10. සත්‍ය ප්‍රභව, කෘත්‍ය, වාරණ, උපමා, ගම්භීර, නය.

පටිච්චසමුප්පාදය පිළිබඳ විශිෂ්ටාවබෝධය සඳහා සත්‍ය ප්‍රභවාදී ස ආකාරය දත යුතු ය. විශුද්ධිමාර්ගානුසාරයෙන් එය මෙහි සැකෙවින් දක්වනු ලැබේ.

සත්‍ය ප්‍රභව.

පටිච්චසමුප්පාදයෙහි අඞ්ග කවර කවර සත්‍යයකට අයත් ද? කවර කවර සත්‍යයෙකින් කවර කවර සත්‍යයෙක් හටගනී ද යනු දැක්වීම සත්‍ය ප්‍රභවය යි. තෘෂ්ණාව සමුදය සත්‍යය යි විශේෂයෙන් දක්වා ඇත ද මෙහි කුශලාකුශල කර්ම සමුදය සත්‍යය යි සාමාන්‍යයෙන් දත යුතු ය. “කුසලා කුසලං කම්මං අවිසෙසෙන සමුදය සච්චං” යි, සත්‍ය විභඞ්ගයෙහි දැක්වුණු බැවිනි. එ බැවින් අවිද්‍යාව සමුදය සත්‍යය. සංස්කාර ද සමුදය සත්‍යය. අවිද්‍යායෙන් සංස්කාර වේ යනු දෙවන සත්‍යයෙන් හටගන්නා දෙවන සත්‍යය යි. සංස්කාරයෙන් විඥාන දෙවන සත්‍යයෙන් හටගන්නා ප්‍රථම සත්‍යය යි. විඥාන දුඃඛසත්‍යයට අයත් ය, විඥානයෙන් නාමරූප ද නාමරූපයෙන් සළායතන ද, සළායතනයෙන් ඵස්ස ද ඵස්සයෙන් වේදනා ද ප්‍රථම සත්‍යයෙන් හටගන්නා ප්‍රථම සත්‍ය යි. වේදනායෙන් තෘෂ්ණා ප්‍රථම සත්‍යයෙන් හටගන්නා දෙවන සත්‍ය යි. තෘෂ්ණායෙන් උපාදාන දෙවන සත්‍යයෙන් හටගන්නා දෙවන සත්‍ය යි. උපාදානයෙන් භව දෙවන සත්‍යයෙන් හටගන්නා ප්‍රථම ද්විතීය සත්‍ය යි. භවයෙන් ජාති දෙවන සත්‍යයෙන් හට ගන්නා ප්‍රථම සත්‍ය යි. මේය සත්‍ය ප්‍රභව නමි.

කෘත්‍ය.

මෙහි එක් එක් අඞ්ගය කෘතය දෙක දෙක කෙරේ. අවිද්‍යාව වස්තු කෙරෙහි ද සත්ත්‍වයා කෙරෙහිද මුළාව කෙරේ. සංස්කාරයනටද ප්‍රත්‍යය වේ. සංස්කාර කුශලාකුශල අභිසංස්කරණය කෙරේ. විඥානයට ද ප්‍රත්‍යය වේ. විඥාන වස්තු විජානනය කෙරේ. නාමරූපයන්ට ද ප්‍රත්‍යය වේ. නාමරූප ඔවුනොවුන්ට උපස්ථම්භ කෙරේ. ෂඩායතනයන්ට ද ප්‍රත්‍යය වේ. ෂඩායතන ස්වකීය අරමුණෙහි පැවැත්ම කෙරේ. ස්පර්ශයට ද ප්‍රත්‍යය වේ. ස්පර්ශය අරමුණ ස්පර්ශ කෙරේ. වේදනාවට ද ප්‍රත්‍යය වේ. වේදනා අරමුණු රස අනුභව කෙරේ. තෘෂ්ණාවට ප්‍රත්‍යය වේ. තෘෂ්ණා ඇල්ම කෙරේ. උපාදානයට ද ප්‍රත්‍යය වේ. උපාදාන දෘඪග්‍රහණය කෙරේ. භවයට ද ප්‍රත්‍යය වේ. භව නානා ගතිවල වික්‍ෂේපය කෙරේ. ජාතියට ද ප්‍රත්‍යය වේ. ජාති ස්කන්ධ උපදවා ජරා මරණයට ද ප්‍රත්‍යය වේ. ජරා මරණ ස්කන්ධයන් ගේ දිරුම් මැරුම් කෙරේ. සෝකාදියට කාරණ බැවින් පුනර්භව පිණිස ප්‍රත්‍යය වේ. මෙ ය කෘත්‍ය.

