19. සූවිසි පට්ඨාන පිළිබඳ ෂඩ්විධ සඞ්ග්‍රහය.

පටිච්චසමුප්පාදයෙහි එක් එක් පටිච්චසමුප්පාදයෙක් එක් එක් පටිච්චසමුප්පන්නයකට මේ මේ පට්ඨාන ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වන්නේ යයි යට පාඩමින් දක්වන ලද්දේ ය. නාම, රූප, ප්‍රඥප්ති සම්බන්‍ධ වැ ගෙනැ බලන කල්හි 1. නාමය නාමයට ද, 2. නාමය නාමරූපයන්ට ද, 3. නාමය රූපයට ද, 4. රූපය නාමයට ද, 5. ප්‍රඥප්ති නාම රූප නාමයට ද, 6. නාමරූප නාම රූපයන්ට ද කවර කවර පට්ඨාන ප්‍රත්‍යයයන්ගෙන් ප්‍රත්‍යය වන්නේ දැ යි දක්වනු සඳහා මෙය ලියනු ලැබේ.

1. නාමය නාමයට ෂට් ප්‍රත්‍යයෙකින් ප්‍රත්‍යය වන්නේ ය.

ඒ මෙසේ යි. නාම නම් වේදනාදි සතර අරූපස්කන්‍ධය - හෙවත් චිත්ත චෛතසික යි.

අනන්තර නිරුද්ධ චිත්ත චෛතසික ප්‍රත්‍යුත්පන්න චිත්ත චෛතසිකයන්ට අනන්තර, සමනන්තර, නත්‍ථි, විගත යන සිව් ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ. එක් සිතක් තිබී නැති වූ කල්හිම තව සිතෙක් උපදී. නැති වූ මුල් සිත ඊළඟ උපදින දෙවන සිතට අනන්තර, සමනන්තර, නත්‍ථි, විගත වශයෙන් ප්‍රත්‍යය වේ. වීථි සිත්හි ද වීථිමුක්ත සිත්හි ද මේ ක්‍රමය මෙසේ මැ යි.

පුරිම ජවන පශ්චිම ජවනයන්ට ආසෙවන ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ. ජවන නාම ය, හෙවත් චිත්ත චෙතෙසිකය, මෙහි ලා මුල් දැක්වුණු ප්‍රත්‍යය සතර නො ලැබෙති යි නො සිතිය යුතු. එහෙත් මෙහි ආසෙවන විශේෂ ය. ආසෙවන ප්‍රත්‍යය වන්නේ ජවන් පමණෙකි. එහි දු ලෝකෝත්තර ජවන ආසෙවන නො වන බව දත යුතු. මාර්ග ජවන ඵල ජවනයන්ට ආසෙවන නො වෙයි. ඵල ජවන ද මාර්ග ජවනයාගේ ආසෙවන නො ල බයි. භින්න ජාතික ධර්ම අන්‍යොන්‍යයන්ට ආසෙවන දෙන්නට හෝ අන්‍යොන්‍යයන්ගේ ආසෙවන ගන්නට හෝ අසමර්ථ ය. “ලොකුත්තරො පන ආසෙවනපච්චයො නාම නත්‍ථි” යනු එහෙයින් කියන ලදි. ගොත්‍රභූ සිත මාර්ග සිතට ආසෙවන ප්‍රත්‍යය වේ. “ගොත්‍රභූ මග්ගස්ස ආසෙවන පච්චයෙන පච්චෙයා. වොදානං මග්ගස්ස ආසෙවන පච්චයෙන පච්චයො,” යනු පට්ඨාන යි. ගොත්‍රභූ ලෝකෝත්තර නො වේ. ඵල සිත ද ඵල සිතකට ආසෙවන නො වේ. විපාක සිත් කැල ම ආසෙවන ප්‍රත්‍යය නො වේ. ක්‍රියා සිත්වලින් ආවර්ජනද්වය ආසෙවන ප්‍රත්‍යය නො වේ. ජවන නො වන බැවිනි.

සහජාත චිත්ත චෙතෙසික අන්‍යොන්‍යයන්ට සම්පයුක්ත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යය වේ. චිත්ත ද නාම ය. චෛතසික ද නාම ය. එය අන්‍යොන්‍යයන්ට සම්ප්‍රයුක්ත ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ. රූප සහජාත වුව ද සම්ප්‍රයුක්ත නො වේ.

මෙසේ නාමය නාමයට අනන්තර සමනන්තර, නත්‍ථි විගත, ආසෙවන, සම්ප්‍රයුක්ත යන ෂට්ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වන බව දත යුතු යි.

2. නාමය නාමරූපයන්ට පඤ්ච ප්‍රත්‍යයයෙකින් ප්‍රත්‍යය වන්නේ ය. ඒ මෙසේ ය.

හේතු නාමරූපයන්ට හේතුප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ. හේතු නම් ලෝභාදි ෂඩ් හේතු ය. ඒ නාම ය. හේතු තමා හා යෙදුණු චිත්ත චෛතසිකයන්ට හා තත් සමුත්‍ථාන රූපයන්ට ධ්‍යාන ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ.

