15 10 පුරෙජාත ප්‍රත්‍යය, 11 පච්ඡාජාත පච්චය, 12 ආසෙවන ප්‍රත්‍යය, 13 කර්ම ප්‍රත්‍යය, 14 විපාක ප්‍රත්‍යය.

10 පුරෙජාත ප්‍රත්‍යය

පුරෙජාත ප්‍රත්‍යය නම් පළමු වැ උපදීම් වශයෙන් උපකාර වීම ය. කල්පාරම්භයෙහි පහළ වූ සඳ හිරු පසු වැ උපදින ආලෝකය නිශ්‍රය කොට ඇති සත්ත්‍වයන්ට උපකාර වන්නාක් මෙනි. පළමු කොටැ උපදී තිබෙන චක්ඛායතනය පසු වැ එහි උපදින චක්ඛුවිඤ්ඤාණයන්ට හා තත් සම්ප්‍රයුක්තයන්ට පුරෙජාත ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ. එසේ ම සෝත, ඝාණ, ජිව්හා, කායායතන සෝතවිඤ්ඤාණාදීන්ට හා තත් සම්ප්‍රයුක්තයන්ට ද, රූප, ශබ්ද, ගන්‍ධ, රස, ස්පර්ශව්‍යායතන මනෝධාතුවට හා මනෝවිඤ්ඤාණධාතුවට ද තතත් සම්ප්‍රයුක්තයන්ට ද, හෘදය වස්තුව මනෝධාතුවට හා තත්සම්ප්‍රයුක්තයන්ට ද, එ ම හෘදය වස්තුව ඇතැම් විටෙක මනෝවිඤ්ඤාණධාතුවට හා තත්සම්ප්‍රයුක්තයන්ට ද පුරෙජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යය වේ. වදාළේ මැ යි.

පට්ඨානයෙහි:

“පුරෙජාතපච්චයොති චක්ඛායතනං චක්ඛුවිඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං පුරෙජාත පච්චයෙන පච්චයො. සොතායතන -පෙ- ඝාණායතනං -පෙ- ජිව්හායතනං -පෙ- කායායතනං කායවිඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං පුරෙජාත පච්චයෙන පච්චයො. රූපායතනං චක්ඛුවිඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං පුරෙජාත පච්චයෙන පච්චයො. සද්දායතනං -පෙ- ගන්ධායතනං -පෙ- රසායතනං -පෙ- ඵොට්ඨබ්බායතනං කායවිඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං පුරෙජාත පච්චයෙන පච්චයො. රූපායතනං සද්දායතනං ගන්ධායතනං රසායතනං ඵොට්ඨබ්බායතනං මනො ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං පුරෙජාත පච්චයෙන පච්චයො යං රූපං නිස්සාය මනොධාතු ච මනො විඤ්ඤාණධාතු ච වත්තන්ති තං රූපං මනොධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං පුරෙජාත පච්චයෙන පච්චයො. මනොවිඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං කිංචිකාලෙ පුරෙජාත පච්චයෙන පච්චයො, කිංචිකාලෙ න පුරෙජාතපච්චයෙන පච්චයො” යි.

පටිච්චසමුප්පාදයෙහි නාමරූප අතුරෙන් චක්ඛායතනාදි පස හා හෘදයවස්තු රූපය මනායතනයට ද සළායතන ඵස්සයට ද, පුරෙජාත ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ. සළායතන අතුරෙන් මනායතනයෙහි විශේෂය ද බාහිරායතන සම්බන්‍ධය ද සලකනු.

11 පච්ඡාජාත ප්‍රත්‍යය.

පච්ඡාජාත ප්‍රත්‍යය නම් පළමු උපන්නවුන්ට පසු වැ උපදීම් වශයෙන් උපකාර වීම ය. පසු වැ වත් කරනු ලබන ජලය පළමු සිටුවා තිබෙන රුක් ලිය ආදියේ වර්ධනයට උපකාර වේ. මෙන් පසු වැ පහළ වන ධර්ම පළමු පහළ වැ තිබෙන ධර්මයන්ට උපකාර වීම පච්ඡාජාත ප්‍රත්‍යයයි. පසු වැ උපදින ආහාරාසා චේතනාව පළමු ගිජුලිහිණි පැටවුන්ගේ ශරීරයට උපකාර වේ ය යි අටුවාවෙහි මේ සඳහා උපමා දැක්විණි. වදාළේ මැ යි.