වාරණ.

වාරණ නම් වැළැක්ම ය. මෙහි එක් එක් දැක්වීමෙකින් සත්ත්‍වයන් අතර පැතිර පවත්නා දුර්මත නිරාකරණය කෙරේ. “අවිද්‍යායෙන් සංස්කාර වේ” යි කීමෙන් මැවුම් කරුවෙක් ඇතැ යි යන කාරක ලබ්ධිය නිරාකරණය කෙරේ. “සංස්කාරයෙන් විඥාන වේ” යි කීමෙන් ‘භවයෙන් භවයට ආත්මය සඞ්ක්‍රමණය කරන්නේ ය’ යන ආත්මලබ්ධිය දුරු කෙරේ. විඥානයෙන් නාමරූප වේ” යි කීමෙන් ආත්මය යි වරදවා ගත් දෙය භෙද වැ යන සැටි දක්වන බැවින් ඝනසංඥාව දුරුකෙරේ. “නාම රූපයෙන් ෂඩායතන වේ. ෂඩායතනයෙන් ස්පර්ශ වේ” යනාදිය දැක්වීමෙන් “දක්නේ ආත්මය ය. අසන්නේ ආත්මය ය. -පෙ- දැනැ ගන්නේ ආත්මය ය ස්පර්ශ කරන්නේ ආත්මය විඳින්නේ ආත්මය ය” යනාදි ආත්ම සංඥා දුරු කෙරේ. මේ ය වාරණ.

උපමා.

පටිච්චසමුප්පාදය උපමා වශයෙන් ද දත යුතුය. ධර්මයන්ගෙ ඇති ගතිය නොදක්නා බැවින් ගමන් ගත් අන්ධයකු මෙනි අවිද්‍යාව. අන්ධයා ගලෙක මුලෙක හැපී පැකිළීම මෙනි අවිද්‍යායෙන් සංස්කාර. පැකිළැ වැටීම මෙනි, සංස්කාරයෙන් විඥාන. වැටීමෙන් ගඩ හටගැන්ම මෙනි විඥානයෙන් නාමරූප. හඩ බිඳී පිළක නැගීම මෙනි නාමරූපයෙන් ෂඩායතන, පිළක කිසිවක ගැටීම මෙනි ෂඩායතනයෙන් ස්පර්ශ. ගැටීමෙන් නැගුණු දුක මෙනි ස්පර්ශයෙන් වේදනා. දුකට පිළියම් කැමැත්ත මෙනි වේදනායෙන් තෘෂ්ණා. පිළියම් කැමැත්තෙන් නුසුදුසු බෙහෙත් ගැනීම මෙනි තෘෂ්ණායෙන් උපාදාන. ගත් නුසුදුසු බෙහෙත ගෑම මෙනි උපාදානයෙන් භව. නුසුදුසු බෙහෙත ගෑමෙන් ගඩ විකාරයෙන් බිඳීයාම මෙනි ජාතියෙන් ජරා මරණ.

තව ද ඇසෙහි පටලය මෙනි අවිද්‍යාව, පටපණුවා තමාගේ නූලෙහි වෙළීම මෙනි අවිද්‍යායෙන් සංස්කාර. පරිනායක පරිගෘහිත රාජ කුමාරයා රාජ්‍යයෙහි පිිහිටීම මෙනි සංස්කාරයෙන් විඥාන. මායාකාරයා මායා දැක්වීම මෙනි විඥානයෙන් නාමරූප. සුභූමියෙහි වැඩෙන වන ලැහැබ මෙනි නාමරූපයෙන් ෂඩායතන. ගිනිකූර ගිනි පෙට්ටියෙහි හැපී ගිනි හටගැන්ම මෙනි ෂඩායතනයෙන් ස්පර්ශ. ගින්නෙන් දැවුණුහට දාහය මෙනි ස්පර්ශයෙන් වේදනා. ලුණුදිය බිවුහට පිපාසා මෙනි වේදනායෙන් තෘෂ්ණා. පිපාසිතයා පැන් ඉස්නා මෙනි තෘෂ්ණායෙන් උපාදාන. මත්ස්‍යයා බිලිය ගිලීම මෙනි උපාදානයෙන් භව. බීජයෙන් අඞ්කුරය මෙනි භවයෙන් ජාති. වැඩෙන රුක වැටීම මෙනි ජාතයාට ජරා මරණ. මේ ය උපමා.

