12 1. හේතු ප්‍රත්‍යය, 2. ආරම්මණ පච්චය, 3. අධිපති පච්චය.

1. හේතු ප්‍රත්‍යය

හේතු ප්‍රත්‍යය නම් හේතු වශයෙන් උපකාර වීම ය. හේතු නම් ස්ථිරභාවය සිද්ධ කරන ධර්ම යි. මුල් ගසෙක ස්ථිර භාවය සිද්ධ කරන්නා සේ යම් ධර්මයෙක් සම්ප්‍රයුක්තයන්ගේ ස්ථිරභාවය සිද්ධ කෙරේ නම් ලෝභ, දේාස, මෝහ, අලෝභ, අදෝස, අමෝහ යන සය යි. මින් ලෝභාදි තුන අකුශලයන්ගේ ද අලෝභාදි තුන කුශල අව්‍යාකෘතයන්ගේ ද ස්ථිර භාවය සිද්ධ කෙරේ. හේතු රහිත සිත් හෙවත් අහේතුක සිත් අටළොස ජලතලයෙහි සෙවෙල් මෙන් අස්ථිරය. හේතු සංඛ්‍යාත මුල් නැති බැවිනි. හේතු සහිත සිත් හෙවත් සහේතුක සිත් මුල් සහිත වෘක්‍ෂ මෙන් ස්ථිරය. ඔවුන්ගේ එක හේතුකත්ව ද්විහේතුකත්ව යට කියන ලදි. (තුන් වන පාදයේ හේතු සංග්‍රහය බලනු.) මෙසේ හේතු තත් සම්ප්‍රයුක්තයන්ට හේතු ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වන්නේ ය. හේතු ප්‍රත්‍යය වන්නේ තත් සම්ප්‍රයුක්තයන්ට පමණෙක් ද? නැත. තජ්ජරූපයන්ට ද ප්‍රත්‍යය වේ. හේතුයෙන් උපදින රූප නම් කර්මජ රූප හා චිත්තජ රූපයි. එබැවින් කර්මජ රූපයන්ට ද සහේතුක චිත්තජ රූපයන්ට ද හේතු හේතු ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ. වදාළේ මැ යි. පට්ඨානයෙහි: “හේතු හේතුසම්පයුත්තකානං ධම්මානං තං සමුට්ඨානානං ච රූපානං හේතු පච්චයෙන පච්චයො” යි හේතු හේතුසම්ප්‍රයුක්ත ධර්මයන්ට ද, තත් සමුත්‍ථාන රූපයන්ට ද හේතු ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ යනු එහි අර්ථ යි. ප්‍රත්‍යය වීම හෙවත් උපකාර වීම නූපන්නවුන්ගේ උපදීමට ද, උපන්නවුන්ගේ ස්ථිතියට භාවෘද්ධියට ද වේ.

පටිච්චසමුප්පාදයෙහි “අවිජ්ජා ප්‍රත්‍යයයෙන් සංස්කාර වේ.” කී තන්හි අවිද්‍යාව ත්‍රිවිධ සංස්කාර අතුරෙන් අපුඤ්ඤාභි සංඛාරයන්ට මේ හේතු ප්‍රත්‍යය වේ. එසේ ම තෘෂ්ණාව උපාදානයන්ට ද උපාදාන භාවයට ද හේතු ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ. එහි සූක්‍ෂම භෙද පරීක්‍ෂායෙන් උගත යුතු යි. නාමරූප සළායතනයට ද හේතු ප්‍රත්‍යය වන සැටි සලකනු.

2. ආරම්මණ ප්‍රත්‍යය.

ආරම්මණ ප්‍රත්‍යය නම් අරමුණු වශයෙන් උපකාර වීම ය. ආරම්මණ නම් චිත්ත චෛතසිකයන්ගේ උපදීමට හා පැවැත්මට ආලම්බන වන ධර්ම යි. දුර්වල පුරුෂයකුට සැරයටි ආදි කිසිවක එල්බැ මුත් නො එල්බැ නැඟී නො සිටිය හැකි සේ චිත්ත චෛතසිකයන්ට ද රූපාදි කිසිවක එල්බැ ඉපදිය සිටිය නො හැකිය. එසේ චිත්ත චෛතසික ඉපිද එල්බ සිටින ධර්ම සයෙකි. එ නම් රූප, ශබ්ද, ගන්‍ධ, රස, ස්ප්‍රෂ්ටව්‍ය, ධර්ම යන මොහු යි. මේ රූපාදි සය චිත්ත චෛතසිකයන්ගේ උපැත්මට හා පැවැත්මට අරමුණුවීම් වශයෙන් උපකාර වන සෙයින් ආරම්මණ ප්‍රත්‍යය යි කියනු ලැබේ. රූපාදිය කවර කවර සිත්වලට අරමුණු වන්නේ ද යනු තුන්වන පාදයෙහි ආරම්මණ සංග්‍රහයෙහි දක්වන ලදි. වදාළේ මැ යි පට්ඨානයෙහි:

