18 වන පාඩම
මහද්ගත - ලෝකෝත්තර ජවනයන් වන්නා වූ වීථිහු “අර්පණා වීථි” නම් වෙති. ධ්‍යාන වීථිය, මාර්ග වීථිය, ඵලසමාපත්ති වීථිය, අභිඥා වීථිය, නිරෝධ සමාපත්ති වීථිය කියා අර්පණා වීථි පස් කොටසකි.
ප්‍රථම ධ්‍යාන වීථිය, ද්විතීය ධ්‍යාන වීථිය, තෘතීය ධ්‍යාන වීථිය, චතුර්ථ ධ්‍යාන වීථිය, පඤ්චම ධ්‍යාන වීථිය, ආකාසානඤ්චායතන ධ්‍යාන වීථිය, විඤ්ඤාණඤ්චායතන ධ්‍යාන වීථිය, ආකිඤ්චඤ්ඤායතන ධ්‍යාන වීථිය, නේවසඤ්ඤානාසඤ්ඤායතන ධ්‍යාන වීථිය කියා ධ්‍යාන වීථි නවයක් වන්නේ ය. එයින් එක් එක් වීථියක් ආදිකර්මික වීථි - සමාපජ්ජන වීථි වශයෙන් දෙක බැගින් වීමෙන් ධ්‍යාන වීථි අටළොසක් වන්නේ ය.
ධ්‍යාන මාර්ග ඵල ලැබිය හැක්කේ ඥාන සම්ප්‍රයුක්ත ප්‍රතිසන්ධියක් ලැබීමෙන් උත්පත්තියෙන් ම නුවණ ලැබූ පුද්ගලයන්ට ය. නුවණ මඳ පුද්ගලයන් විසින් ධ්‍යානාදිය නො ලැබිය හැකි ය. නුවණැති පුද්ගලයෝ ද “තියුණු නුවණ ඇතියෝ ය, නො තියුණු නුවණ ඇතියෝ ය” යි දොකොටසක් වෙති. මේ ධර්මයෙහි තියුණු නුවණ ඇතියන්ට ක්ෂිප්‍රාභිඥ යන නම ද, නො තියුණු නුවණ ඇතියන්ට දන්ධාභිඥ යන නම ද ව්‍යවහාර කරනු ලැබේ.
ඉහත කී ධ්‍යාන වීථි අටළොසකින් එක් වීථියක් දන්ධාභිඥ-ක්ෂිප්‍රාභිඥ පුද්ගලයන්ගේ වශයෙන් දෙක බැගින් වීමෙන් ධ්‍යාන වීථි සතිසක් ඇත්තේ ය. එයින් ද එක් එක් වීථියක් කුශල ධ්‍යාන - ක්‍රියා ධ්‍යානයන් ගේ වශයෙන් දෙක බැගින් වන බැවින් ධ්‍යාන වීථි දෙසැත්තෑවක් වන්නේ ය.
ප්‍රථම ධ්‍යාන ආදිකර්මික වීථි දෙක.
ප්‍රථම ධ්‍යානය ලැබීමට නිසි භාවනාවක යෙදෙන්නා වූ යෝගාවචරයා හට ධ්‍යානය ලැබීමට ළං වූ කල්හි භවාඞ්ග චලන - භවාඞ්ගුපච්ඡේදයන් ගෙන් පසු භාවනාරම්මණය අරමුණු කොට මනෝද්වාරාවජ්ජන චිත්තය ඉපිද නිරුද්ධ වේ. ඉක්බිති ඒ ආරම්මණය ම ගනිමින් ඥාන සම්ප්‍රයුක්ත කාමාවචර ජවනයන් අතුරෙන් යම් කිසි එක් ජවනයක් පරිකර්මය - උපචාරය අනුලෝමය - ගෝත්‍රභූය යන නම්වලින් සතර වරක් ඉපද නිරුද්ධ වීමෙන් පසු ප්‍රථම ධ්‍යාන චිත්තය - එක් වරක් ඉපද නිරුද්ධ වේ. අනතුරු ව භවාඞ්ග වේ. මේ දන්ධාභිඥ පුද්ගලයාගේ ප්‍රථම ධ්‍යාන ආදිකර්මික වීථිය ය.
ක්ෂිප්‍රාභිඥ පුද්ගලයාට වනාහි භවාඞ්ගචලන-භවාඞ්ගුපච්ඡේදයන්ගෙන් පසු භාවනාරම්මණය අරමුණු කොට මනෝද්වාරාවජ්ජනය හා උපචාර - අනුලෝම - ගෝත්‍රභූ කියා කාමාවචර ජවනයක් තුන් වරක් ඇති වීමෙන් පසු ප්‍රථම ධ්‍යාන චිත්තය එක් වරක් ඇති වී භවාඞ්ග වන්නේ ය. මේ ක්ෂිප්‍රාභිඥ පුද්ගලයාගේ ප්‍රථම ධ්‍යාන ආදිකර්මික වීථිය ය.
ප්‍රථම ධ්‍යාන සමාපජ්ජන වීථි.
