14 7 අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යය, 8 නිස්සය ප්‍රත්‍යය, 9 උපනිස්සය ප්‍රත්‍යය.

7. අඤ්ඤමඤ්ඤ (අන්‍යොන්‍ය) ප්‍රත්‍යය.

අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යය නම් අන්‍යොන්‍යයන්ගේ උපදීමට පැවැත්මට උපස්ථම්භ වශයෙන් උපකාර වීම ය. ත්‍රීදණ්ඩය හෙවත් කත්තිරික්කය එකක් අනිකෙහි ද එය අනිකෙහි ද වශයෙන් නො වැටී සිටීමට උපකාර වන්නේ ය. එසේ යමෙක් අන්‍යොන්‍යයන්ට උපකාර වේ ද එය අන්‍යොන්‍ය ප්‍රත්‍යය යි. අරූප ස්කන්ධ සතර එකෙක් එකෙක් අන්‍ය අන්‍යයන්ට අන්‍යොන්‍ය ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ. එසේ ම මහාභූත සතර ද ප්‍රතිසන්‍ධි ක්‍ෂණයෙහි නාමරූප ද අන්‍යොන්‍ය ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ. වදාළේ මැ යි.

පට්ඨානයෙහි:

“චත්තාරො ඛන්‍ධා අරූපිනො අඤ්ඤමඤ්ඤ පච්චයෙන පච්චයො. චත්තාරො මහාභූතා අඤ්ඤමඤ්ඤ පච්චයෙන පච්චයො. ඔක්කන්තික්ඛණෙ නාමරූපං අඤ්ඤමඤ්ඤ පච්චයො.” යි.

පටිච්චසමුප්පාදයෙහි අවිද්‍යාව අපුඤ්ඤාභිසඞ්ඛාරයන්ට ද, විඤ්ඤාණය නාමරූපයන්ට ද, නාමරූප සළායතනයන්ට ද, මනායතනය ඵස්සයට ද ඵස්සය වේදනාවට ද, තණ්හාව උපාදානයන්ට ද, උපාදාන කර්මභවයට ද, අන්‍යොන්‍ය ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ. විශේෂ ස්ථාන සලකනු.

8. නිස්සය (නිශ්‍රය) ප්‍රත්‍යය.

නිශ්‍රය ප්‍රත්‍යය නම් අධිෂ්ඨාන භාවයෙන් හෙවත් ආධාර වශයෙන් උපකාර වීම ය. පෘථිවිය වෘක්‍ෂ ලතාවන්ගේ ද වස්ත්‍ර පත්‍ර ආදිය චිත්‍රකර්මයන්ගේ ද පැවැත්මට ආධාර වේ. එමෙන් යම් ධර්මයෙක් අන්‍ය ධර්මයන්ගේ පැවැත්මට ආධාර වේ ද එය නිශ්‍රය ප්‍රත්‍යය යි. අරූපස්කන්ධ සතර අන්‍යොන්‍යයන්ට ද, මහාභූත අන්‍යොන්‍යයන්ට ද, ප්‍රතිසන්ධි ක්‍ෂණයෙහි නාමරූප අන්‍යොන්‍යයන්ට ද, චිත්ත චෛතසික චිත්තජ රූපයන්ටද, මහාභූත උපාදාය රූපයන්ට ද, චක්ඛායතනය චක්ඛුවිඤ්ඤාණ ධාතුවට හා තත් සම්ප්‍රයුක්තයන්ට ද, එසේ ම සෝතායතනාදිය සෝත විඤ්ඤාණාදීන්ට හා තත් සම්ප්‍රයුක්තයන්ට ද, වස්තුරූප මනොධාතු මනෝ විඤ්ඤාණ ධාතූන්ට ද, නිශ්‍රය ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ. වදාළේ මැයි.

පට්ඨානයෙහි:

නිස්සයපච්චයොති, චත්තාරො ඛන්‍ධා අරූපිනො අඤ්ඤමඤ්ඤං නිස්සයපච්චයෙන පච්චයො. චත්තාරො මහාභූතා අඤ්ඤමඤ්ඤං -පෙ- ඔක්කන්තීක්ඛණෙ නාමරූපං අඤ්ඤමඤ්ඤං -පෙ- චිත්තචෙතසිකා ධම්මා චිත්ත සමුට්ඨානානං රූපානං -පෙ- මහාභූතා උපාදාරූපානං -පෙ- චක්ඛායතනං චක්ඛුවිඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං -පෙ- සෝතායතනං -පෙ- ජිව්හායතනං -පෙ- කායායතනං -පෙ- යං රූපං නිස්සාය මනොධාතු ච මනොවිඤ්ඤාණ ධාතු ච වත්තන්තී තං රූපං මනොධාතුයා ච මනොවිඤ්ඤාණධාතුයා ච තං සම්පයුත්තකානං ච ධම්මානං නිස්සයපච්චයෙන පච්චයො”යි.

