14. ආර්‍ය්‍ය පුද්ගලයෝ

17 වන පාඩම

විදර්ශනා භාවනාව කොට ලෝකෝත්තර මාර්ග ඵල උපදවා ගත් පුද්ගලයෝ ආර්‍ය්‍ය පුද්ගලයෝ ය. සෙස්සෝ පෘථග්ජනයෝ ය.

සෝවාන් මාර්ගස්ථ පුද්ගලයා ය, සෝවාන් ඵලස්ථ පුද්ගලයා ය, සකෘදාගාමි මාර්ගස්ථ පුද්ගලයා ය, සකෘදාගාමි ඵලස්ථ පුද්ගලයා ය, අනාගාමි මාර්ගස්ථ පුද්ගලයා ය, අනාගාමි ඵලස්ථ පුද්ගලයා ය, අර්හත් මාර්ගස්ථ පුද්ගලයා ය, අර්හත් ඵලස්ථ පුද්ගලයා ය කියා ආර්‍ය්‍ය පුද්ගලයෝ අට දෙනෙකි. මාර්ගස්ථ පුද්ගලයෝ සතර දෙනෙකි. ඵලස්ථ පුද්ගලයෝ සතර දෙනෙකි. එක් පුද්ගලයකු මාර්ගස්ථ පුද්ගලයකු වශයෙන් ඉන්නේ ඔහුගේ සන්තානයෙහි ලෝකෝත්තර මාර්ග චිත්තය පවත්නා අවස්ථාවෙහි පමණෙකි. එය ඉතා කෙටි කාලයෙකි. එබැවින් මාර්ගස්ථ පුද්ගලයකු නොසෙවිය හැකි ය. මාර්ග චිත්තය නිරුද්ධ වනු සමග ම ඵල චිත්තය ඇති වීමෙන් මාර්ගස්ථ පුද්ගලයා ඵලස්ථ පුද්ගලයෙකු වන්නේ ය. මාර්ගස්ථ පුද්ගල අවස්ථාව ක්ෂණික බැවින් සෝවාන් පුද්ගලයා ය, සකෘදාගාමි පුද්ගලයා ය, අනාගාමි පුද්ගලයා ය, අර්හත් පුද්ගලයා ය යන නම් බෙහෙවින් ව්‍යවහාර වන්නේ ඵලස්ථ පුද්ගලයන් සඳහා ය.

ක්ලේශ ප්‍ර‍හාණය

දෘෂ්ටිය ය, විචිකිත්සාවය යන ක්ලේශ දෙක සෝවාන් මාර්ගයෙන් සම්පූර්ණයෙන් ප්‍ර‍හාණය කරනු ලැබේ. අපායෙහි උපදවන තරමට ඖදාරික වූ අන්‍ය ක්ලේශයෝ ද ප්‍ර‍හාණය කරනු ලැබෙත්.

සිත් වශයෙන් කියත හොත් මෙසේ ය:- දෘෂ්ටි සම්ප්‍ර‍යුක්ත සිත් සතර ය, විචිකිත්සා සහගත සිත ය යන මේ සිත් පස සෝවාන් මාර්ගයෙන් නිරවශේෂයෙන් ප්‍ර‍හාණය කරනු ලැබේ. අපායයෙහි ඉපදීමට හේතු වන තරමට ඖදාරික ව ඇති වන දෘෂ්ටි විප්‍ර‍යුක්ත සිත් සතර ය, ද්වේෂ මූල සිත් දෙක ය යන මේවා ද ප්‍ර‍හාණ ය කරනු ලැබේ.

අපායෝත්පත්තියට හේතු වන තරමට ඖදාරික නො වූ දෘෂ්ටි විප්‍ර‍යුක්ත සිත් සතර ය, ද්වේෂ මූල සිත් දෙක ය, උද්ධච්ච සහගත සිත ය යන මේවා සෝවාන් පුද්ගලයාට ඉතිරි ව ඇත්තේ ය.

සකෘදාගාමි මාර්ගයෙන් ඖදාරික ලෝභ - ද්වේෂ - මෝහයෝ ප්‍ර‍හාණය කරනු ලැබෙත්. සකෘදාගාමි පුද්ගලයාට ඒ කෙලෙස් ඇති වන්නේ ද කලාතුරකිනි. කලාතුරකින් ඇති වන කල්හි ද ඖදාරික වශයෙන් ඇති නොවේ.

සිත් වශයෙන් කියත හොත් මෙසේ ය:- ඖදාරික වූ දෘෂ්ටි විප්‍ර‍යුක්ත සිත් සතර ය, ද්වේෂ මූල සිත් දෙක ය යන මේවා සකෘදාගාමි මාර්ගයෙන් ප්‍ර‍හාණය කරනු ලැබේ. සූක්ෂ්ම වූ දෘෂ්ටි විප්‍ර‍යුක්ත සිත්සතර ය, ද්වේෂ මූල සිත් දෙක ය, උද්ධච්ච සහගත සිත ය යන මේවා සකෘදාගාමි පුද්ගලයාට ඉතිරි ව ඇත්තේ ය.

