16 15 ආහාර ප්‍රත්‍යය, 16 ඉන්‍ද්‍රිය ප්‍රත්‍යය, 17 ධ්‍යාන ප්‍රත්‍යය, 18 මාර්ග ප්‍රත්‍යය, 19 සම්ප්‍රයුක්ත ප්‍රත්‍යය.

15 ආහාර ප්‍රත්‍යය.

ආහාර ප්‍රත්‍යය නම් ආහාර වශයෙන් උපකාර වීම ය. ආහාර නම් ගෙයකට බලකරු මෙන් උපස්ථම්භ වන දේ ය. ඒ වනාහි කබලීකාරාහාරය, ඵස්සාහාරය, මනොසංචෙතනාහාරය, විඤ්ඤාණාහාරය යි. චතුර්විධ වේ. කබලිකාරාහාරය නම් ඔජාව ය. එය මේ කයට උපස්ථම්භ දෙන්නේ ය. ඵස්සාහාරය නම් ඵස්ස චෛතසිකය යි. එය තත්සම්ප්‍රයුක්තයන්ට ද තත් සමුත්‍ථාන රූපයට ද උපස්ථම්භ දෙන්නේ ය. මනොසඤ්චෙතනාහාර නම් චේතනාව ය. විඤ්ඤාණාහාර නම් චිත්තය යි. ඒ දෙක ද තත්සම්ප්‍රයුක්තයන්ට හා තත්සමුත්‍ථාන රූපයට උපස්ථම්භ දෙන්නේ ය. වදාළේ මැ යි.

පට්ඨානයෙහි:

“ආහාරපච්චයොති කබලීකාරො ආහාරො ඉමස්ස කායස්ස ආහාරපච්චයෙන පච්චයො. අරූපිනො ආහාරා සම්පයුත්තකානං ධම්මානං තං සමුට්ඨානානං ච රූපානං ආහාර පච්චයෙන පච්චයො”යි. අරූපී ආහාර නම් ඵස්ස චේතනා විඤ්ඤාණ යි.

පටිච්චසමුප්පාදයෙහි විඤ්ඤාණය නාමරූපයට ද, නාමරූප සළායතනයට ද, සළායතන ඵස්සයට ද, ඵස්ස වේදනාවට ද, ආහාර ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වන්නේ ය. විශේෂ ස්ථාන සලකනු.

16 ඉන්‍ද්‍රිය ප්‍රත්‍යය.

ඉන්‍ද්‍රිය ප්‍රත්‍යය නම් ඊශ්වර භාවයෙන් උපකාර වීම ය. රජෙක් රාජාමාත්‍යාදීන්ට ඊශ්වර භාවය කරන්නාක් මෙනි. ඉන්‍ද්‍රිය වනාහි චක්ඛුන්‍ද්‍රිය, සොතින්‍ද්‍රිය, ඝාණින්‍ද්‍රිය, ජිව්හින්‍ද්‍රිය, කායින්‍ද්‍රිය, ජීවිතින්‍ද්‍රිය, මනින්‍ද්‍රිය, සුඛින්‍ද්‍රිය, දුක්ඛින්‍ද්‍රිය, සොමනස්සින්‍ද්‍රිය, දොමනස්සින්‍ද්‍රිය, උපෙක්ඛින්‍ද්‍රිය, සද්ධින්‍ද්‍රිය, විරියින්‍ද්‍රිය, සතින්‍ද්‍රිය, සමාධින්‍ද්‍රිය, පඤ්ඤින්‍ද්‍රිය, අනඤ්ඤාතඤ්ඤස්සාමිතින්‍ද්‍රිය, අඤ්ඤින්‍ද්‍රිය, අඤ්ඤාතාවින්‍ද්‍රියයි විස්සෙකි. දෙවිසි ඉන්ද්‍රියයන් අතුරෙන් ඉත්‍ථින්‍ද්‍රිය හා පුරිසින්‍ද්‍රිය ඉන්ද්‍රිය ප්‍රත්‍යයට ඇතුළත් නො වන බැව් දත යුතු. ප්‍රත්‍යය වන්නේ ජනකත්‍වයක් හෝ උපස්ථම්භකත්‍වයක් හෝ අනුපාලකත්‍වයක් හෝ කරන ධර්ම ය. භාවරූපද්වය ඒ එකකුදු නො කෙරේ. එ බැවින් ඒ ඉන්‍ද්‍රිය විනා ඉන්‍ද්‍රිය ප්‍රත්‍යය නොවේ. මෙහි චක්ඛුන්ද්‍රියාදි පස චක්ඛුවිඤ්ඤාණාදියට හා තත්සම්ප්‍රයුක්තයන්ට ද, රූප ජීවිතින්‍ද්‍රිය කර්මජරූපයන්ට ද, අරූප ඉන්ද්‍රිය තත්සම්ප්‍රයුක්තයන්ට හා තත්සමුත්‍ථාන රූපයන්ට ද ඉන්ද්‍රිය ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ. වදාළේ මැයි.