පටිච්චසමුප්පාදයෙහි අවිද්‍යාව අපුඤ්ඤාභිසංඛාරයන්ට නිශ්‍රය ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යය වේ. එසේ ම විඤ්ඤාණය නාමරූපයන්ට ද, නාමරූප සළායතනයන්ට ද, සළායතන ඵස්සයට ද ඵස්සය වේදනාවට ද, තණ්හාව උපාදානයන්ට ද, උපාදාන කර්ම භාවයට ද, නිශ්‍රය ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ. තණ්හාව දිට්ඨුපාදානාදි තුනට පමණක් නිස්සය වන සැටි සලකනු.

9. උපනිස්සය (උපනිශ්‍රය) ප්‍රත්‍යය.

උපනිශ්‍රය ප්‍රත්‍යය නම් ඉතා බලවත් නිශ්‍රය වශයෙන් උපකාර වීම ය. හැල් බතක් සම්පාදනය කැරැ ගැන්මට අරක්කැමියා ද සැළිය ද දර හා ගිනි ද නිශ්‍රය යි. කුඹුර හා වැසි ධාරා උපනිශ්‍රය යි. කුඹුර හා වැසි ධාරා නො වී නම් අරක්කැමි ආදීන්ට එය සම්පාදනය කළ නො හැකි ය. මෙසේ අතිශය බලවත් නිශ්‍රය උපනිශ්‍රය යි දතයුතු. උපායාස යන තන්හි සේ මෙහි උප ශබ්ද අතිශයාර්ථද්‍යොතක යි. ඒ උපනිස්සය වනාහි 1 ආරම්මණුපනිස්සය, 2 අනන්තරූප නිස්සය, 3 පකතූප නිස්සය යි තුන් වැදෑරුම් වේ.

1. ආරම්මණුනිස්සය නම් බලවත් අරමුණු යි. “දන් දී, සිල් රැක, පෙහෙවස් සමාදන් වැ, එය ගරු කොටැ අරමුණු කරයි. පෙර තමා විසින් පුරුදු කළ යහපත් ධර්ම ගරු කොටැ අරමුණු කරයි. ධ්‍යානයෙන් නැගී ධ්‍යානය ගරු කොටැ අරමුණු කරයි. ශෛක්ෂයෝ ගොත්‍රභූ, වොදාන ගරු කොට අරමුණු කරයි. ශෛක්‍ෂයෝ මාර්ගයෙන් නැගී මාර්ගය ගරුකොටැ අරමුණු කරයි” යන මේ ආදි තන්හි ආරම්මණූපනිස්සය ලැබෙන බව දත යුතු. ආරම්මණාධිපති හා ආරම්මණුපනිස්සය සමානසේ පෙණුන ද ගරුකොටැ ගැන්ම ආරම්මණාධිපති වන බව ද එම බලවත් කොටැ ගැන්ම ආරම්මණුපනිස්සය වන බව ද සැලකිය යුතුයි. අරමුණු ගරු කටයුතු වශයෙන් ගැන්ම ආරම්මණාධිපති යි. එම බලවත් වශයෙන් ගැන්ම ආරම්මණූපනිස්සය යි.

2. අනන්තරූපනිස්සය නම් බලවත් වශයෙන් අභ්‍යන්තර වීම ය. පූර්ව සිත පසු සිතට සාමාන්‍ය වශයෙන් අනන්තර වීම අනන්තර ප්‍රත්‍යය යි. විශේෂ බලවත් වශයෙන් අනන්තර වීම අනන්තරූපනිස්සය යි. පූර්ව පූර්ව කුශල ධර්ම පශ්චිම පශ්චිම කුශල ධර්මයන්ට උපනිශ්‍රය ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ. පූර්ව පූර්ව කුශලධර්ම පශ්චිම පශ්චිම අකුශල ධර්මයන්ට ද ඇතැම් විට උපනිශ්‍රය ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ. පූර්ව පූර්ව කුශලධර්ම පශ්චිම පශ්චිම අව්‍යාකෘත ධර්මයන්ට උපනිශ්‍රය ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ. පූර්ව පූර්ව අකුශලධර්ම පශ්චිම පශ්චිම අකුශල ධර්මයන්ට ද අබ්‍යාකෘත ධර්මයන්ට ද ඇතැම්විට කුශලධර්මයන්ට ද උපනිශ්‍රය ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ. පූර්ව පූර්ව අව්‍යාකෘත ධර්ම පශ්චිම පශ්චිම අව්‍යාකෘත ධර්මයන්ට ද කුශලධර්මයන්ට ද අකුශල ධර්මයන්ට ද උපනිශ්‍රය ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ.