පට්ඨානයෙහි:

“පච්ඡාජාතපච්චයොති පච්ඡාජාතා චිත්තචෙතසිකා ධම්මා පුරෙජාතස්ස ඉමස්ස කායස්ස පච්ඡාජාත පච්චයෙන පච්චයො” යි පසු වැ හටගන්නා චිත්ත චෛතසික පළමු උපන් මේ කයට පච්ඡාජාත ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ යනු එහි අර්ථ යි.

පටිච්චසමුප්පාදයෙහි නාමරූප ප්‍රත්‍යයයෙන් සළායතන වේ ය යි කියූ තන්හි ප්‍රවෘත්ති කාලයෙහි චක්ඛායතනාදියට චක්ඛුවිඤ්ඤාණය පච්ඡාජාත ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ ය යි දත යුතු. චක්ඛුවිඤ්ඤාණාදිය උපදින්නේ චක්ඛායතනාදියට පසු වැ ය.

12 ආසෙවන ප්‍රත්‍යය.

ආසෙවන ප්‍රත්‍යය නම් නැවත නැවත සෙවන වශයෙන් උපකාර වීම ය. පළමු හදාළ ග්‍රන්‍ථය පසු පසු වැ ද හැදෑරීමෙන් ප්‍රබල වේ. පළමු සුවඳ ලූ තැන නැවත නැවත සුවඳ ලීමෙන් වඩා ලා ත් සුවඳ වේ. පළමු පළමු ජවනයන්ගේ ආසේවනය ලැබීමෙන් පසු පසු ජවන බලවත් වේ. වදාළේ මැ යි.

පට්ඨානයෙහි:

“ආසෙවන පච්චයොති පුරිමා පුරිමා කුසලා ධම්මා පච්ඡිමානං පච්ඡිමානං කුසලානං ධම්මානං ආසෙවන පච්චයෙන පච්චයො. පුරිමා පුරිමා අකුසලා ධම්මා පච්ඡිමානං පච්ඡිමානං අකුසලානං ධම්මානං ආසෙවනපච්චයෙන පච්චයො. පුරිමා පුරිමා කිරියා අබ්‍යාකතා ධම්මා පච්ඡිමානං පච්ඡිමානං කිරියා අබ්‍යාකතානං ධම්මානං ආසෙවන පච්චයෙන පච්චයො” යි. පූර්ව පූර්ව කුසල අකුසල ක්‍රියා ජවන පසු පසු ජවනයන්ට ආසේවන ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ. යනු එහි අර්ථයි. කුසල අකුසල සත් වන ජවන් උපපද්‍යවෙද්‍ය කර්ම වේ. ආසෙවන ලැබීමෙනි.

පටිච්චසමුප්පාදයෙහි අවිද්‍යාව අපුඤ්ඤාභිසංඛාරයන්ට ද්විතීය තෘතීයාදි ජවනයන්හි දී ආසේවන ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ.

13 කර්ම ප්‍රත්‍යය.

කර්ම ප්‍රත්‍යය නම් කර්ම වශයෙන් උපකාර වීම ය. කර්ම නම් කායාඞ්ග වාචාඞ්ග චිත්තාඞ්ග අභිසංස්කරණය කිරීම් සංඛ්‍යාත චිත්තප්‍රයෝගයෙකි. එ් නම් චේතනා යි. එය සහජාත කර්ම ප්‍රත්‍යය, නානා ක්‍ෂණික කර්ම ප්‍රත්‍යය යි ද්විවිධ වේ. සහජාත කර්මප්‍රත්‍යය නම් කුශලාකුශල චිත්තයන්හි සහජාත චේතනා ඒ ඇසිල්ලෙහි සම්ප්‍රයුක්තයන්ට ද එයින් උපදනා රූපයන්ට ද ප්‍රත්‍යය වීම ය. නානා ක්‍ෂණික කර්ම ප්‍රත්‍යය නම් එය මතු ප්‍රතිසන්‍ධි ප්‍රවෘත්ති විපාකයන්ට හා කර්මජ රූපයන්ට ප්‍රත්‍යය වීම ය. සාලිබීජාදිය සංස්කාර කරන ලද්දේ මතු අංකුරොත්පාදනයට උපකාර වන්නාක් මෙනි. ස්ත්‍රී පුරුෂ සංසර්ගය ඒ ඇසිල්ලෙහි ආස්වාදනයට උපකාර වීම සහජාත කර්ම ප්‍රත්‍යය මෙනැ යි ද මතු දාරකොත්පාදනයට උපකාර වීම නානාක්‍ෂණික කර්ම ප්‍රත්‍යය මෙනැ යි ද ටීකායෙක දක්වයි. වදාළේ මැ යි.

