අවිද්‍යා සංස්කාර ද ගත යුතුය. යුක්ති යට කී පරිදි යි. එබැවින් තෘෂ්ණා, උපාදාන, භව, අවිද්‍යා, සංස්කාර යන පස වර්තමාන හේතු පසය, කීයේ මැ යි. ඉධ පරිපක්කත්තා ආයතනානං මොහො අවිජ්ජා, ආයූහනා සංඛාරා, නිකන්තිතණ්හා උපගමනා උපාදානං, චේතනා භවො ඉති ඉමෙ පඤ්ච ධම්මා කම්මභවස්මිං ආයතිං පටිසන්ධියා පච්චයා” යි මෙහි ආයතන මේරූ බැවින් මෝහ සඞ්ඛ්‍යාත අවිද්‍යාව ද, ආයූහන සංඛ්‍යාත තෘෂ්ණාව ද, උපගමන සංඛ්‍යාත උපාදාන ද, චේතනා සංඛ්‍යාත කර්මභව ද යන මේ පඤ්ච ධර්ම ආයති ප්‍රතිසන්ධිය පිණිස ප්‍රත්‍යය වේ යනු එහි අර්ථ යි.

ජාති, ජරා, මරණ ගන්නා විට එහි විඤ්ඤාණ, නාමරූප සළායතන, ඵස්ස, වේදනා ඇතුළත් ය. ජාති නම් විඤ්ඤාණාදි පස මැ යි. එබැවින් ජාති ජරා මරණ හෙවත් විඤ්ඤාණ, නාම රූප, සළායතන, ඵස්ස, වේදනා යන පස අනාගත ඵල පස ය. කීයේ මැ යි. “ආයතිං පටිසන්ධි විඤ්ඤාණං, ඔක්කන්ති නාම රූපං, පසාදො ආයතනං, ඵුට්ඨො ඵස්සො, වෙදයිතං වේදනා ඉති ඉමෙ පඤ්ච ධම්මා ආයතිං උප්පත්තිභවස්මිං ඉධ කතස්ස කම්මස්ස පච්චයා” යි මතු උප්පත්ති භවයෙහි ප්‍රතිසන්ධි සංඛ්‍යාත විඥානය, අවක්‍රාන්ති සංඛ්‍යාත නාම රූපය, ප්‍රසාද සංඛ්‍යාත ආයතන ය. ස්පෘෂ්ට සංඛ්‍යාත ඵස්සය. වෙදයිත සංඛ්‍යාත වෙදනාය යන මේ පඤ්චධර්ම මෙහි කළ කර්මයට ඵල වේ යනු එහි අර්ථ යි. මේ සඳහා අභිධර්මාර්ථ සංග්‍රහයෙහි මේ ගාථාව දැක්වේ.

“අතීතෙ හෙතවො පඤ්ච ඉදානි ඵලපඤ්චකං

ඉදානි හෙතවො පඤ්ච ආයතිං ඵලපඤ්චකං” යි.

ගිය ජාතියෙහි සත්ත්‍වයා සම්බන්‍ධ අවිද්‍යා සංස්කාර, තෘෂ්ණා, උපාදාන, භව ඇත්තේ ය. එයින් මේ ජාතියෙහි විඤ්ඤාණ, නාම රූප, සළායතන, ඵස්ස, වේදනා සංඛ්‍යාත සත්ත්‍වයා පහළ වන්නේ ය. එසේ පහළ වූයේ ආයතන මේරීමෙන් මෙහි දී තෘෂ්ණා උපාදාන භව අවිද්‍යා සංස්කාර රැස් කරන්නේ ය. එසේ රැස් කොටැ එයින් මතු ජාති සංඛ්‍යාත විඤ්ඤාණ, නාමරූප, සළායතන, ඵස්ස, වේදනාය යි කියන ලද සත්ත්‍වයෙක් වැ උපදින්නේ ය. මතු ද එසේ ය. අතීතයෙහි ද එසේ ය. ලෝකයෙහි ස්කන්ධ සන්තතිය මෙසේ භ්‍රමණය වේ.

එක් ධර්මයක් ගත් කල්හි එයට සම්බන්ධ සෙසු ධර්ම ද ගැන්ම නෙත්තියෙහි හාර වශයෙන් ලක්ඛණහාරය යි. ලක්ඛණ හාර නම් එක් ධර්මයක් කී කල්හි එයට ඇතුළත් සෙසු ධර්ම ද ගැන්මයි. න්‍යාය වශයෙන් නන්දියාවට්ට න්‍යාය ය. වතුසුදු මලේ එක් පෙත්තක් ගත් කල්හි ඒ සම්බන්ධ සෙසු පෙති ද ගැනේ. ධර්ම වශයෙන් තබ්භාවභාවි භාවය යි. ඒ යට කියන ලදි.

සන්ධි තුනෙකි.

අඞ්ග දොළොස අද්ධ තුනෙහි හේතු ඵල වශයෙන් බෙදන කල්හි සන්ධි තුනෙක් ලැබේ. අවිද්‍යා, සංස්කාර, අතීත හේතු ය. (තෘෂ්ණා උපාදාන භව මෙහි ඇතුළත් වන බව යට කියන ලද මැ යි.) විඤ්ඤාණ, නාමරූප, සළායතන, ඵස්ස, වේදනා, වර්තමාන ඵල ය. එ බැවින් මේ අතීත හේතු හා වර්තමාන ඵල හා අතර එක් සන්ධියෙක. සංඛාර විඤ්ඤාණ අතර මේ සන්ධිය විය. ඒ හේතු ඵල සන්ධි නම. හේතු හා ඵල අතර වූ සන්ධිය බැවිනි.