පට්ඨානයෙහි:

“ඉන්‍ද්‍රියපච්චයොති චක්ඛුන්‍ද්‍රියං චක්ඛුවිඤ්ඤාණධාතුයා තං සම්පයුත්තකානංච ධම්මානං ඉන්‍ද්‍රියපච්චයෙන පච්චයො. සොතින්‍ද්‍රිය -පෙ- ඝාණින්ද්‍රියං -පෙ- ජිව්හින්ද්‍රියං -පෙ- කායින්ද්‍රියං කායවිඤ්ඤාණධාතුයානං සම්පයුත්තකානං ච ධම්මානං ඉන්ද්‍රිය පච්චයෙන පච්චයො, රූපජීවිතින්ද්‍රියං කටත්තාරූපානං ඉන්ද්‍රිය පච්චයෙන පච්චයො. අරූපීනො ඉන්ද්‍රියා සම්පයුත්තකානං ධම්මානං තං සමුට්ඨානානං ච රූපානං ඉන්ද්‍රියපච්චයෙන පච්චයො” යි.

පටිච්චසමුප්පාදයෙහි විඤ්ඤාණය නාමරූපයට ද, නාමරූප සළායතනයටද, සළායතන ඵස්සයට ද, ඉන්ද්‍රිය ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ. විශේෂ ස්ථාන විමසා බලනු.

17 ධ්‍යාන ප්‍රත්‍යය.

ධ්‍යාන ප්‍රත්‍යය නම් ධ්‍යාන වශයෙන් උපකාර වීම ය. ධ්‍යාන නම් අරමුණ කරා එළඹැ මෙන් බැලීම යි. පර්වතයක් මුදුනට නැගී බලන්නහුට ඒ බැලීම දුර ආසන්න බව දැනැගැන්මට උපකාර වන්නාක් මෙනි. ඒ ධ්‍යාන වනාහි අඞ්ග වශයෙන් විතර්ක, විචාර, ප්‍රීති, එකාග්‍රතා, සෝමනස්ස, දෝමනස්ස, උපෙක්‍ෂා ය යි සත්වැදෑරුම් වේ. මේ ධ්‍යානාඞ්ග තත්සම්ප්‍රයුක්තයන්ට හා තත්සමුත්‍ථාන රූපයන්ට ධ්‍යාන ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ. දෙපස් විඤ්ඤාණයෙහි සුඛ දුඃඛ ධ්‍යානාඞ්ග නොවන බැව් යට කියන ලදි.

පට්ඨානයෙහි:

“ඣානපච්චයො’ති ඣානඞ්ගානි ඣානසම්පයුත්තකානං ධම්මානං තංසමුට්ඨානානං ච රූපානං ඣාන පච්චයෙන පච්චයො” යි.

පටිච්චසමුප්පාදයෙහි ධ්‍යාන ප්‍රත්‍යය ලැබෙන තැන් නො දැක්විණි.

18 මාර්ග ප්‍රත්‍යය.