පට්ඨානයෙහි:

“කම්මපච්චයොති කුසලාකුසලා කම්මං විපාකානං ඛන්‍ධානං කටත්තා ච රූපානං කම්මපච්චයෙන පච්චයො. චේතනා සම්පයුත්තකානං ධම්මානං තංසමුට්ඨානානං ච රූපානං කම්මපච්චයෙන පච්චයො” යි කුශලාකුශල කර්ම විපාකස්කන්‍ධයන්ට හා කර්ම රූපයන්ට කර්ම ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ. නානාක්‍ෂණික කර්මප්‍රත්‍යය යි. චේතනා සම්ප්‍රයුක්තයන්ට ද තත්සමුත්‍ථාන රූපයන්ට ද කර්මප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ. මේ සහජාත කර්ම ප්‍රත්‍යය යි.

පටිච්චසමුප්පාදයෙහි සංඛාර විඤ්ඤාණයට ද, කර්මභවය ජාතියට ද, කර්මප්‍රත්‍යයෙන් ප්‍රත්‍යය වේ.

14 විපාක ප්‍රත්‍යය.

විපාක ප්‍රත්‍යය නම් විපාක වශයෙන් උපකාර වීම ය. විපාක නම් විශේෂ පැසීමෙකි. කුශලාකුශල කර්ම නිරුද්ධ වුව ද කවදා හෝ පැසීම් අවස්ථාවකට පැමිණේ. බීජයෙන් නැඟෙන අංකුරය මෙනි. වෘක්‍ෂලතාවන් හි මල් ඵල හටගැනීම මෙනි. එය නිරුත්සාහ ශාන්තභාවයෙන් සිද්ධ වේ යයි කියනු ලැබේ. රැයක් මුළුල්ලේ නිදිගත් කල්හි ලැබෙන විපාක සිත් ශාන්තභාවයෙන් ම අවසන් වේ. මෙසේ පැසීම් වශයෙන් උපකාර වන ධර්මවිපාක සත්‍යය යි. වදාළේ මැයි.

පට්ඨානයෙහි:

“විපාකපච්චයොති විපාකා චත්තාරො ඛන්‍ධා අරූපිනො අඤ්ඤමඤ්ඤං විපාකපච්චයෙන පච්චයො”යි. විපාක අරූප ස්කන්‍ධ සතර අන්‍යොන්‍යයන්ට විපාක ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ යනු එහි අර්ථ යි. තව ද විපාක ප්‍රවෘත්තියෙහි තත් සමුත්‍ථාන රූපයන්ට ද, ප්‍රතිසන්‍ධියෙහි කර්මජ රූපයන්ට ද, ඒ ඇමතන්හි ම සම්ප්‍රයුක්තයන්ට ද විපාක ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යය වේ. වදාළේ මැයි. “විපාකාව්‍යාකතො එකො ඛන්‍ධො තිණ්ණන්තං ඛන්‍ධානං චිත්ත සමුට්ඨානානං ච රූපානං විපාකපච්චයෙන පච්චයො. පටිසන්‍ධික්ඛණෙ විපාකාබ්‍යාකතො එකො ඛන්‍ධො තිණ්ණන්තං ඛන්‍ධානං කටත්තා ච රූපානං, තයො ඛන්‍ධා එකස්ස ඛන්‍ධස්ස, ද්වෙ ඛන්‍ධා ද්වින්නං ඛන්ධානං කටත්තා ච රූපානං විපාක පච්චයෙන පච්චයො. ඛන්ධා වත්‍ථුස්ස විපාකපච්චයෙන පච්චයො” යි. අර්ථ විමසා බලනු.

පටිච්චසමුප්පාදයෙහි විඤ්ඤාණය නාමරූපයට ද, නාමරූප සළායතනයට ද, සළායතන ඵස්සයට ද, ඵස්සය වේදනාවට ද, විපාක ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ. විශේෂ භෙද පිරිසිඳැ දත යුතුයි.

ප්‍රශ්න.

  1. පුරෙජාත ප්‍රත්‍යය දක්වනු.
  2. පච්ඡාජාත ප්‍රත්‍යය පැහැදිලි කරනු.
  3. ආසෙවන ප්‍රත්‍යය කිම?
  4. කම්මපච්චය කී වැදෑරුම් ද? විස්තර කරනු.
  5. විපාක ප්‍රත්‍යය දක්වනු? මේ එක් එක් ප්‍රත්‍යය පටිච්ච සමුප්පාදයෙහි කවර කවර තන්හි ලැබේ ද?