“ආරම්මණපච්චයොති. රූපායතනං චක්ඛුවිඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං ආරම්මණ පච්චයෙන පච්චයො සද්දායතනං සාතවිඤ්ඤාණධාතුයා තං සම්පයුත්තකානංච ධම්මානං ආරම්මණපච්චයෙන පච්චයො ගන්‍ධායතනං ඝාණවිඤ්ඤාණධාතුයා තං සම්පයුත්තකානංච ධම්මානං ආරම්මණපච්චයෙන පච්චයො. රසායතනං ජිව්හාවිඤ්ඤාණධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං ආරම්මණපච්චයෙන පච්චයො. ඵොට්ඨබ්බායතනං කාය විඤ්ඤාණධාතුයා තං සම්පයුත්තකානංච ධම්මානං ආරම්මණ පච්චයෙන පච්චයො. රූපායතනං සද්දායතනං ගන්‍ධායතනං රසායතනං ඵොට්ඨබ්බායතනං මනොධාතුයා තං සම්පයුත්තකානංච ධම්මානං ආරම්මණපච්චයෙන පච්චයො සබ්බෙ ධම්ම මනොවිඤ්ඤාණධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං ආරම්මණපච්චයෙන පච්චයො යං යං ධම්මං ආරබ්භ යෙ යෙ ධම්මා උප්පජ්ජන්ති චිත්තචෙතසිකා ධම්මා තෙ තෙ ධම්මා තෙසං තෙසං ධම්මානං ආරම්මණ පච්චයෙන පච්චයො” යි.

රූපායතනය චක්ඛුවිඤ්ඤාණ සිත් දෙකට හා තත් සම්ප්‍රයුක්ත චෛතසිකයන්ට ද, ශබ්දායතනය සෝතවිඤ්ඤාණ සිත් දෙකට හා තත් සම්ප්‍රයුක්ත චෛතසිකයන්ට ද, ගන්‍ධායතනය ඝාණවිඤ්ඤාණ සිත් දෙකට හා තත් සම්ප්‍රයුක්ත චෛතසිකයන්ට ද රසායතනය ජිව්හා විඤ්ඤාණ සිත් දෙකට හා තත් සම්ප්‍රයුක්ත චෛතසිකයන්ට ද ඵොට්ඨාබ්බායතනය කායවිඤ්ඤාණ සිත් දෙකට හා තත් සම්ප්‍රයුක්ත චෛතසිකයන්ට ද රූපායතනාදි පස මනොධාතු සංඛ්‍යාත පඤ්චද්වාරා වර්ජන සම්පටිච්ඡන යුගල යන සිත් තුනට හා තත්සම්ප්‍රයුක්ත චෛතසිකයන්ට ද, සියලු ධම්ම මනෝවිඥාන ධාතු සිත්වලට හා තත්සම්ප්‍රයුක්ත චෛතසිකයන්ට ද, ආරම්මණ ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ. යම් යම් ධර්මයක් අරබයා යම් යම් චිත්තචෛතසික ධර්මයන්ට ආරම්මණ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යය වේ යනු එහි සංක්‍ෂෙපාර්ථ යි.

පටිච්චසමුප්පාදයෙහි ලා අවිද්‍යාව සංඛාරයන්ට ආරම්මණ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යය වේ. එහි අවිද්‍යාව කාමාවචර පුඤ්ඤාභි සංඛාරයන්ට ප්‍රත්‍යය වන්නේ ඒ අවිද්‍යාව ඛය වය වසයෙන් සම්මර්ශනය කරන විට ය. රූපාවචර පුඤ්ඤාභිසංඛාරයන්ට ප්‍රත්‍යය වන්නේ අභිඥා සිතින් සමෝහ සිත් දැනැ ගන්නා විට ය. අපුඤ්ඤාභිසංඛාරයන්ට ප්‍රත්‍යය වන්නේ අවිද්‍යාව අරබයා රාගාදීන් උපදිනා විට ය.

“සළායතන පච්චයා ඵස්සො” යූ තන්හි බාහිරයෙහි රූපායතනාදිය චක්ඛුසම්ඵස්සාදියට ආරම්මණ ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ.