මෙසේ ප්‍රථම ධ්‍යානය ලැබූ යෝගාවචරයා ධ්‍යානයට සමවදිනු කැමැති විටක නැවතත් ඒ භාවනාවෙහි යෙදුණු කල්හි භවාඞ්ගචලන - භවාඞ්ගුපච්ඡේද - මනෝද්වාරාවජ්ජන - පරිකර්ම - උපචාර - අනුලෝම - ගෝත්‍රභූ යන සිත් පිළිවෙළින් ඉපද නිරුද්ධ වූ පසු ප්‍රථම ධ්‍යාන ජවන චිත්තය වාර බොහෝ ගණනක් ඇති වීමෙන් පසු භවාඞ්ග වේ. මේ දන්ධාභිඥ පුද්ගලයාගේ ප්‍රථම ධ්‍යාන සමාපජ්ජන වීථිය ය. මේ වීථිය ක්ෂිප්‍රාභිඥ පුද්ගලයාට ඇති වන කල්හි “පරිකර්ම චිත්තය” ඇති නො වේ. උපචාර - අනුලෝම - ගෝත්‍රභූ කියා කාමාවචර ජවනය තුන් වරක් පමණක් ඇති වේ. වෙනස එපමණ ය.
දන්ධාභිඥයාගේ ප්‍රථම ධ්‍යාන
ආදිකර්මික වීථිය.
භවාඞ්ගචලන, භවාඞ්ගුපච්ඡේද, මනෝද්වාරාවජ්ජන, පරිකර්ම, උපචාර, අනුලෝම, ගෝත්‍රභූ, ප්‍රථමධ්‍යානය, භවාඞ්ග.
ක්ෂිප්‍රාභිඥයාගේ ආදිකර්මික වීථිය.
භවාඞ්ගචලන, භවාඞ්ගුපච්ඡේද, මනෝද්වාරාවජ්ජන, උපචාර, අනුලෝම, ගෝත්‍රභූ, ප්‍රථමධ්‍යානය, භවාඞ්ග.
සමාපජ්ජන වීථි දෙකේ වෙනස ධ්‍යාන චිත්තය වාර බොහෝ ගණනක් ඇති වීම පමණෙකි. ද්විතීය ධ්‍යාන වීථි ආදියේත් සිත් පිළිවෙළ මෙසේ ම ය. වෙනස ඒ ඒ වීථියේ ඒ ඒ ධ්‍යාන චිත්තය ඇති වීම පමණෙකි.
මේ වීථිවල ඇති වන කාමාවචර ජවනයන්ගෙන් පළමු වන සිතට පරිකර්ම යන නාමය දී තිබෙන්නේ ඉන්ද්‍රිය සමතාදි කරුණුවලින් ඒ සිත අර්පණා චිත්තය ඇති වීමට විශේෂයේ උපකාර වීම් වශයෙන් අර්පණාව ඇති කරන්නාක් මෙන් පවත්නා බැවිනි. දෙවන සිතට උපචාර යන නම දී ඇත්තේ, සමීප කාලයේ දී අර්පණා චිත්තය ඇති වීමට උපකාර වීම් වශයෙන් අර්පනාවට ළංව සිටින බැවිනි. උපචාර යන වචනයේ තේරුම සමීපයේ හැසිරෙන සිතය යනුයි. තුන්වන සිතට අනුලෝම යන නම දී ඇත්තේ අර්පණා චිත්තය ඇති වීමට බාධක කාමච්ඡන්දාදීන් දුරු කිරීම් වශයෙන් අර්පණාවට අනුකූල ව පවත්නා බැවිනි. සතර වන සිතට ගෝත්‍රභූ යන නම දී ඇත්තේ, කාමාවචර භාවය ඉක්මවන බැවින් ඒ සිත ළඟට අර්පණා චිත්තයක් මිස කාමාවචර චිත්තයක් ඇති නො වන හෙයිනි.
ප්‍රත්‍යවේක්ෂා වීථි
ධ්‍යාන ලැබීමෙන් පසුත්, ධ්‍යාන සමාපත්තියෙන් නැගිටීමෙන් පසුත් ධ්‍යානලාභීහු තමන් ලැබූ, සමවැදුණු ධ්‍යානයෙහි ඇති ධ්‍යානාඞ්ගයන් ප්‍රත්‍යවේක්ෂා කෙරෙති. එය කරන්නේ ආවර්ජන වශීභාවය හා ප්‍රත්‍යවේක්ෂා වශීභාවය ඇති කරගනු පිණිස ය. ඒ ඒ ධ්‍යානයන්හි ඇති ධ්‍යානාඞ්ග ගණනට ප්‍රත්‍යවේක්ෂා වීථි ඇති වේ. ප්‍රථම ධ්‍යානයෙහි ධ්‍යානාඞ්ග පසක් ඇති බැවින් “විතර්කය ප්‍රත්‍යවේක්ෂා කරන වීථිය ය, විචාරය ප්‍රත්‍යවේක්ෂා කරන වීථිය ය, ප්‍රීතිය ප්‍රත්‍යවේක්ෂා කරන වීථිය ය, සුඛය ප්‍රත්‍යවේක්ෂා කරන වීථිය ය, ඒකාග්‍රතාව ප්‍රත්‍යවේක්ෂා කරන වීථිය” යි වීථි පසක් ඇති වේ. ප්‍රත්‍යවේක්ෂා වීථිවල ඇති වන්නේ කාමාවචර ජවනයන් පමණෙකි. ප්‍රත්‍යවේක්ෂා වීථිය භවාඞ්ගචලන භවාඞ්ගුපච්ඡේදයන්ට අනතුරු ව ධ්‍යානාඞ්ගය අරමුණු කරන මනෝද්වාරාවජ්ජන චිත්තය ද, යම් කිසි කාමාවචර ජවනයක් සත්වරක් ද ඇති වීමෙන් පසු භවාඞ්ග වේ.
වශීභාවය ඇතියවුන්ට ප්‍රාතිහාර්‍ය්‍ය කිරීම් ආදිය සඳහා ඉක්මනින් ධ්‍යානාඞ්ග මෙනෙහි කරන අවස්ථාවන්හි කාමාවචර ජවන පසකින් හෝ සතරකින් ද වීථිය කෙළවර වේ.