ගම්භීර.

ගම්භීර නම් පටිච්චසමුප්පාදයෙහි ගැඹුරු බව යි. ඒ වනාහි අර්ථ වශයෙන් ද ගැඹුරු ය. ධර්ම වශයෙන් ද ගැඹුරු ය. දේශනා වශයෙන් ද ගැඹුරු ය. ප්‍රතිවේධ වශයෙන් ද ගැඹුරු යි.

මෙහි අර්ථ නම් ප්‍රත්‍යයොත්පන්නය හෙවත් ඵල ය. ධර්ම නම් ප්‍රත්‍යය හෙවත් හේතුය. ඵල වශයෙන් බැලුව ද හේතු වශයෙන් බැලුව ද පටිච්චසමුප්පාදය ගැඹුරු මැ යි. දේශනා නම් බුදුන්ගේ දේශනා ය, සර්වඥතාඥානයෙන් විනා අන් කිසි නුවණෙකින් මේ දැක්විය හැකි නොවේ. සර්වඥයන් වහන්සේ මෙය ඇතැම් තැනෙක අනුලෝම වශයෙන් ද, ඇතැම් තැනෙක ප්‍රතිලෝම වශයෙන් ද, ඇතැම් තැනෙක අනුලෝම ප්‍රතිලෝම වශයෙන් ද, ඇතැම් තැනෙක මධ්‍යයෙහි පටන් දෙකෙළෙවරට ද, ඇතැම් තැනෙක ත්‍රිශන්ධි චතුඃසංක්‍ෂෙප වශයෙන්ද, ඇතැම් තැනෙක ද්විසන්ධි ත්‍රිසංක්‍ෂෙප වශයෙන්ද, ඇතැම් තැනෙක එක සන්ධි ද්විසංක්‍ෂෙප වශයෙන් ද වදාළ සේක. එ බැවින් මෙය දේශනා වශයෙන් ද ගම්භීර ය. මෙහි එක් එක් කරුණක් පවා ප්‍රතිවේධයට දුෂ්කර ය. එහෙයින් මෙය ප්‍රතිවේධ වශයෙන් ද ගම්භීර යි. මේ ය ගම්භීර.

නය

එකත්ත නය, නානත්ත නය, අබ්‍යාපාර නය, ධම්මතා නය ය යි නය සතර වැදෑරුම් වේ. අවිද්‍යායෙන් සංස්කාර වේ. සංස්කාරයෙන් විඥාන වේ යනාදීන් පරම්පරාව නොසිඳැ පැවැත්ම එකත්ත නය යි. අවිද්‍යාදි එක් එක් ධර්මය පිළිබඳ ලක්‍ෂණ ව්‍යවස්ථාව නානත්ත නය යි. “අවිද්‍යාවට මා විසින් සංස්කාර උපදවනු ලැබේ” යි කියා හෝ “සංස්කාරයට මා විසින් විඥාන උපදවනු ලැබේ”යි කියා හෝ ව්‍යාපාර නැති බව අබ්‍යාපාර නය යි. අවිද්‍යාදීන් කරණකොට ගෙනැ ම සංස්කාරාදිය වන්නේය යි ගැන්ම ධම්මතා නය යි. මේ ය නය.

“සච්චප්පභවතො කිච්චා වාරණා උපමාහි ච,

ගම්භීරනයභෙදා ච විඤ්ඤාතබ්බං යථාරහං”

ප්‍රශ්න.

  1. පටිච්චප්පාදයෙහි එක් එක් අඞ්ගය සත්‍ය වශයෙන් දක්වනු.
  2. එක් එක් අඞ්ගයෙකින් කවර කවර දුර්දර්ශන දුරු කෙරේද?
  3. එක් එක් අඞ්ගයෙක් කවර කවර කෘත්‍ය කෙරේ ද?
  4. පටිච්චසමුප්පාදයට උපමා දක්වනු.
  5. පටිච්චසමුප්පාදයේ ගම්භීරත්‍ව හා නය භෙද දක්වනු.