3. අධිපති ප්‍රත්‍යය.

අධිපති ප්‍රත්‍යය නම් අධිපති වශයෙන් උපකාර වීම ය. සක්විති රජ අන්‍ය රාජ රාජමහාමාත්‍යාදීන්ගේ ආධිපත්‍යය මැඩැ රටවැස්සන්ගේ ශුභසිද්ධිය සඳහා තමාගේ අධිපති භාවය පවත්නා සේ යම් ධර්ම කෙනෙක් සෙසු චිත්ත චෛතසිකාදීන්ගේ අධිපති භාවය මැඩැ තමන්ගේ අධිපති භාවය පවත්වත් ද ඒ ධර්ම අධිපති ප්‍රත්‍යය යි. ඒ අධිපති වනාහි සහජාතාධිපති ආරම්මණාධිපතිය යි ද්විවිධ වේ. සහජාතාධිපති නම් ඡන්‍ද, විරිය, චිත්ත, වීමංසා යන සතර යි. ඡන්‍දය තමා හා යෙදුණු සෙසු චිත්ත චෛතසිකයන්ට ද තත් සමුත්‍ථාන රූපයන්ට ද අධිපති ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ. චිත්තාදිය ද මෙසේය. මේ සතරිනි දු එකක් අධිපති වනවිට සෙසු තුනෙහි අධිපති භාවය නොපවත්නා බව දත යුතු. මේ සහජාතාධිපති යි. යම් අරමුණක් අධිපති කොටැ චිත්ත චෛතසික පවතී ද ඒ අරමුණ ආරම්මණාධිපති යි. මෙසේ ඡන්දාදි සතරින් එකක් හෝ යම් කිසි ගරු කොටැ ගත් අරමුණක් හෝ අධිපති ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වන බව දත යුතු යි. වදාළේ මැ යි. පට්ඨානයෙහි:

“අධිපතිපච්චයොති. ඡන්දාධිපති ඡන්දසම්පයුත්තකානං ධම්මානං තංසමුට්ඨානානං ච රූපානං අධිපතිපච්චයෙන පච්චයො. විරියාධීපති විරියසම්පයුත්තකානං ධම්මානං තංසමුට්ඨානානංච රූපානං අධිපතිපච්චයෙන පච්චයො. චිත්තාධිපති චිත්තසම්පයුත්තකානං ධම්මානං තංසමුට්ඨානානං ච රූපානං අධිපතිපච්චයෙන පච්චයො. වීමංසාධිපති වීමංසා සම්පයුත්තකානං ධම්මානං තංසමුට්ඨානානං ච රූපානං අධිපතිපච්චයෙන පච්චයො. වීමංසාධිපති වීමංසා සම්පයුත්තකානං ධම්මානං තංසමුට්ඨානානං ච රූපානං අධිපතිපච්චයෙන පච්චයො යං යං ධම්මං ගරුං කත්වා යෙ යෙ ධම්මා උප්පජ්ජන්ති චිත්තචෙතසිකා ධම්මා, තෙ තෙ ධම්මා තෙසං තෙසං ධම්මානං අධිපති පච්චයෙන පච්චයො” යි.

අර්ථ සුගම යි. වීමංසා නම් ප්‍රඥා යි. පටිච්චසමුප්පාදයෙහි අවිද්‍යාව සංස්කාරයන්ට අධිපති ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යය වේ. එසේ වන්නේ අවිද්‍යාව ගරු කොටැ ආස්වාදනය කරන විට ය. එබැවින් එය ආරම්මණාධිපති යි.

ප්‍රශ්න.

  1. හේතු ප්‍රත්‍යය යනු කිම? පටිච්චසමුප්පාදයෙහි හේතු ප්‍රත්‍යය ලැබෙන තැන් දක්වනු.
  2. ආරම්මණ ප්‍රත්‍යය යනු කිම? කවර කවර ආරම්මණයෙක් කවර කවර චිත්තචෛතසිකයනට අරමුණු වේ ද?
  3. ෂඩායතන හා සත්තවිඤ්ඤාණ ධාතු දක්වනු.
  4. අධිපති ප්‍රත්‍යය යනු කිම? ඒ කී වැදෑරුම් ද? ඡන්දාදීන්ට සහ ජාතාධිපතිය යි කීයේ මන්ද? ආරම්මණාධිපති වන්නේ කිමෙක් ද?
  5. පටිච්චසමුප්පාදයෙහි ආරම්මණ ප්‍රත්‍යය හා අධිපති ප්‍රත්‍යය ලැබෙන තැන් දක්වනු.