ඣානඞ්ග ‘නාමරූපයන්ට මාර්ග ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ. ඣානඞ්ග නම් විතර්කාදි ධ්‍යානාඞ්ග සත ය. එ ද නාමය ධ්‍යානාඞ්ග තත් සම්ප්‍රයුක්තයන්ට හා තත් සමුත්‍ථාන රූපයන්ට ධ්‍යාන ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ.

මාර්ගාඞ්ග නාම රූපයන්ට මාර්ගප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ. මාර්ගාඞ්ග නම් සම්මාදිට්ඨි ආදි දොළොස ය. එ ද නාම ය. මාර්ගාඞ්ග සම්ප්‍රයුක්තයන්ට හා තත් සමුත්‍ථාන රූපයන්ට මාර්ගප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ.

චේතනා නාමරූපයන්ට කර්මප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ. ඒ වනාහි සහජාතචේතනාය, නානාක්‍ෂණික චේතනා ය යි ද්විවිධ වේ. සහජාත චේතනා ද කර්මය යි කිය යුතු සංවිධාන බැවිනි. ඒ සියලු සිත්හි ඇත්තේ ය. ඒ සම්ප්‍රයුක්ත නාමයයන්ට ද තත් සමුත්‍ථාන රූපයන්ට ද සහජාත කර්ම ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ. නානාක්‍ෂණික චේතනා නම් මතු විපාක සිත් හා කර්මජ රූප නිපදවීමෙහි සමර්ථ වූ චේතනා ය. එය බීජ නිධාන කෘත්‍යය සිද්ධ කෙරේ. කුශලාකුශල සිත්හි පමණක් ඇත්තේ ය. එය කර්මාභිනිර්වෘත්ත නාමරූපයන්ට නානාක්‍ෂණික කර්මප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ.

විපාකස්කන්‍ධ අන්‍යොන්‍යයන්ට ද තත්සමුත්‍ථාන රූපයන්ට ද විපාකප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ. විපාක ද නාමය.

මෙසේ හේතු ආදි නාම නාමරූපයන්ට හේතු, ඣාන, මග්ග, කම්ම, විපාක යන පඤ්චප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වන බව දත යුතුයි.

3. නාමය රූපයට එක් ප්‍රත්‍යයයෙකින් ප්‍රත්‍යය වන්නේ ය. ඒ මෙසේ ය. පසු වැ උපදින චිත්ත චෛතසික පූර්ව වැ උපන් මේ කයට පශ්වාජ්ජාත ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ. විස්තරය යට කියන ලදි. මෙසේ නාමය රූපයට එක් ප්‍රත්‍යයයෙකින් ප්‍රත්‍යය වන බව දත යුතු යි.

4. රූපය නාමයට එක් ප්‍රත්‍යයයෙකින් ප්‍රත්‍යය වන්නේ ය. ඒ මෙසේ ය. චක්ඛු, සෝත, ඝාණ, ජිව්හා, කාය, හදය යන වස්තු රූප සය චක්ඛුවිඤ්ඤාණ ධාතු ආදි සත්ත විඤ්ඤාණ ධාතූන්ට පුරෙජාත ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ. එසේ ම රූපාදි ආලම්බන පස චක්ඛුවිඤ්ඤාණවීථි ආදි වීථි චිත්තයන්ට පුරෙජාත ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ. මෙහි විස්තර ද යට දක්වන ලදි. මෙසේ රූපය නාමයට එක් ප්‍රත්‍යයයෙකින් ප්‍රත්‍යය වන බව දත යුතු යි.

5. ප්‍රඥප්ති නාමරූප නාමයට ආරම්මණ, උපනිශ්‍රය යන ද්විප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ.

ප්‍රඥප්ති මතු තෝරා දෙනු ලැබේ. නාම නම් මෙහි චිත්ත චෛතසික ය. රූප නම් යට දැක්වුණු රූප මැ යි. ආරම්මණ ප්‍රත්‍යය යන්නෙහි ආරම්මණ වනාහි රූපාරම්මණාදි වශයෙන් ෂඩ්විධ වේ. උපනිශ්‍රය ප්‍රත්‍යය ද ආරම්මණූප නිස්සය, අනත්ත රූපනිස්සය, පකතූපනිස්සය යි ත්‍රිවිධ වේ. ගරුකත ආරම්මණ ආරම්මණූපනිස්සය ය. ඒ වනාහි ප්‍රත්‍යවෙක්‍ෂණ වශයෙන් ද ආස්වාදනාදි වශයෙන් ද ගරුකොට ගන්නා ලද ඉෂ්ටාරම්මණය යි. ගරු කොටැ ගැන්ම ද ඒ ඒ සත්ත්‍වයන්ගේ රුචිය වශයෙනි. ගූථ කුණපාදිය සුනඛ නිල මැසි ආදීන්ට රුචි වේ. එ බැවින් එය ඔවුන්ට ගරුකත ආරම්මණ යි. අනන්තර නිරුද්ධ චිත්ත චෛතසික අනත්තරූපනිස්සය යි. පකතූපනිස්සය නම් ප්‍රකර්ෂයෙන් කරන ලද්දෙන් වූ උපනිශ්‍රය යි. නොහොත් ප්‍රකෘතියෙන් අන්‍යයන් හා අමිශ්‍රණයෙන් වූ උපනිශ්‍රය යි. ශ්‍රද්ධාදිය ද රාගාදිය ද, සුඛ, දුඃඛ, පුද්ගල, භොජන, සෘතුසේනාසන ද අධ්‍යාත්මයෙහි හා බාහිරයෙහි කුශලාදීන්ගේ උපත්තියට පකතූපනිස්සය යි. එසේ ම කර්මය විපාකයට පකතූපනිස්සය යි. එහි විශේෂ විභාගයෙක් සැකෙවින් මෙසේ දත යුතු. යට ද සාමාන්‍යයෙන් දැක්විණි.

