20. සූවිසි පට්ඨාන පිළිබඳ ෂඩ්විධ සංග්‍රහ (දෙවන කොටස)

6. නාමරූප නාමරූපයන්ට අධිපති, සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, ආහාර, ඉන්ද්‍රිය, විප්පයුත්ත, අත්‍ථි, අවිගත යන නව ප්‍රත්‍යයයෙන් සුදුසු පරිදි ප්‍රත්‍යය වන්නේ ය. මෙහි සුදුසු පරිදි යනු විශේෂයෙන් සිහි කටයුතු යි. වෙන් වෙන් වැ දැක්වූ කල්හි තේරුම් ගැනීම පහසු බැවින් එසේ දක්වනු ලැබේ.

නාමරූප නාමරූපයන්ට අධිපති ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ. අධිපති ප්‍රත්‍යය යට දක්වන ලදි. මෙහි තව ද ස්වල්පයෙක් දක්වනු ලැබේ. අධිපති වනාහි ආලම්බනාධිපති සහජාතාධිපති ය යි දෙ වැදෑරුමි. ගරු කත ආලම්බන ආලම්බනාධිපතිය. එය නාමයට පමණක් ප්‍රත්‍යය වේ. කුශල, අකුශල, අව්‍යාකෘත කුශලාදීන්ට ආලම්බනාධිපති ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වන සැටි බලනු. දන් දී, සිල් සමාදන් වැ ඒ දානාදිය ගරු කොටැ අරමුණු කරන විට ද, පෙර කළ පින් ගරු කොටැ අරමුණු කරන විට ද, ධ්‍යානයෙන් නැඟී ඒ ධ්‍යාන ගරු කොටැ අරමුණු කරන විට ද, ශෛක්‍ෂයන් ගොත්‍රභූ වොදාන ගරු කොට අරමුණු කරන විට ද කුශල කුශලයන්ට ආලම්බනාධිපති ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ. දන් දීම් ආදිය කොටැ ඒ ගරු කොටැ ගෙන ආස්වාදන අභිනන්‍දන, රාගාදිය උපදවන විට කුශල අකුශලයන්ට ආලම්බනාධිපති ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ. රහතන් මාර්ගයෙන් නැගී ඒ මාර්ගය ගරු කොටැ අරමුණු කරන විට කුශල අව්‍යාකෘතයන්ට ආලම්බනාධිපති ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ. අකුශලාදීන්ට ආලම්බනාධිපති වන සැටි ද මේ නියායෙන් සලකනු. සහජාත වූ ඡන්‍දාදි අධිපති ධර්ම සතර සහජාත වූ නාමරූපයන්ට සහජාත අධිපති ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ. විස්තර යට දක්වන ලදි. මෙසේ නාමරූප නාමරූපයන්ට අධිපති ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ.

නාමරූප නාමරූපයන්ට සුදුසු පරිදි සහජාත ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ. සහජාත ප්‍රත්‍යය යට දක්වන ලදි. චිත්ත චෛතසික අන්‍යොන්‍යයන්ට හා සහජාත රූපයන්ට ද, මහාභූත අන්‍යොන්‍යයන්ට හා උපාදාරූපයන්ට ද ප්‍රතිසන්ධි ක්‍ෂණයෙහි වස්තු විපාක අන්‍යොන්‍යයන්ට ද සහජාත ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ. මෙයින් සහජාත ත්‍රිවිධ වූ සැටි ද සලකනු.

නාමරූප නාමරූපයන්ට සුදුසු පරිදි අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ. අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යය ද යට දක්වන ලදි. චිත්ත චෛතසික අන්‍යොන්‍යයන්ට ද, මහා භූත අන්‍යොන්‍යයන්ට ද, වස්තු විපාක අන්‍යොන්‍යයන්ට ද අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ. මෙයින් එය ත්‍රිවිධ වූ සැටි ද සලකනු.