විඤ්ඤාණ, නාමරූප, සළායතන, ඵස්ස, වේදනා වර්තමාන ඵල ය. තණ්හා, උපාදාන, භව, වර්තමාන හේතු ය. (අවිජ්ජා සංඛාර මෙහි ඇතුළත් බව දත යුතු. එ බැවින් මේ වර්තමාන ඵල හා වර්තමාන හේතු හා අතර එක් සන්ධියෙක. එය වේදනා තණ්හා දෙක අතර විය. ඒ ඵලහේතු සන්ධි නම. ඵල හා හේතු හා අතර වූ සන්ධිය බැවිනි.

තණ්හා, උපාදාන, භව (මෙහි දු අවිජ්ජා සංඛාර ගත යුතු යි.) වර්තමාන හේතු ය. ජාති ජරා මරණ අනාගත ඵල ය. (විඤ්ඤාණාදි පස මෙහි බව සැලකිය යුතු යි.) මේ වර්තමාන හේතු හා අනාගත ඵල හා අතර එක් සන්ධියෙක. එය භව ජාති අතර විය. එ ද හේතු ඵල සන්ධිය හේතු හා ඵල හා අතර සන්ධිය වූ බැවිනි. මේ ය සන්ධි තුන නම්.

සංක්‍ෂේප සතරෙකි

සන්ධි තුනෙක් වන්නේ කෑලි සතරෙක අතර ය. අවිජ්ජා සංඛාර එක් සංක්‍ෂෙපයෙක. විඤ්ඤාණ, නාමරූප, සළායතන, ඵස්ස, වේදනා එක් සංක්‍ෂේපයෙක තණ්හා උපාදාන භව, එක් සංක්‍ෂෙපයෙකි. ජාති, ජරා, මරණ (විඤ්ඤාණ නාමරූප සළායතන ඵස්ස වේදනා) එක් සංක්‍ෂේපයෙකි. මේ ය සංක්‍ෂෙප සතර නම්,

වට්ට තුනෙකි

මේ අඞ්ග දොළොසෙහි ක්ලේශ ද ඇත. කර්ම ද ඇත. විපාක ද ඇත. ක්ලේශ කිලෙස වට්ට ය. එ නම් අවිද්‍යා, තෘෂ්ණා, උපාදාන යි. මෝහ ලෝභ දිට්ඨි ක්ලේශ මැ යි. කර්ම කම්මවට්ටය. එනම් සංස්කාර හා කර්මභව යි. සංස්කාර යන්නෙන් ද කර්මභව යන්නෙන් ද කියවෙන්නේ චේතනා සංඛ්‍යාත කර්ම මැ යි. විපාක විපාකවට්ට යි. එ නම් උප්පත්ති භව සංඛ්‍යාත භවෛකදේශය හා සෙස්ස ය. විඤ්ඤාණ, නාමරූප, සළායතන, ඵස්ස, වේදනා, උප්පත්ති භව, ජාති ජරා මරණ විපාක යි.

මුල් දෙකෙකි.

අවිද්‍යාව හා සංස්කාර හා මෙහි මුල් ය. අවිද්‍යාව පූර්වාන්තයට මුල් ය. මෙහි පූර්වාන්ත නම් අතීත හේතු පස යි. තෘෂ්ණාව අපරාන්තයට මුල් ය. මෙහි අපරාන්ත නම් වර්තමාන හේතු පස යි. එක මුලක් ඇති තැන අනික් මුල ද ඇති බව සලකනු. මෝඩ කම නිසා එන්නේ ය. ලෝබකම නිසා යන්නේ ය. මේ දෙක සංසාර ශීර්ෂ වශයෙන් ද දක්වනු ලැබේ.

“හෙතු ඵල හෙතු පුබ්බක

තිසන්ධිි චතුභෙදසඞ්ගහං චෙතං

වීසති ආකාරාරං

තිවට්ටමනවට්ඨිතං භමති”

මේ දෙක සිඳි කල්හි භවභ්‍රමණය සිඳේ. එසේ සිඳැ ගන්නට නම් අසංඛත සංඛ්‍යාත නිර්වාණය අරමුණු කළ යුතු ය. ඒ අරමුණු කැරැ ගැන්ම ද තමා විසින් ම ශීලවිශුද්ධි ආදියෙහි පිිහිටා ත්‍රිලක්‍ෂණ භාවනායෙන් කළ යුතු ය. දිට්ඨිවිස නම් සර්ප විශේෂයෙකි. ඔහු දුටුයේ මරණයට පත් වේ. නිර්වාණය දකුත්ම ක්ලේශ ක්‍ෂය වේ. එයින් සංසාර ප්‍රවෘත්තිය නවතී. සෝවාන් වැ දුටු නම් සකල ක්ලේශක්‍ෂය ජාති සතකට සීමා වේ. රහත් වැ දුටු නම් ඒ ඇසිල්ලෙහි සකල ක්ලේශක්‍ෂය වැ මරණයෙන් සංසාර ප්‍රවෘත්තිය සිඳී ශාන්ත සුඛ ස්වරූප නිර්වාණධාතු වන්නේ ය. උච්ඡේදයට හෝ ශාස්වතයට හෝ නො බසිනු.

ප්‍රශ්න.

  1. අද්ධ තුන හා අඞ්ග දොළොස දක්වනු.
  2. ආකාර විස්ස පැහැදිලි කරනු.
  3. සන්ධි තුන හා සංක්‍ෂෙප සතර විස්තර කරනු.
  4. වට්ට තුන හා මුල් දෙක පහදා දෙනු.
  5. මේ ප්‍රත්‍යය ප්‍රත්‍යයොත්පන්න ධර්ම සන්තතිය කෙසේ සිඳෙන්නේ ද?