ශ්‍රද්ධාදිය අධ්‍යාත්මයෙහි හා බාහිරයෙහි කුශලාදීන්ගේ උත්පත්තියට පකතූපනිස්සය යි. ශ්‍රද්ධාදි යන්නෙහි ආදි ශබ්දයෙන් ශීල, ශ්‍රැත, ත්‍යාග, ප්‍රඥාදිය ගන්නේ ය. ශ්‍රද්ධාව නිසා දන් දෙයි, සිල් ගනියි, ධ්‍යානාදිය උපදවයි. මෙහි ශ්‍රද්ධාව කුශලයන්ට උපනිශ්‍රය ප්‍රත්‍යය යි. ශ්‍රද්ධාව නිසා මානය උපදවයි. දෘෂ්ටි ගනියි. මෙහි ශ්‍රද්ධාව අකුශලයන්ට උපනිශ්‍රය ප්‍රත්‍යය යි. ශ්‍රද්ධාව නිසා ශරිරය තවයි, දුක් විඳියි. මෙහි ශ්‍රද්ධාව අව්‍යාකෘතයන්ටන උපනිශ්‍රය ප්‍රත්‍යය යි. ශීලාදිය නිසා ද මෙසේ යි.

රාගාදිය අධ්‍යාත්මයෙහි හා බාහිරයෙහි අකුශලාදීන්ගේ උත්පත්තියට උපනිශ්‍රය ප්‍රත්‍යය යි. රාගාදි යන්නෙහි ආදි ශබ්දයෙන් දෝස, මෝහ, මාන, දිට්ඨි, පත්‍ථනා, දස අකුසල, පඤ්චානන්තරිය ගන්නේ ය. රාගය නිසා සතුන් මරයි. හොරකම් ආදිය කරයි. මෙහි රාගය අකුශලයන්ට උපනිශ්‍රය ප්‍රත්‍යය යි. රාගය නිසා දන් දෙයි. සිල් ගනියි. ධ්‍යානාදිය උපදවයි. මෙහි රාගය කුශලයන්ට උපනිශ්‍රය යි. රාගය නිසා ශරීරය තවයි, දුක් විඳියි. මෙහි රාගය අව්‍යාකෘතයන්ට උපනිශ්‍රය යි.

සුඛ, දුඃඛාදිය ද අධ්‍යාත්මයෙහි හා බාහිරයෙහි කුශලාදීන්ට උපනිශ්‍රය ප්‍රත්‍යය යි. කායික සුඛය නිසා දන් දෙයි, සිල් ගනියි, ධ්‍යානාදිය උපදවයි. මෙහි සුඛය කුශලයන්ට උපනිශ්‍රය ප්‍රත්‍යය යි. ඒ සුඛය නිසා ප්‍රාණඝාත කරයි. සොරකම් ආදිය කරයි. මෙහි සුඛය අකුශලයන්ට උපනිශ්‍රය ප්‍රත්‍යය යි. දුඃඛාදිය නිසා ද මෙසේ ය.

බලවත් වූ කර්මය විපාකයට උපනිශ්‍රය ප්‍රත්‍යය යි. මේ සියල්ල පකතූපනිස්සය බව දත යුතු. උපනිශ්‍රය ප්‍රත්‍යය ඉතා විස්තර ය. මෙයට ප්‍රත්‍යයොපදේශය යි කියනු ලැබේ. විස්තර පට්ඨාන පඤ්හවාරයෙහි බලනු.

ප්‍රශ්න.

  1. නාමය නාමයට ප්‍රත්‍යය වන ෂට් ආකාරය ලියති.
  2. නාමය නාමරූපයන්ට ප්‍රත්‍යය වන පස් ආකාරය දක්වනු.
  3. නාමය රූපයට ප්‍රත්‍යය වන ආකාරය ලියනු.
  4. රූපය නාමයට ප්‍රත්‍යය වන ආකාරය ලියනු.
  5. ප්‍රඥප්ති නාම රූප නාමයට ප්‍රත්‍යය වන දෙ ආකාරය ලියා උපනිශ්‍රය ප්‍රත්‍යය පිළිබඳ විස්තරයක් දක්වනු.