නාමරූප නාමරූපයන්ට සුදුසු පරිදි නිස්සය ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ. නිස්සය ප්‍රත්‍යය ද යට දක්වන ලදි. චිත්ත චෛතසික අන්‍යොන්‍යයන්ට හා සහජාත රූපයන්ට ද මහාභූත අන්‍යොන්‍යයන්ට හා උපාදාරූපයන්ට ද, චක්‍ෂුරාදි වස්තු සය චක්ඛුවිඤ්ඤාණාදී සප්ත විඥාන ධාතූන්ට ද, නිස්සය ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ. මෙයින් එ ද ත්‍රිවිධ වූ සැටි සලකනු.

නාමරූප නාමරූපයන්ට සුදුසු පරිදි ආහාර ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ. ආහාර ප්‍රත්‍යය ද යට දක්වන ලදි. කබලීකාරාහාර මේ කයට ද ඵස්සාදි අරූපාහාර තුන සහජාත නාමරූපයන්ට ද ආහාර ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ. මෙයින් ආහාර ප්‍රත්‍යය ද්විවිධ වූ සැටි සලකනු.

නාමරූප නාමරූපයන්ට සුදුසු පරිදි ඉන්ද්‍රිය ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ. ඉන්‍ද්‍රිය ප්‍රත්‍යය ද යට දක්වන ලදි. චක්ඛුන්‍ද්‍රියාදි ඉන්‍ද්‍රිය පස චක්ඛුවිඤ්ඤාණාදි දෙපස්විඤ්ඤාණයන්ට ද රූප ජීවිතින්‍ද්‍රිය කර්මජ රූපයන්ට ද, මනින්‍ද්‍රියාදි අරූප ඉන්‍ද්‍රිය සහජාත නාමරූපයන්ට ද ඉන්‍ද්‍රිය ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ. මෙයින් ඉන්‍ද්‍රිය ප්‍රත්‍යය ත්‍රිවිධ වූ සැටි ද සලකනු.

නාමරූප නාමරූපයන්ට සුදුසු පරිදි විප්‍රයුක්ත ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ. විප්‍රයුක්ත ප්‍රත්‍යය ද යට දක්වන ලදි. ප්‍රතිසන්‍ධි ක්‍ෂණයෙහි හෘදය වස්තුව විපාකයන්ට සහජාත විප්‍රයුක්ත වශයෙන් ද, චිත්ත චෛතසික සහජාත රූපයන්ට සහජාත විප්‍රයුක්ත වශයෙන් හා ඒ චිත්ත චෛතසික පළමු පහළ වූ මේ කයට පච්ඡාජාත විප්‍රයුක්ත වශයෙන් ද චක්‍ෂුරාදි වස්තු සය ප්‍රවෘත්ති කාලයෙහි චක්ඛුවිඤ්ඤාණාදි සප්ත විඥානයන්ට පුරෙජාත විප්‍රයුක්ත වශයෙන් ද ප්‍රත්‍යය වේ. මෙයින් විප්‍රයුක්ත ප්‍රත්‍යය සහජාත විප්‍රයුක්ත, පුරෙජාත විප්‍රයුක්ත, පශ්වාජ්ජාත විප්‍රයුක්ත වශයෙන් ත්‍රිවිධ වූ සැටි ද සලකනු.