අනාගාමි මාර්ගයෙන් කාමරාගය හා ව්‍යාපාදය සම්පූර්ණයෙන් ප්‍ර‍හාණය කරනු ලැබේ. සිත් වශයෙන් කියත හොත් මෙසේ ය:- කාමරාග සහිත වූ දෘෂ්ටි විප්‍ර‍යුක්ත සිත් සතර ය, ද්වේෂ මූල සිත් දෙකය යන මේවා අනාගාමි මාර්ගයෙන් නිරවශේෂයෙන් ප්‍ර‍හාණය කරනු ලැබේ.

රූපරාග - අරූපරාග සහිත දෘෂ්ටිවිප්‍ර‍යුක්ත සිත් සතර හා උද්ධච්ච සහගත සිත අනාගාමි පුද්ගලයාට ඉතිරි ව ඇත්තේ ය.

රූපරාග - අරූපරාග - මාන - උද්ධච්ච - අවිජ්ජා යන මේවා අර්හත් මාර්ගයෙන් නිරවශේෂයෙන් ප්‍ර‍හාණය කරනු ලැබේ.

සිත් වශයෙන් මෙසේ ය:- රූපරාග - අරූපරාග මාන සහිත වූ සූක්ෂ්ම දෘෂ්ටිවිප්‍ර‍යුක්ත සිත් සතර හා උද්ධච්ච සහගත සිත ද අර්හත් මාර්ගයෙන් ප්‍ර‍හාණය කරනු ලැබේ. අර්හත් පුද්ගලයාට ඉතිරි කෙලෙස් නැත්තේ ය.

සමාපත්ති

“ධ්‍යාන සමාපත්තිය, ඵල සමාපත්තිය, නිරෝධ සමාපත්තිය” කියා සමාපත්ති තුන් වර්ගයක් ඇත්තේ ය.

යම් කිසි රූපාවචර - අරූපාවචර ධ්‍යාන චිත්තයකින් යුක්ත ව වාසය කිරීමට “ධ්‍යාන සමාපත්තිය” යි කියනු ලැබේ. පළමුවෙන් ධ්‍යාන ලබන අවස්ථාවෙහි ඒ සඳහා භාවනා කරන්නා වූ තැනැත්තාට පරිකර්ම - උපචාර - අනුලෝම - ගෝත්‍ර‍භූ යන නම්වලින් කාමාවචර ජවන චිත්තයන් තුන් වරක් හෝ සතර වරක් ඉපද නිරුද්ධ වීමෙන් පසු එක් වරක් ධ්‍යාන චිත්තය ඇති වී භවාඞ්ග වේ. පළමුවෙන් ධ්‍යාන උපදවන තැනැත්තාට “ආදිකර්මිකයා” ය යි කියනු ලැබේ. මෙසේ වරක් ධ්‍යානය ලැබූ තැනැත්තා නැවත ඒ ධ්‍යාන චිත්තය උපදවා ගැනීම සඳහා භාවනා කළ හොත් පෙර සේ ම තුන් වරක් හෝ සතර වරක් හෝ කාමාවචර ජවනයක් ඉපද නිරුද්ධ වූ පසු ධ්‍යාන චිත්තය වාර බොහෝ ගණනක් ඇති වන්නේ ය. යෝගාවචරයාගේ සමාධි දියුණුවේ සැටියට භවාඞ්ග නො වී දිගට ම වාර දහස් ගණන් ලක්ෂ ගණන් ධ්‍යාන සිත ම ඇති වේ. ඔහුට පැය ගණනක් වුව ද එසේ වාසය කළ හැකි ය. එය ධ්‍යාන සමාපත්තිය ය.

ලෝකෝත්තර ඵල චිත්තයෙන් යුක්ත ව වාසය කිරීම ඵල සමාපත්තිය ය. වරක් ලෝකෝත්තර ඵලයක් ලබා ගත් තැනැත්තා එය උපදවා ගැනීමට නවැතත් භාවනා කළ හොත් ඔහුට ද ධ්‍යාන සිත් සේ ම භවාඞ්ග නො වී ම දහස් ගණන් - ලක්ෂ ගණන් ඵල සිත් දිගට ම ඇති වේ.

සිත් ඉපදීම සම්පූර්ණයෙන් ම නවත්වා ගෙන විසීම නිරෝධ සමාපත්තිය ය. නිරෝධ සමාපත්තියට සමවැදිය හැක්කේ අෂ්ට සමාපත්තිලාභී අනාගාමීන්ට හා රහතුන්ට පමණෙකි. ඔවුහු වර්තමාන භවයේ දී ම නිවන් සුවය ලබනු කැමැත්තෙන් නිරෝධ සමාපත්තියට සමවදිති. අරූප භවයේ අනාගාමීන්ට හා රහතුන්ටත් එය නො කළ හැකි ය.