මාර්ග ප්‍රත්‍යය නම් මාර්ග වශයෙන් උපකාර වීම ය. මාර්ග නම් සුගතියට හෝ දුර්ගතියට හෝ නිර්වාණයට හෝ පමුණුවන ධර්ම යි. එතරින් මෙතරට තරණය කරන පුරුෂයාට නැව එතරින් නික්මැ යාමට උපකාර වන්නාක් මෙනි. මාර්ග වනාහි අඞ්ග වශයෙන් සම්මාදිට්ඨි, සම්මාසංකප්ප, සම්මාවාචා, සම්මා කම්මන්ත, සම්මාආජීව, සම්මාවායාම, සම්මාසති, සම්මාසමාධි, මිච්ඡාදිට්ඨි, මිච්ඡාසංකප්ප, මිච්ඡාවායාම, මිච්ඡාසමාධිය යි දොළොසෙකි. මෙයින් මුල් අට සුගති හෝ නිර්වාණ මාර්ගාඞ්ග ය. අග සතර දුර්ගති මාර්ගාඞ්ග යි. මේ මාර්ගාඞ්ග වනාහි තත්සම්ප්‍රයුක්තයන්ට ද, තත්සමුත්‍ථාන රූපයන්ට ද මාර්ගප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ. වදාළේ මැ යි.

පට්ඨානයෙහි:

“මග්ගපච්චයො’ති. මග්ගඞ්ගානි මග්ගසම්පයුත්තකානං ධම්මානං තංසමුට්ඨානානං ච රූපානං මග්ගපච්චයෙන පච්චයො” යි අහේතු සිත්හි එකග්ගතා මාර්ගාඞ්ග නොවන බව දත යුතු යි.

පටිච්චසමුප්පාදයෙහි මාර්ග ප්‍රත්‍යය නො දැක්විණි.

19. සම්ප්‍රයුක්ත ප්‍රත්‍යය.

සම්ප්‍රයුක්ත ප්‍රත්‍යය නම් එකවස්තුක, එකාරම්මණ, එකුප්පාද, එකනිරොධ සංඛ්‍යාත සම්ප්‍රයුක්තභාවයෙන් හෙවත් එක් වැ යෙදීම් වශයෙන් උපකාර වීමය. කිරි ගිතෙල් මී සකුරු යන චතුමධුර එක්වීම මෙනි. වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන සතර අරූප ධර්ම ඔවුනොවුන්ට සම්ප්‍රයුක්ත ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ. වදාළේ මැ යි.

පට්ඨානයෙහි:

“සම්පයුත්ත පච්චයොති. චත්තාරො ඛන්‍ධා අරූපිනො අඤ්ඤමඤ්ඤං සම්පයුත්ත පච්චයෙන පච්චයො”යි.

පටිච්චසමුප්පාදයෙහි අවිද්‍යාව අපුඤ්ඤාභිසංඛාරයන්ට ද, විඤ්ඤාණය නාමරූප අතුරෙන් නාමයට ද, නාමය ඡට්ඨායතනයට ද, මනායතනය මනොසම්ඵස්සයට ද, ඵස්සය වේදනාවට ද, තණ්හාව දිට්ඨුපාදානාදි තුනට ද, උපාදානය භවයට ද, සම්ප්‍රයුක්ත ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ.

ප්‍රශ්න.

  1. ආහාර ප්‍රත්‍යය විස්තර කරනු.
  2. ඉන්‍ද්‍රිය ප්‍රත්‍යය වන්නේ කවර ඉන්‍ද්‍රිය ද? හේතු කිම?
  3. ධ්‍යාන ප්‍රත්‍යය හා මාර්ග ප්‍රත්‍යය පැහැදිලි කරනු.
  4. සම්ප්‍රයුක්ත ප්‍රත්‍යය දක්වනු.
  5. මේ ප්‍රත්‍යය පස පටිච්චසමුප්පාදයෙහි ලැබෙන තැන් දක්වනු.