නාමරූප නාමරූපයන්ට සුදුසු පරිදි අස්ති ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ. අස්ති ප්‍රත්‍යය ද යට දක්වන ලදි. ඒ වනාහි සහජාත අස්ති, පුරෙජාත අස්ති, පච්ඡාජාත අස්ති, ආහාර අස්ති, ඉන්ද්‍රිය අස්ති ය යි පඤ්චවිධ වේ. සහජාත අස්තිය ද සහජාත ප්‍රත්‍යයට කී පරිදි තුන් ආකාර යි. එක් වැ හටගැනීම් වශයෙන් ඇත්තේ ය යනු එහි අර්ථ යි. පුරෙජාත අස්ති ද පුරෙජාත ප්‍රත්‍යයට කී පරිදි දෙ ආකාර යි. පළමු උපදීම් වශයෙන් ඇත්තේ ය යනු එහි අර්ථ යි. පච්ඡාජාත අස්ති ද පශ්වාජ්ජාත ප්‍රත්‍යයට කී පරිදි එක විධ ය. පසු වැ හටගැනීම් වශයෙන් ඇත්තේ ය යනු එහි අර්ථ යි. ආහාර අස්ති යන්නෙන් කබලීකාරාහාර ගන්නේ ය. “කබලීකාරො ආහාරො ඉමස්ස කායස්ස අත්‍ථිපච්චයෙන පච්චයො” යනු පට්ඨාන යි. ඉන්ද්‍රිය අස්ති යන්නෙන් රූප ජීවිතින්‍ද්‍රිය ගන්නේ ය. “රූපජීවිතින්ද්‍රියං කටත්තා රූපානං අත්‍ථිපච්චයෙන පච්චයො” යනු පට්ඨාන යි. ඒ දෙක ද එකවිට ය. විස්තර පට්ඨාන පඤ්හවාරයෙහි ය. සිහියෙන් සලකා උගත යුතු යි.

නාමරූප නාමරූපයන්ට අවිගත ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ. එ ද යට දැක්විණි. සහජාත අවිගත, පුරෙජාත අවිගත, පච්ඡාජාත අවිගත, ආහාර අවිගත, ඉන්ද්‍රිය අවිගත යයි අවිගත ප්‍රත්‍යය ද පඤ්චවිධ වේ. සියල්ල අස්ති ප්‍රත්‍යය බඳු යි.

“සහජාතං පුරෙජාතං පච්ඡාජාතං ච සබ්බථා

කබලීකාරො ආහාරො රූපජීවිතමිච්චයං

පංචවිධො හොති අත්ථිපච්චයො ච අවිගතපච්චයො ච.”

යනු සඞ්ග්‍රහ ගාථා යි.

මෙසේ නාමරූප නාමරූපයන්ට අධිපති සහජාතාදි නව ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වන්නේ යි.

“ඡද්ධා නාමං තූ නාමස්ස පංචධා නාමරූපිනං

එකධා පුන රූපස්ස රූපං නාමස්ස චෙකධා

පඤ්ඤත්ති නාමරූපානි නාමස්ස දුවිධා ද්වයං

ද්වයස්ස නවධා චෙති ඡබ්බිධා පච්චයා කථං”

යනු සංග්‍රහ යි.

නාමය නාමයට ස ආකාරයෙකින් ද, නාමය නාමරූපයන්ට පස් ආකාරයෙකින් ද, නාමය රූපයට එක් ආකාරයෙකින් ද, රූපය නාමයට එක් ආකාරයෙකින් ද පඤ්ඤත්ති නාමරූප නාමරූප නාමයට දෙ ආකාරයෙකින් ද නාමරූප නාමරූපයන්ට නවාකාරයෙකින් ද ප්‍රත්‍යය වේ. මෙයින් ප්‍රත්‍යය ක්‍රම ෂඩ්විධ විය. මේ පාඩම් දෙකින් දැක්වුණේ මේ බව දත යුතුයි.

ප්‍රශ්න.

  1. නාමරූප නාමරූපයන්ට කෙතෙක් ප්‍රත්‍යයන්ගෙන් ප්‍රත්‍යය වේ ද? ඒ කවරහු ද?
  2. නාමරූප නාමරූපයන්ට අධිපති, සහජාත, අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයන්ගෙන් ප්‍රත්‍යය වන සැටි දක්වනු.
  3. නාමරූප නාමරූපයන්ට නිස්සය, ආහාර, ඉන්ද්‍රිය ප්‍රත්‍යයන්ගෙන් ප්‍රත්‍යය වන සැටි දක්වනු.
  4. නාමරූප නාමරූපයන්ට විප්පයුත්ත අත්‍ථි, අවිගත ප්‍රත්‍යයන්ගෙන් ප්‍රත්‍යය වන සැටි දක්වනු.
  5. ෂඩ්විධ සංග්‍රහ ගාථා ලියනු.