අෂ්ටසමාපත්ති අනාගාමී හෝ අර්හත් පුද්ගලයා නිරෝධ සමාපත්තියට සමවදිනු කැමති කල්හි විවේකස්ථානයක හිඳ පළමුවෙන් ප්‍ර‍ථම ධ්‍යානයට සමවැදී එයින් නැඟිට ඒ ප්‍ර‍ථමධ්‍යානයට අයත් සංස්කාරයන් අනිත්‍ය වශයෙන් ද, දුඃඛ වශයෙන් ද, අනාත්ම වශයෙන් ද විදර්ශනා කරන්නේ ය. ඉක්බිති ද්විතීය ධ්‍යානයට සමවැදී එයින් නැඟිට, එයට අයත් සංස්කාර අනිත්‍යාදි වශයෙන් විදර්ශනා කරන්නේ ය. ඉක්බිති තෘතීය ධ්‍යානයට සමවැදී එයින් නැඟිට, එයට අයත් සංස්කාර අනිත්‍යාදි වශයෙන් විදර්ශනා කරන්නේ ය. මෙසේ ආකිඤ්චඤ්ඤායතන ධ්‍යානය දක්වා කොට, විඤ්ඤාණඤ්චායතන ධ්‍යානයට සමවැදී ඉන් නැඟිට නානාබද්ධඅවිකෝපනය, සඞ්ඝපතිමානනය, සත්ථුපක්කෝසනය, අද්ධාන පරිච්ඡේදය යන පූර්ව කෘත්‍යය සතර කොට, නේවසඤ්ඤානාසඤ්ඤායතන ධ්‍යානයට සමවදින්නේ ය. නේවසඤ්ඤානාසඤ්ඤායතන චිත්තය වරක් දෙකක් ඇති වීමෙන් පසු ඒ පුද්ගලයා කෙරෙහි සිත් ඉපදීම නවතින්නේ ය. එය නිරෝධ සමාපත්තිය ය. නිරෝධයෙන් විසීමට ඉටා ගත් කාලය ඉක්මුණු පසු එයට සමවන් තැනැත්තා අනාගාමි පුද්ගලයෙක් නම් ආනාගාමි ඵල සිත ද, අර්හත් පුද්ගලයෙක් නම් අර්හත් ඵල සිත ද එක් වරක් ඇති වීමෙන් පසු භවාඞ්ගපතනය වේ. ඉන් පසු සිරිත් පරිදි සිත් උපදින්නට වන්නේ ය.

පූර්වකෘත්‍ය සතරෙන් නානාබද්ධ අවිකෝපනය යනු “තමාගේ ශරීරයට සම්බන්ධ වී නැති යම් පරිෂ්කාරයක් වේ නම්, ඒවා නිරෝධ සමාපත්තියෙන් ඉන්නා කාලය තුළදී විනාශ නො වේවා” ය කියා අධිෂ්ඨාන කිරීම ය. නිරෝධ සමාපත්තියට සමවන් පුද්ගලයාගේ ශරීරයට හෝ ශරීරය හා බැඳී පවත්නා වස්තුවකට හෝ නිරෝධ සමාපත්ති කාලය තුළ දී ගිනි - දිය ආදි කිසිවකින් අනතුරක් නො වේ. එය සමාපත්තියේ ම ආනුභාවය ය. ශරීරය හා නො බැඳුණු පරිෂ්කාරයන් එසේ නො රැකෙන බැවින් ඒවා ගැන අධිෂ්ඨාන කළ යුතු ය.

සඞ්ග ප්‍ර‍තිමානනය යනු “සඞ්ඝයාහට විනය කර්‍මයක් සඳහා තමා වුවමනා වුවහොත් එකෙණෙහි සමාපත්තියෙන් නැගිටීම වේවා!” කියා ඉටා ගැනීම ය. සත්ථුපක්කෝසන යනු “බුදුන් වහන්සේට තමා හමුවන්නට වුවමනා වී නම් එකෙණෙහි ම සමාපත්තියෙන් නැඟිටීම සිදු වේවා” ය කියා ඉටා ගැනීම ය.

අද්ධාන පරිච්ඡේදය යනු “තමාගේ ආයුෂය ගැන සලකා බැලීම ය.” නිරෝධ සමාපත්ති කාලය තුළදී මරණය වන්නට ඇත හොත් සමාපත්තියෙන් නැඟිටින්නට සිදු වේ. එබැවින් ජීවිතය පවත්නා කාලය ගැන බැලිය යුතු ය.