3. පකතූපනිස්සය නම් ස්ව සන්තානයෙහි ම නිපන් ශ්‍රද්ධා ශීලාදිය යි. උපසේවිත වූ හෝ සෘතුභෝජනාදිය යි. ශ්‍රද්ධා ශීලාදි යන තන්හි ආදි ශබ්දයෙන් ශ්‍රැත, ත්‍යාග ප්‍රඥා ද, රාග ද්වේශ මෝහ මාන දෘෂ්ටි ප්‍රාර්ථනා ද ගත යුතු යි. සෘතු භෝජනාදි යන තන්හි ආදි ශබ්දයෙන් කායික සුඛ, කායික දුක්ඛ, පුද්ගල සේනාසන ගත යුතු යි. ‘ශ්‍රද්ධාව නිසා දන් දෙයි. සිල් රකියි. ධ්‍යාන, විදර්ශනා, මාර්ග, අභිඥා, සමාපත්ති උපදවයි’ යනාදි තන්හි ශ්‍රද්ධාදිය පකතූපනිස්සය යි දත යුතු. පකත නම් මනා වැ දැඩි වැ කරන ලද යි. පකති උපනිස්සය හෝ පකතූපනිස්සය යි. පකති නම් අනික් අරමුණු හා අසම්මිශ්‍ර වීම යි. ප්‍රකෘතියෙන් උපනිශ්‍රය වූයේ ප්‍රකෘත්‍යුපනිශ්‍රය යි. එවිට ගත යුතු යි. වදාළේ මැ යි.

පට්ඨානයෙහි:

“උපනිස්සයපච්චයොති පුරිමා පුරිමා කුසලා ධම්මා පච්ඡිමානං පච්ඡිමානං කුසලානං ධම්මානං උපනිස්සය පච්චයෙන පච්චයො. පුරිමා පුරිමා කුසලා ධම්මා පච්ඡිමානං පච්ඡිමානං අකුශලානං ධම්මානං කෙසංචී -පෙ- අබ්‍යාකතානං ධම්මානං උපනිස්සයපච්චයෙන පච්චයො. පුරිමා පුරිමා අකුශලා ධම්මා පච්චිමානං පච්ඡිමානං අකුශලානං ධම්මානං -පෙ- කුසලානං ධම්මානං කෙසංචි -පෙ- අබ්‍යාකතානං ධම්මානං උපනිස්සය පච්චයෙන පච්චයො. පුරිමා පුරිමා අබ්‍යාකතා ධම්මා පච්ඡිමානං පච්ඡිමානං අබ්‍යාකතානං ධම්මානං -පෙ- කුසලානං ධම්මානං -පෙ- අකුශලානං ධම්මානං උපනිස්සය පච්චයෙන පච්චයො. උතුභොජනං පි උපනිස්සයපච්චයෙන පච්චයො. පුග්ගලො පි -පෙ- සෙනාසනං පි උපනිස්සය පච්චයෙන පච්චයො”යි.

පටිච්චසමුප්පාදයෙහි අවිද්‍යාව සංස්කාරයන්ට ද, සංස්කාර විඥානයට ද, ඵස්සය වේදනාවට ද, වේදනාව තෘෂ්ණාවට ද, තෘෂ්ණාව උපාදානයට ද, උපාදානය භවයට ද, භවය ජාතියට ද, ජාතිය ජරාමරණයන්ට ද, මේ උපනිශ්‍රය ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ. විශේෂ ස්ථාන සලකා බැලිය යුතු යි.

ප්‍රශ්න.

  1. අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යය පහදා දී පටිච්චසමුප්පාදයෙහි ඒ ලැබෙන තැන් දක්වනු.
  2. නිස්සය ප්‍රත්‍යය කිම? එ ද පටිච්චසමුප්පාදයෙහි කො තැන ලැබේ ද?
  3. උපනිස්සය ප්‍රත්‍යය තෝරනු. ඒ කී වැදෑරුම් ද?
  4. ආරම්මණුපනිස්සයේ හා ආරම්මණාධිපති ප්‍රත්‍යයෙහි වෙනස දක්වනු.
  5. පකතූපනිස්සය පැහැදිලි කරනු. අනන්තර අනන්තරූප නිස්සය දෙකේ වෙනස දක්වනු.